×

ෂර්වුඩයේ රොබින් (රොබින්හුඩ්) සහ ජාත්‍යන්තර කම්කරු දිනය

ශ්‍රී ලාංකිකයන් අතර ගොඩක් ජනප්‍රිය රොබින්හුන් ටෙලි කතා මාලාව අද විසි අටවෙනි වතාවට විතර ආයෙමත් බලල අවසන් වුණා. කී වතාවක් බලල තිබුණත් ඒ දැනුණ කුතුහලය මිශ්‍ර අපූර්වත්වය රොබින්හුඩ් බලන ඊළඟ වතාවෙදිත් ඒ විදියටම දැනෙයි.


රොබින්හුඩ්ට කොයි තරම් ආස වුණත් අද එහි අවසාන කොටස නරඹනකොට මට හිතුණ දෙයක් තමයි ශ්‍රී ලාංකීය ⁣නරඹන්නා රොබින්හුඩ් නැරඹුවාට එය හරියට කියවන්නෙ නෑ නේද කියන එක. ඒ නිසා මේ සටහන ඒ ගැන.

අවසාන කොටසෙ එක තැනක තියනවා ගිස්බන් ෂෙරිෆ්ට චෝදනා කරන අවස්ථාවක්. ඒ ෂෙරිෆ් සහ රොබින්හුඩ් යනු එකම කාසියේ දෙපැත්ත බවත් ඒ නිසා ෂෙරිෆ් රොබින්හුඩ් අල්ලන්න උනන්දුවක් නොදක්වන බවත් කියමින්.

ගිස්බන් සහ ෂෙරීෆ් | Printerest

ඇත්තටම ඒ චෝදනාව රොබින්හුඩ්ටත් අදාළයි. සටනක අවසානයේ ෂෙරිෆ්ව අල්ලගත්තත් රොබින්හුඩ් කිසි දිනෙක ඔහුව මරන්නෙ නෑ. ෂෙරිෆ්ව විතරක් නෙමෙයි ගිස්බන්ව මරන්න අවස්ථා ඇතිතරම් ලැබිලත් එහෙම කරන්නෙ නෑ. ඇයි ඒ? ජීවිතයක වටිනාකම නිසාද? එතකොට ඒ ෂෙරිෆ් සහ ගිස්බන් විසින් සෙබළුන් මෙහෙයවන හැම වතාවකම හී පහරට හසුවෙලා මියයන සෙබළුන්ගෙ ජීවිත වටින්නෙ නැද්ද?

ඔය ප්‍රශ්නෙට එක තැනකදි උත්තර දෙන්නෙ මැරියන්. අවසාන කොටසට කලින් The Sheriff of Notingham කථාංගයෙදි ෂෙරිෆ්ව බලයෙන් පහ කරනව. ඒක ආරංචි වන රොබින්හුඩ්ගෙ කණ්ඩායමේ විල් ස්කාලට්, ලිට්ල් ජෝන් සහ මාච් බොහොම සතුටින් උඩ පනිනව. නමුත් රොබින් බොහොම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නව. මට මතක විදියට ලිට්ල් ජෝන් අහනව “ඇයි සතුටු නැද්ද අපි ෂෙරිෆ් පැරැද්දුවා නේද?” වගේ ප්‍රශ්නයක්. එතකොට ඒකට ලැබෙන උත්තරය තමයි තව ෂෙරිෆ් කෙනෙක් එයි. එයා සමහරවිට මීටත් වඩා නරක් වෙයි කියන එක.

ඒක ඇත්තටම කතාව පුරාවටම නැවත නැවතත් ඔප්පු වන දෙයක්. ෂෙරිෆ් වෙනුවට වෙන කෙනෙක් නොටිංහැම්හි අණ දෙන්නා වුණ සෑම අවස්ථාවකදීම වගේ ඒ හැම කෙනාම ෂෙරිෆ් රොබට් ඩි ඩුරේනෝට වඩා ගොඩක් කෲර සහ විනාශකාරී වුණා.

Priterest

කෙනෙකුට මේක දිහා බලාගෙන ඉද්දි මොකක්ද මේකෙ තේරුම කියල හිතෙන්න පුළුවන්. ඇත්තටම ⁣රොබින්හුඩ් සහ ෂෙරිෆ් වයසට යනකල්ම ඔය මීයයි බළලයි සෙල්ලම කරත් ඔච්චරම තමයි. කතා මාලාව ඒ ප්‍රශ්නය අපේ හිතේ ඉතුරු කරනව. ඒකට ⁣එක හේතුවක් රොබින් හුඩ් පුරාවෘත්තයේ සඳහන් ආකාරය ඔහොම හින්ද කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවන්. එත් ඒක එහෙම නෙමෙයි. රොබින්හුඩ් පුරාවෘත්තය ගැන අන්තර්ජාලයේ කියවා බැලුවොත් පෙනෙයි ටෙලි කතා මාලාව ඊට බොහොම වෙනස් බව. එතකොට ඇයි නිර්මාණයක් කරද්දි එතන ප්‍රශ්නයක් ඉතිරි වෙන විදියට කරල තියෙන්නෙ?

මං හිතන විදියට ඒක නිර්මාණකරුවා හිතා මතා කළ දෙයක්. රොබින් ඔෆ් ෂර්වුඩ් ටෙලිකතා මාලාව දේශපාලනිකව කියවගන්න කෙනෙක් ඔය ප්‍රශ්නයට උත්තරය හොයාගන්න බව ඔහු දන්නව.

රොබින්හුඩ් චරිතය තුලින් නිරූපණය කෙරෙන්නෙ සමාජ අසාධාරණයට එරෙහිව නොනවතින අරගලය. ඒ අරගලය නොනවතින බව හොඳටම පෙන්වන තැනක් තමයි අපි වැඩියෙන් ආදරය කරන කළු රොබින්ගේ මරණය සහ සුදු රොබින්ගෙ ආගමනය. අරගලකරුවා මරා දැමුණත් අරගලය සමාජය තුල අළුත් මුහුණුවරකින් ජීවත් වෙනව.

සුදු රොබින්හුඩ්

⁣රොබින්හුඩ්ගෙ කණ්ඩායම තුලින් ඒ අරගලයෙ සටන් වැදිල ඉන්න පුද්ගලයන්ගෙ විවිධත්වය පෙන්නනව. ආපහු මතක් කරල බැලුවොත් මතක් වෙයි ඒ කිසි කෙනෙක් එකිනෙකාට ගැලපෙන අය නොවනබව සහ ඒ ඒ අයට අරගලයත් එක්ක එකතු වෙන්න තිබුණ හේතු වෙනස් බව. ඒක බොහොම ලස්සන සමාජ හරස්කඩක්. එකිනෙකාට නොගැලපෙන කණ්ඩායමක් එකතු වෙලා සටන් වදින්නෙ හර්⁣න්ගෙ පුතා රොබින් කියන පොදු ස්ලෝගනය යටතෙ. ඒ කියන්නෙ විවධාකාර මිනිස්සු සමාජ ආසාධාරණයට එරෙහි අරගලයට විවිධ තැන්වලින් ප්‍රවේශ වෙලා පොදු අරමුණ ප්‍රමුඛ කරගෙන එකට ගමන් කරනව කියන එක.

⁣රොබින්හුඩ් කතා මාලාවෙ එන අනෙක් සෑම චරිතයක්ම සමාජයේ විවිධ සංස්ථාවන් නියෝජනය කරනව. උදාහරණයක් විදියට ගිස්බන්. ඔහු තනිව ගත්තාම මහා මෝඩයෙක්. හිතල යමක් කලොත් අනා ගන්නව. දන්නෙ අණ පිළිපදින්න විතරයි. නමුත් අතරින් පතර ගිස්බන් කියන මෝඩ අසංවේදී සොල්දාදුවා තුල ඉන්න මනුස්සයෙකුත් පේන්න ගන්නව.

ෂෙරිෆ් රොබට් ඩි ඩුරේනෝගෙ සහෝදරයා හියුගෝ ඩි ඩුරේනෝ පාදිලි උන්නාන්සෙත් ගොඩක් වැදගත් චරිතයක්. දේශපාලනයට හේත්තුවක් දාගෙන සියළු සුඛ විහරණයන් භුක්ති විඳින ගමන් පොදු ජනතාව ගොනාට අන්දලා පීඩකයාව හිණි පෙත්තෙ තියන අන්ත දූෂිත පැවිදි පරපුර හියුගෝගෙන් නිරූපණය වෙනව.

හැබැයි ඒ හා සමගාමීව රොබින්හුඩ් කණ්ඩායමේ ටක්ගෙන් පෙන්නනව සමාජ අරගලයට දායක වෙන පූජ්‍ය පක්ෂය. අවස්ථා දෙක තුනකදි ගෙනෙන ශ්‍රේෂ්ඨ පැවිදි චරිත කිහිපයක් මගින් පැවිද්දො ඔක්කොම හියුගෝ වගේ නැහැ කියලත් පෙන්නනව.

මම මේ කතා මාලාවෙ ආසම චරිතය ඊළඟට. ඔහු තමයි නොටිංහැම්හි ෂෙරිෆ්. ඇයි මං ඔහුට ආසා? ඒ පුද්ගලයට ආසාවකට වඩා ඔහුගෙන් වර්තමානයටත් ඉතාම හොඳින් ගැලපෙන පරිදි අන්ත දූෂිත දේශපාලනඥයා නිරූපණය කරනව. ඔහු කොහොමටවත් මෝඩයෙක් නෙවෙයි. බොහෝදුරට මේ කතාවෙ එන රජවරුන් ඇතුළු පාලන තන්ත්‍රය තුල පෙන්නන බුද්ධිමත්ම චරිතය ඔහු.

ඒ වගේම ඔහු නිර්භීතයි. ඔහුගෙ නිර්භීතකම කොයිතරම්ද කියල අවසාන කථාංගයේදි මනාව පේනව. ඔහුව ගල්නර් ළඟට අල්ලාගෙන ගිහින් “අපට එකතු වෙන්න, නැත්නම් මරණය” කියල තර්ජනය කළත් ඔහු නොබියව ගල්නර් ඇතුළු වෘකයාගේ දරුවන්ට අපහාස කරනව. ඊට පස්සෙ ඔහුව ගස් බැඳල ඔහු ඉලක්ක කරමින් කෙටේරි විසිකරද්දිත් ඔහුගෙ මූණෙන් භයක් පේන්නෙ නෑ.

ෂෙරිෆ් රොබට් ඩි ඩුරේනෝගෙන් පෙන්නන දූෂිත දේශපාලකයන්ගෙ වැදගත්ම ලක්ෂණය තමයි උන්ගෙ භෞතිකවාදීකම. අවසාන එපියෙ මැටි රොබින් මැරිල ඉන්න තැනට යන ෂෙරිෆ් ගිස්බන්ට කියනව මම දෙවියන් විශ්වාස කළා නම් කියාවි දෙවියන්ට ස්තූති වේවා කියල. ෂෙරිෆ් කිසිම ආගමක් දහමක් විශ්වාස නොකරන බව පෙනෙන තැන රාශියක් කතා මාලාව තුල හම්බ⁣වෙනව.

ඉතින් ඔය බඩ තඩි සුදු රෙදි අඳින මල් වට්ටිය අරං ඉස්සරහින්ම ඉන්න ආගම දහම වෙනුවෙන්ය කියල ජනතාවගෙ ලේ කෝප කරන දූෂණයෙන් හොරකමින් ජීවත් වෙන දේශපාලකයි භෞතිකවාදීන් කියලද මම මේ කියන්නෙ? ඔව්. අන්ත දූෂිත දේශපාලනඥයන් සේරම උග්‍ර භෞතිකවාදීන්. තමන් කරන පාපයන් තමන්ට නැවත පළදෙන්නේ නැති බවත්, තමන් බලවත්ව සිටියොත් තමන්ට හානි කළ හැකි කිසිවෙකු නැති බවත් උග්‍ර ලෙසම විශ්වාස කරන පිරිස මේ දූෂිත දේශපාලනඥයින්. හැබැයි ඔවුන් සමාජයට පෙන්වන්නෙ ඔවුන් මහා සැදැහැවත් ආගමිකයන් ලෙස.

ඉතින් ඔය නිරූපණයන් සේරම හරි කිව්වත් ඇයි අවසාන විසඳුමකට ⁣රොබින්හුඩ් තුල එන්නෙ නැත්තෙ?

ඒකට හේතුව තමයි ක්‍රමයේ තියන දුෂ්ඨ බව. ඒ දුෂ්ඨ ක්‍රමය විසින් තමයි ෂෙරිෆ්ලා, ගිස්බන්ලා, හියුගෝලා, ⁣ජෝන් රජ්ජුරුවෝ වගේ අය නිර්මාණය කරන්නෙ. ඒ ධූරාවලියෙ එක්කෙනෙකුගෙ බෙල්ල කැපිමකින් හෝ හීයකින් විද මැරීමකින් කිසිවක් විසඳෙන්නෙ නෑ. එහෙම මැරුවොත් ඔහුගෙන් හිස්වෙන තැන ගන්න වෙන කෙනෙක් එනව මිසක් දූෂිත ක්‍රමය මැරෙන්නෙ නෑ. ඒ යථාර්ථය තමයි රොබින්හුඩ් කතා මාළාවෙදි නොකියා කියපු රහස.

බිමට ඇද දමා පොඩි පට්ටම් කළ යුත්තේ දූෂිත ක්‍රමයයි. ක්‍රමය බිඳ දැමීමේ අරගලයකදි සමහරවිට ජෝන් රජවරු, ෂෙරිෆ්ලා, හියුගෝලා, ගිස්බන්ලා බෙලි කැපුම් කයි. හී පහරට ගොදුරු වෙයි. ඒත් සාර්ථකව දූෂිත ක්‍රමය බිමට ඇද දැම්මොත් ඒ මරණ වලටත් අරුතක් තියෙයි. එහෙම නැතුව මාසෙකට සැරයක් රොබින්හුඩ් ෂෙරිෆ්ට විදල මැරුවොත් ඊටත් වඩා දරුණු භයානක ෂෙරිෆ් කෙනෙක් ඇවිත් තත්වය තවත් දරුණු වෙනව මිසක් කිසි යහපතක් වෙන්නෙ නෑ. එතකොට අර එකම කාසියෙ දෙපැත්ත වෙච්ච ෂෙරිෆ්ගෙ මරණයත් නිකං අපරාදෙ මරණයක් විතරයි.

– නීතීඥ අථිල අතාවුද



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි