×

ශ්‍රේෂ්ඨාධිකරණය ඇමරිකාවේ අනාගතය හැඩගස්වමින් සිටියි.

ජන ජීවිතය සැබවින්ම වෙනස් කිරීමේ බලය දැනට ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.


පසුගිය දින කිහිපය පුරා ඇමරිකාවෙහි ජන ජීවිතයට බලපෑමි කළ හැකි විශේෂ සිදුවීම් රාශියක් සිදු විය. ගැහැණියගෙ සිරුරේ අයිතිය උදුරා ගැනීමේ සිට පාරිසරික ආරක්ෂණ ඒජන්සියට කාබන් විමෝචනය සඳහා සීමාවන් පැනවිය නොහැකි බවට තීන්දු කිරීම හේතුවෙන් එක්සත් ජනපදයට අර්ථවත් හරිත ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීමට නොහැකි විය. මෙකී බලපෑම කරනු ලබන්නේ ජනාධිපතිවරයා හෝ කොන්ග්‍රසය විසින් නොවේ. ජන ජීවිතය සැබවින්ම වෙනස් කිරීමේ බලය දැනටමන් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අපේක්ෂා කළ දිශාවට වඩා රට බෙහෙවින් වෙනස් දිශාවකට ශ්‍රේෂ්ඨාධිකරණය ගෙන යමින් සිටියි.

පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් Roe v Wade නෛතික වශයෙන් වාරණයට ලක් කිරීමත් සමඟ ගැහැණියගේ සිරුරේ අයිතිය පවරා ගැණින. ඇමරිකාවේ වසර 50ක පමණ කාලයක් පුරා කාන්තාව භුක්ති විඳිනු ලැබු සමානාත්මතාවය, ලිංගික අයිතිය හා නිදහස එක් රැයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් උදුරා ගනු ලැබීය. උසාවි තීන්දුව මගින් රට පුරා ප්‍රාන්තවල නීතිමය අභියෝග ඇතිවීමේ සම්භාවිතාව සකසා ඇත, එනම් ගබ්සාව පිළිබඳ සටන ඉදිරි වසර ගණනාව තුළ පවතිනු ඇත.

මීට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණය ගනු ලැබූ අනෙකුත් තීරණ සැබවින්ම ගෝලීය බලපෑමක් ඇති කිරීමට සමත්ව ඇත.

එනම් පාරිසරික ආරක්ෂණ ඒජන්සියට කාබන් විමෝචනය සඳහා සීමාවන් පැනවිය නොහැකි බවට තීන්දු කිරීම මගින් එක්සත් ජනපදයට අර්ථවත් හරිත ප්‍රතිපත්තියක් සම්මත කර ගැනීමට නොහැකි විය. මෙය සැබැවින්ම බයිඩන්ගේ දේශපාලන පොරොන්දුවලට පහරකි. එනම් බයිඩන් බලයට එන්නේම දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන බවට ප්‍රතිඥාවක් ද සමඟය.

මීට අමතරව බයිඩන් විසින් පසුගිය දා ඓතිහාසික තුවක්කු පාලන පනතකට අත්සන් තැබනු ලැබීය. එවැනි ආකාරයේ පනතක් අත්සන් තබනු ලැබුවේ වසර 30 පමණ පසුවයි. ටෙක්සාස් ප්‍රාන්තයේ Uvalde හි ප්‍රාථමික පාසල් සිසුන් 19 දෙනෙකු තුවක්කු ගෙනවිත් කරන ලද බිහිසුණු සංහාරය නිසා දේශපාලඥයන් මේ වෙනුවෙන් සිය එකඟත්වය ප්‍රකාශ කරනු ලැබීය. ෆෙඩරල් තුවක්කු පාලන පනත සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද දිනයේම ශ්‍රේෂ්ඨාධිකරණය තුවක්කු හිමිකම සම්බන්ධයෙන් සීමාවන් පැනවීමේ බලය ප්‍රාන්තවලට ලබාදීම ආන්දෝලනයට තුඩු දෙන්නක් විය. මෙහිදී 60% ක් පමණ වඩාත් දැඩි තුවක්කු පාලනයට කැමති වූහ.

සියල්ල දෙස බැලීමේදී දක්නට ලැබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනමතයට බැහැරින් ක්‍රියාත්මක වන බවයි. මේ වන විට රට තුළ ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි මහජන විශ්වාසය හීන වෙමින් අප්‍රසාදය ඇති වෙමින් තිබේ.


Roe v Wade සම්බන්ධයෙන් උසාවිය ප්‍රථම වරට තර්ක අසන විට විනිසුරු සෝනියා සෝටෝමයෝර් පවසා තිබුණේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ එය කියවීම දේශපාලන ක්‍රියා පමණක් බවට මහජනතාව තුළ ඇති කරන දුර්ගන්ධයෙන් මෙම ආයතනය නොනැසී පවතිනු ඇත්ද?” ලෙසයි.
සමලිංගික විවාහ සහ උපත් පාලන ක්‍රම සඳහා ප්‍රවේශය වැනි අනෙකුත් අයිතිවාසිකම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත තීන්දු පිළිබඳව මේ වන විටත් විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි