×

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය, සිය ‘ශ්‍රේෂ්ඨ බව‘ ඔප්පු කරාවිද?

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ උච්චස්ථානය දැන් පැමිණ තිබේ. මෙයින් මතු සියල්ල රැඳී පවතිනු ඇත්තේ ශ්‍රේෂඨාධිකරණය මතය


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූලභාවය තීරණය වන තෙක්, මහමැතිවරණය පවත්වන්නේ නැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ. පෙනෙන හැටියට දැන්, මේ සියල්ලේ අවසන් තීරකයා බවට පත්වනු ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයයි.

උභතෝකෝටියක් යැයි පෙනී යන, එනමුත් ජනපතිවරයා වැනි අයෙකුගෙන් මීට වඩා දෙයක් අපේක්ෂා කළ නොහැකි තත්වයක් තුළ විධායක බලයේ අත්තනෝමතික කූට ප්‍රාප්තිය වෙත මේ මොහොතේ ශ්‍රී ලංකාව ළඟා වී සිටියි. එදා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබාදෙන අති මහත් විධායක බලය දැක මෙසේ ඇසූ බව ඉතිහාසයේ සඳහන් ය.

‘‘හොඳයි, බැරි වෙලාවත් මේ තනතුරට උන්මත්තකයෙක් පත්වුණොත් මොකද වෙන්නෙ…?“

කෙසේ නමුත් දැන් කරන්නට දෙයක් නැත. දැන් මේ මහා අවුල විසඳාගත යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි.

රටකට බලපාන ජාතික ප්‍රශ්න හෝ මතභේදාත්මක ගැටළු ඇති වූ විට එවැනි අර්බුද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අවසාන වශයෙන් ඒ ඒ ඒ රටවල ඉහළම අධිකරණය හෙවත් සුප්‍රීම් උසාවිය හෙවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වේ. ඒ ගැන ශ්‍රේෂ්ඨ උදාහරණ ගණනාවක් කලාපයේ රටවලින් අපට ලැබී ඇත. වැඩි දුරක් යා යුතු නැත. ඉන්දියාව සහ පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණ, ජන කැළඹීමකට තුඩුදෙන ගැටළුවක් තමන් ඉදිරියේ ඇති හැමවිටම ඒ ගැටළුවලට ප්‍රතිචාර දක්වා ඇත්තේ ‘මහජන සුබසිද්ධිය‘ ප්‍රමුඛ සිද්ධාන්තය කරගෙන මිස, බලවත් පක්ෂය පිනවීමට නොවේ.

විශ්‍රාම ගිය ඉන්දීය අගවිනිසුරු දීපක් මිස්රා විසින් මෑත භාගයේ ලබාදුන් තීන්දු රැසක් එයට සාක්ෂි සපයයි. ඔහු අනාචාරය අපරාධයක් නොවන බව 2018 සැප්තැම්බර් 28 වැනිදා තීන්දු කළේය. ප්‍රගතිගාමී ලෝකයේම ප්‍රශංසාවට පාත්‍ර වෙමින්, සමරිසි භාවය අපරාධ වරදක් නොවන බව සැප්තැම්බර් 6 වැනිදා තීන්දු කළේය.

පුරා 8 වසරක් දික් ගැස්සුණු දේවාපහාස නඩුවක් සලකා බලමින් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය, පසුගියදා අසියා බිබී නමැති ක්‍රිස්තියානි කාන්තාව මරණ දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කළේය. ඒ, මුස්ලිම් රටක් වන පාකිස්ථානයේ, ගැහැණුන් අතර වූ රණ්ඩුවකදී මොහොම්මද් තුමාට අපහාස කළ බවට ලැබුණු හුදු පැමිණිල්ලක් හේතුවෙනි. ‘අන්‍යාගමික ගැහැනියක් අපේ ශුද්ධ වූ මොහොම්මද්තුමාට අපහාස කළා. ඕකිව මරා දමපියව්‘ යැයි මුළු රටම අන්තවාදයෙන් දෙදරුම් කමින් තිබියදී ද පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය, රටේ මූලික නීතිය අනුව විමසා බලමින් ඇය නිදොස් බව තීන්දු කළේ පාකිස්ථාන නීති ක්ෂේත්‍රයට පූර්වාදර්ශයක් ලබා දෙමිනි.

පාකිස්ථානයේ හිටපු ජනපති නවාස් ෂරීෆ්, කළු සල්ලි ජාවාරමට වරදකරු කර වසර 10 ක් සිරගෙට නියම කරන ලද්දේත්, එනයින් ඔහු ජනපති ධුරය දැරීමට නුසුදුසු බව ප්‍රකාශ කරනු ලැබුවේත් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

පාකිස්ථානයේ ඝාතනයට ලක් වූ අගමැතිනී බෙනාසීර් භූටෝගෙන් පසුව එම තනතුරට පැමිණි ඇගේ සැමියා අසීෆ් අලි සර්දාරිගේ අත්තනෝමතික පාලනය අවසන් කිරීමට මුල් වූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයයි. එයින් නොනැවතී ඔහු අයථා ලෙස උපයාගත් බව සැක කෙරෙන ස්විස් මුදල් සම්බන්ධයෙන් වත්කම් නඩු ද මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවත්වාගෙන යයි. හිටපු ජනපති පර්වියෙස් මුෂාරෆ්ට විරුද්ධව ද කළු සල්ලි පරීක්ෂණ මේ වන විට පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි සැලකිල්ලකින් යුතුව පවත්වාගෙන යනු ලබයි.

මේ උදාහරණ කිහිපයක් පමණි.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක ලක්ෂණයක් වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එකිනෙකින් ස්වාධීනව සහ වියුක්තව, එනමුත් සංවරණයන් සහ තුලනයන් (checks and balances) සහිතව පවත්වාගෙන යාමයි. අනෙක් ආයතන දෙකෙහි අර්බුද මතු වී ඇති විට අවසානයේඑම අර්බුදය විසඳාලීමේ උත්කෘෂ්ට වගකීම පැවරෙන්නේ අධිකරණය වෙත ය.

විසුරුවන්න බැරි ඇයි?

මේ වන විට අප ජීවත් වෙමින් සිටින්නේ රටේ තීරණ ගන්නා තැන්වල සිටින පාලකයන්ට තමන්ට වාසිදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන හැර අන් කිසිවක්ම නොපෙනෙන මොහොතක ය. ඒ හරහා ඔවුහු තමන්ගේ අරමුණ වෙත යා හැකි ප්‍රතිපාදනය හුදෙකලා කරගෙන කියවති. ඒ මත පිහිටා කටයුතු කරන බව ද ලොවට කියති.

උදාහරණයක් වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීමට බලය ඇත. ඇත්ත! නමුත් එය කියවිය යුත්තේ 70 වැනි වගන්තිය හෙවත් ‘පාර්ලිමේන්තුවේ බලතල හා කාර්යපටිපාටිය‘ දක්වන වගන්තිය ද සමග මිස රටේ මූලික නීතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලපාන එකම වගන්තිය ලෙස එය සලකමින් නොවේ. එසේ සලකා කටයුතු කිරීම මුද්ධ මෙන්ම මූලික නීති සිද්ධාන්තවලට ඉඳුරාම පටහැණි ද වේ.

70 වන වගන්තිය මගින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැක්කේ කුමන අවස්ථාවලදී ද යන්න දක්වන්නේ 33(2) වගන්තියට පැහැදිලි සීමා පනවමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම පැවැත්වූ දිනයේ පටන් අවුරුදු 4 ක් සහ මාස 6 ක් ඉක්මවූ පසු පමණක් ජනපතිට තම මතයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය. (19 වන සංශෝධනයෙන් පසු 70 වගන්තිය)

නමුත් යහපාලන ආණ්ඩුවට ජනවරම ලබාදුන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු දෙකහමාරක් පමණි.

යම් හෙයකින් පෙර කී අවුරුදු 4 යි මාස 6 ක කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිවරයා අදහස් කරන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ 2/3 ක යෝජනා සම්මතයක් මගින් එසේ විසුරුවා හරින ලෙසට ඉල්ලීමක් කර තිබිය යුතුය.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූයේම නැත.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටක මූලික නීතියයි. රටේ ජනාධිපතිවරයා එයින් නියත වශයෙන්ම බැඳී සිටියි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම මගින් 70 වන වගන්තිය සංශෝධනය කළ බව ජනපතිවරයා නොදැන සිටින්නට හේතුවක් නැත. එසේ ගෙන ආ සංශෝධනයට පෙර නම්, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමෙන් අවුරුද්දක් ගිය පසු ඕනෑම මොහොතක ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිව තිබිණි.

එසේ නම් ජනපතිවරයා 19 වන සංශෝධනය ගෙන නොආ කලෙක මෙන් හැසිරෙන්නේ ඇයි?

පැහැදිලිවම මෙය, අතිශය සංකීර්ණ දේශපාලනික අවස්ථාවන් හා අවශ්‍යතා විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය හෝ අති විශේෂ අර්බුදයකි.

අති විශේෂ අර්බුදයකට අති විශේෂ ප්‍රතිචාරයක් උවමනා කෙරේ.

එනිසා, රටේ පාලකයන් විසින් තමන්ගේ වාසිය තකා, තමන් විසින් තෝරාගත් ව්‍යස්ථාමය විධිවිධානයක් අන් සියල්ලෙන් ම වියුක්ත කර වෙනම කියවා තීරණ ගත් රටක,  රටේ මූලික නීතියට ගෙන ආ 19 වන සංශෝධනයේ අරමුණ හා අභිලාෂය අනුව, ලංකාවේ ඇතිවී තිබෙන අර්බුදය, ස්වර්ණමය රීතිය යොදමින් අර්ථ දක්වනු ඇතැයි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උදක්ම බලාපොරොත්තු වෙයි.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පුර්ණ විනිසුරු මණ්ඩලය වන 11 දෙනා අතරින් ආසන 2 ක් මේ වන විට පුරප්පාඩු වී පවතියි. ධුරය දරන විනිශ්චයාසන 9 අතරින් විනිසුරුවරුන් 6 දෙනෙක්ම පත් කරනු ලැබුවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

නමුත් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ අපක්ෂපාතී භාවය පිළිබඳ අප සැක කරන්නට නොව සිතන්නට පවා අකමැති ය.

එයට හේතුව, මේ මොහොතේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් හුස්ම පොද රැඳී පවතින්නේ, ඒ බලාපොරොත්තුව මත පමණක්ම වන නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි