×

ෂින්සො ඒබේ : ජනතාව වෙනුවෙන් බලය අත්හළ ජපන් නායකයා

ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි ෂින්සො ඒබේ ඊයේ ධුරයෙන් සමුගත්තේය.


එයට හේතුව සුව කළ නොහැකි රෝගයක් බව ට විදෙස් වාර්තා සඳහන් කරයි.

පසුගිය ජූලි මාසයේ පැවැත්වූ මහ මැතිවරණයෙන් ද ෂින්සො ඒබේගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය (LDP) පාර්ලිමේන්තුවේ බලය තහවුරු කර ගත්තේ භාගයකට වඩා ආසන දිනා ගනිමිනි. සන්ධාන රජයක් ලෙස ෂින්සො ඒබේ සිය ආණ්ඩුව ශක්තිමත් කරගෙන සිටියේය.

වසර ගණනක් පුරා එකතැන පල්වෙමින් තිබූ ජපන් ආර්ථිකය පණ ගසා ගොඩගත් නායකයෙකු ලෙස ෂින්සො ඒබේ ඉතිහාස පොත්වලට එක්ව සිටියි.

2012 වසරේදී දෙවන වරට අගැමති ධුරයට පත්වන්නට සිටියදී ෂින්සො ඒබේ මැතිවරණ පොරොන්දුවක් දුන්නේය. ඒ, රටේ ආර්ථික වර්ධනය වේගවත් කිරීමට ඇති ව්‍යස්ථාපිත බාධා ඉවත් කරමින් ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන බවට ය. ඔහු පොරොන්දු වූ පරිදි ම ජපන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළේය.

ඒබේ සහ එබෙනොමික්ස්

ෂින්සො ඒබේ ආර්ථිකය සහ රටේ මූල්‍යය වර්ධනය කිරීමට මුල් තැනක් දුන් නිසාම ඔහු ඉන්පසු නව ආර්ථික වැඩසටහනක් දියත් කළේය. එය හැඳින්වූයේ ඒබේ+ඉකොනොමික්ස් හෙවත් ‘එබෙනොමික්ස්‘ (Abenomics) යනුවෙනි.

එය බොහෝ දුරටක සාර්ථක විය. ඒබෙනොමික්ස් වැටසටහන යටතේ රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.5 %ක් දක්වා වර්ධනය විය. ජපානයේ අඩුවෙන ජනගහනය නමැති සාධකයත් සමග ඒ අනුව ඒක පුද්ගල ආදායම ද වර්ධන විය. 2012 වසරේදී ඒබේ අගමැති ධුරයට භාරගැනීමත් සමග ජපානයේ නාමික දළ දේශීය නිෂ්පාදිතය (nominal GDP) 16.5%කින් වර්ධනය වී තිබේ!

ණය කාල බෝම්බය නිෂ්ප්‍රභා කළ ඒබේ

එ්බේ ගේ ධුර කාලය තුළ ජපානයේ රාජ්‍ය ණය ‘කාල බෝම්බයක්‘ බවට පත්ව තිබුණි. එය වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 240%ක් දක්වා වර්ධනය වී තිබිණි. (මෙය ඇමරිකාවේ රාජ්‍ය ණය ප්‍රතිශතය වූ 104% මෙන් දෙගුණයකට ද අධික ය). නමුත් සිය ධුර කාලය තුළදී ඒබේ ණය ගැනීම් අඩු කළේය. 48%ක්ව තිබූ එය 35%දක්වා අඩු කිරීම තුළින් ඔහු සුබවාදී වර්ධනයක් ළඟා කර ගත්තේය

නැගෙනහිර චීන මුහුදේ දූපත් කිහිපයක් ධනවත් ජපන් ජාතිකයන් කිහිප දෙනෙක් හරහා මිලට ගැනීම නිසා ඒබේ ධුරයට පත් වන විට ජපානය සහ චීනය අතර පැවතියේ හොඳ හිතක් නොවේ. චීනය එම දූපත්වලට අයිතිවාසිකම් කීවේය. කලාපීය සාමය පැවතියේ අනතුරක ය. අවසානයේ ඒබේ මෙය චීන ජනපති ෂී ජින් පින් සමග සුහද ලෙස විසඳා ගැනීමට සමත් විය. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වීම ජපන් අගමැතිවරයාගේ විශේෂම ලක්ෂණයක් ව තිබූ නිසාය, ඒ.

අට වසරක් මුළුල්ලේ ජපානය මුහුණ දුන් දරුණු භූමිකම්පා, සුනාමි ඇතුළු ගැටළු ගණනාවකදීම ජපානය සෙමෙන් හිස ඔසවන අයුරු ෂින්සො ඒබේ බලා සිටියේය.

නොකඩවා අට අවුරුද්දක් ධුරය දැරූ මෙම 65 හැවිරිදි ජපන් නායකයා ඉල්ලා අස්වීමත් සමග ජපානයට කෝවිඩ්-19 වසංගතය අතරවාරයේ නව දේශපාලන අස්ථාවරභාවයකටද මුහුණ දීමට සිදුව තිබේ. ඒබේ පවසා තිබෙන්නේ ගෝලීය වසංගතයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි නව නායකත්වයක් ජපානයට ලැබීම සිය ප්‍රාර්ථනය බවයි. මේ වන විට දෙවන කෝවිඩ් රැල්ල ද ජපානය විසින් සාර්ථක ව පාලනය කර ඇති බැවින්, ධුරයෙන් සමුගෙන යාමට මෙය හොඳම කාලය බව තමන්ට හැඟෙන්නේ යැයි ද ඔහු කියා තිබේ.

පසුගිය සඳුදා දැකගත හැකි වූයේ ෂින්සො එබේ තෝකියෝ නුවර කීයෝ සරසවි රෝහල වෙත ගමන් කරන ආකාරයයි. ඔහු වෛද්‍ය පරීක්ෂාවන්ට ලක්වූ බව සමීපතමයෝ ප්‍රකාශ කළහ.

‘‘වැදගත් දේශපාලන තීරණ ගන්නා විට මම අත්වැරදීම් සිදුකරගන්නේ නැහැ..‘‘

“I don’t want to make mistakes in important political decisions”

ධුරයේ රැඳී සිටීමට හැකියාව තිබියදීත් ඔහු මෙසේ ඉල්ලා අස්වීම බොහෝ කතා බහට ලක්වන කාරණයක් බවට පත් ව තිබෙන්නේ, කොතරම් අසනීප තත්වයන්ගෙන් වුවද බල කාමය හේතුවෙන්ම ධුරය අත්නොහරින නායකයන්ගෙන් ලෝක සිතියමේ රටවල් පිරී ඇති නිසා ය.

ඔහ පෙළෙමින් සිටියේ ulcerative colitis නමැති රෝගී තත්වයෙනි. එය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි තත්වයක් බව කියැවේ. ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ ෂින්සො ඒබේ මෙසේ පැවසුවේය.

‘‘ජනතාවගේ මැන්ඩේටයට විශ්වාසයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්නට බැරි අවස්ථාවේදී මම ධුරය අත්හැරිය යුතු යැයි තීරණය කළා..‘‘

“I decided I shouldn’t continue sitting in this seat as long as I cannot respond to the mandate of the people with confidence.” –

මේ ලෝකයේ හැම නායකයෙකුම ෂින්සො ඒබේගේ එවදන් දෙවරක් කියවා ගත යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි