×

සකුරා ඉලන්දාරියෙකුට පෙම් බඳින රයිනෝ ළමිස්සී

තායිවානයේ එමාගේ වයස අවුරුදු පහකි. සුදු රයිනෝ වර්ෂවලින් කියන්නේ නම් ඇය නාඹර ගැටිස්සියකි.


 ලෝකයටම සිටින්නේ මේ වර්ගයේ අය 18,000 ක් පමණක් නිසා ඇය දීග දෙන්නට කල වයස හරි යැයි ඇයව බලාකියා ගන්නා අය විසින් තීරණය කර තිබිණි. එනිසා ඇය ජපානයට ගියාය. ඇත්ත වශයෙන්ම, ඇය එන තෙක් සකුරා මල් පිපෙන රටේ ඉලන්දාරියෙක් බලා සිටියේය.

එමා දැන් සිටින්නේ ජපානයේ තෝබු සත්තු වත්තේ ය. ඇය මෙහි හරි ගණන් ය. ස්වයංවරයකින් කැමති රයිනෝ කුමාරයෙක් තෝරාගැනීමට පවා ඇයට වරම් ලැබී තිබේ. පළමු සකුරා කුමාරයා මෝරාන් ය. ඔහු ඇය මෙන් දෙගුණයක් වැඩිමල් ය. එමා මෝරාන්ට කැමතිදැයි කියන්නට දැන්ම කල් වැඩි අතර, අකමැති නම් ස්වයංවරයේදී දෙවැනි කුමාරයාව සම්මුඛ කිරීමට සියල්ල සූදානම් ය.

තායිවානයෙන් සකුරා රටට ගෙන ඒම හොඳ බවට යෝජනා වී තිබෙන්නේ ‘ආසියාවේ වඳ වීමට ආසන්නයේ සිටින සත්ව කොට්ඨාසයක් රැක ගැනීම’ උදෙසා ය.

තායිවානයේ ලෙෆූ සෆාරි උයනේ සිට නැව් නැගී පැය 16 ක ගමනක් යාම යනු රයිනෝවෙකුට පවා මහන්සි වැඩකි. එනිසාම මද විවේකයකින් පසුව යහමින් දිය නෑමට ඇයට අවස්ථාවක් ලැබුණේය. අනෙක් අතට මේ වසංගත කාලයේ මෙහෙම හරි පිට රටකට යන්නට ලැබීම ලොකු දෙයකි. ලොව පුරා මිලියන ගණන් දෙනාගේ මෙන්ම එමාගේ ද පිටරට ගමන ප්‍රමාද වුණේ කොරෝනාවෛරසය නිසා ය. නැතිනම් ඇය ජපන් රටට එන්නේ මාර්තුවේ ය.

වර්ගයා බෝ කිරීම පිණිස එමා තෝරාගැනුණේ 23 දෙනෙකුගේ කණ්ඩායමක් අතරිනි. එයට හේතුව ඇගේ ‘මුදු ගතිය’ යැයි මිනිස්සු කීවෝය. තායිවානයේ අය කිව්වේ ඇය රණ්ඩුවකට යන්නේ බොහොම ඉඳ හිට බවයි. මේ අතර ජපානයේ තෝබු සත්තු වත්ත භාර අය කිව්වේ, ඇය නැව් නැගී ඇවිත්, ලැජ්ජා බය ඇති නියම කෙල්ලක මෙන් නිදන මැදිරියට ගිය බවයි. එනම්, කලබල නොකර ‘කෙල්ල ගෙට වූ බව’ යි. මනුස්ස පිරිමින් මෙන්ම රයිනෝ පිරිමින් ද කට ගහගෙන යන – ගැහුවොත් ගහන ගැහැණුන්ට අකමැති බව සත්තු වත්ත බලාකියා ගන්නා අයගේ අදහස වී තිබේ. ඒත් කවුද දන්නේ….?

Phots: © Getty Images

White Rhino Facts

  • සුදු රයිනෝ, ලෝකයේ දෙවැනියට විශාල ගොඩබිම් ක්ෂීරපායියා ය. උන් විශාලත්වය අතින් දෙවැනි වන්නේ අප්‍රිකානු ඇතාට පමණි.
  • පිරිමි සුදු රයිනෝවන් මීටර 1.8 ක් දක්වා දිගින් වැඩේ. මෙය දළ වශයෙන් අඩි 5.6 ක් පමණ වේ. උන්ගේ බර කිලෝ 2,500 ක් එනම් රාත්තල් 5,500 ක් පමණ වේ.
  • එනම් සුදු රයිනෝ පිරිමි සතෙක් හොඳින් වැඩුණු පිරිමින් 30 දෙනෙක් තරම් බරැති ය.
  • මෙම දේහ ප්‍රමාණයට සාපේක්ෂව සුදු රයිනෝවන්ට පැයට සැතපුම් 25 ක වේගයකින් දිව යා හැක. නමුත්, ඒ කෙටි දුරවල් පමණි.
  • ලෝකයේ රයිනෝ විශේෂ 5 ක් ජීවත් වෙති. එයින් සුදු සහ කළු රයිනෝවන් අප්‍රිකාවේ ජීවත් වන අතර, සෙසු විශේෂ ජීවත් වන්නේ ආසියාවේ ය.
  • රයිනෝ විශේෂ 5 අතරින් දැවැන්තම වි‌ශේෂය වන්නේ සුදු රයිනෝවන් ය.
  • ශාකභක්ෂක මෙම සතුන් වැඩි වශනේ ආහාරයට ගන්නේ පෙඳ පාසි වේ.
  • දකුණු අප්‍රිකාවේදී සුදු රයිනෝවන් දිනකට එක් අයෙකු බැගින් මරා දමන බව කියැවේ. ඒ, උන්ගේ අඟ ලබාගැනීම සඳහා ය. මෙහි ප්‍රතිඵලය වශයෙන් අද වන විට සත්වෝද්‍යානවලින් බැහැරව මුළු ලෝකයටම ඉතිරි වී සිටින්නේ සතුන් දහඅට දහසක් පමණි.
  • නීති විරෝධී දඩයක්කරුවන්ගේ ගොදුරු බවට පත් වන උන්ගේ අවසාන ගැනුම්කරුවන් වන්නේ ආසියාතිකයන් ය.
  • රයිනෝ හෙවත් රයිනෝසිරස් අ‌ඟෙහි ඖෂධීය ගුණයක් ඇති බව වෛද්‍ය විද්‍යාව විසින් ඔප්පු කර නැතත්, එය ප්‍රබල වාජීකරණ ඔසුවක් ලෙස සලකයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි