×

සතියක් තුළ එකම පවුලේ තිදෙනෙකුට දිවි අහිමි කළ වේල්ස් නිම්නයේ කෝවිඩ් ඛේදාන්තය

එක්සත් රාජධානියේ සමස්ත කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යද්දී ජනගහන අනුපාතිකය අනුව රටේ ජීවත් වීමට අති භයානකම ස්ථානය බවට පත්ව තිබෙන්නේ වේල්සයයි.


ජනගහනය අනුපාතිකය අනුව වේල්ස් හිදී පුද්ගලයන් 100,000කට ආසාදිතයෝ 6016 ක් සිටිති. එය සුළු ප්‍රමාණයක් යැයි ඔබ තවමත් සිතනවා නම් මේ කතාව අනිවාර්යයෙන් කියවන්න…

* * *

ඩෙබී මවුන්ට්ජෝයිට සිය සොයුරු බැරන් සමග අවසන් මොහොතේ සිටින්නට බැරි විය. ඔහු කොරෝනා වෛරසයෙන් ආතුරව දැඩි සත්කාර ඒකකයේ වැතිර සිටි බව පමණක් ඇය දනියි.

ඩෙබීද කෝවිඩ්-19 වසංගතයට ගොදුරු වෙලා ය. ඇය පොසිටිව් තත්වයට පත් වූ එකම පවුලේ 9 දෙනෙක් සමග නිවසේ ස්වයං නිරෝධායනය වී සිටින්නීය.

ඩෙබීගේ මව ග්ලේඩිස් ලුවිස් සහ ඇගේ පුතුන් වන ඩීන් සහ ඩැරන් ද පසුගිය වසරේ අග, දින 5 ක් ඇතුළත මරණයට පත් වූහ.

ඒ අනුව මේ ලිපිය සමග පළ වන ප්‍රධාන ඡායාරූපයේ ග්ලැඩිස් (වමේ), ඩීන් (දකුණේ) සහ ඩැරන් (දකුණේ සිට දෙවැනියට) යන තිදෙනාම දැන් මිය ගොස් තිබේ. මේ පවුලේ ඡායාරූපයට දැන් තිදෙනෙක්ම අහිමි ය.

‘‘පවුලක එක්කෙනෙක් අහිමි වුණත් ඒක පුදුම දුකක්.. ඒත් දවස් කීපයක් ඇතුළත එක්කෙනා බැගින් මිය යන්නට පටන් ගත්තාම….?‘‘

‘‘අපි පුදුම විදිහට භීතියකට පත් වුණා….. හැම තිස්සෙම මට හිතුණෙ අපේ පවුලෙ තවත් කවුරුහරි මැරෙන්න යනව කියලයි..‘‘

සිතට ඇතිවුණු කම්පනය එසේ අකුරු කරන්නේ ඩෙබී ය.

මේ පවුලේ අය අතරින් ඩැරන්, ඩවුන්ස් සහලක්ෂණයෙන් ද පීඩා වින්දෙකි. නමුත් කෝවිඩ් වසංගතයට ගොදුරු නොවුණා නම් ඔහු මෙසේ වයස 42 දී මිය නොයනු ඇත. ඩෙබී ව එදා මංගල දිනයේදී අල්තාරය අබියසට කැඳවාගෙන ආවේ ද මේ මල්ලී ය.

Debbie Mountjoy was walked down the aisle by her brother Darren. Pic: Debbie Mountjoy

‘‘ඔහුගෙ අවසාන මොහොතෙදි හෙදිය ස්පීකරයක් දාලා ඔහුගෙ කන ළඟින් තිබ්බා.. මම ඔහුට කොච්චර ආදරේද කියල එතකොට මට ඈත ඉඳන් කියන්න අවස්ථාව ලැබුණා..‘‘ යැයි ඩෙබී සිහිපත් කරයි.

‘‘ඩැරන්… මගෙ මල්ලි.. මගෙ මුළු ලෝකයම වෙලා හිටියා.. ඒත් ඔහු වෙනුවෙන් එතැන ඉන්න බැරි වුණු එක මට කවදාවත් අමතක කරන්න බෑ…‘‘

ග්ලැඩී සහ ඇගේ පුතුන් දෙදෙනා වෙනුවෙන් හිස් දෙව්මැදුරක නිහඬ දේව මෙහෙයක් පැවැත්විණි. මේ දිනවල ලෝකයේ වසංගතයට ගොදුරු වී මිය ගිය අය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන් හි තිබෙන අති අසාමාන්‍ය පාළුව එහි පැතිර තිබිණි. මීටරයක පමණ දුරින් මිනී පෙට්ටි තුනක් තබලා ය.

කටකතා පිරුණු නිම්නය

මේ පවුල ජීවත් වන දකුණු දිග වේල්සයේ ජනගහනය 241,000 ක් පමණි. නමුත් ජනවාරි 15 වන විට මරණ 760 ක්ම ඒ අතරින් වාර්තා වී ඇත. එහි දෛනික කෝවිඩ් මරණ ගණන, එක්සත් රාජධානියේ සාමාන්‍ය අගයට වඩා බෙහෙවින් වැඩි ය. එහි අසබඩ පිහිටා තිබෙන Merthyr Tydfil පෙදෙසින් රටේ දෙවැනියට වැඩිම කෝවිඩ් මරණ ගණන වාර්තා වේ.

වේල්ස් නිම්නයන් හි ජීවත් වන්නේ අතීතයේ පතල් කර්මාන්තයේ යෙදුණු ප්‍රජාවන් ය. අත්හැර දැමූ පතල් ක්ෂේත්‍රයන් හි නිවෙස් තනාගත්තවුන් ද එහි වෙති. ඒවා අතිශය ජනාකීර්ණ ස්ථානයන් ය. කෝවිඩ් වසංගතය, මේ අඳුරු, ජනතාව පිරුණු නිම්නයන්ට කඩා වැදුණු කුණාටුවක් බඳු විය.

Debbie Mountjoy was walked down the aisle by her brother Darren. Pic: Debbie Mountjoy

එහි රෝයල් ගැල්මොර්ගන් රෝහලේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය දායි සැමුවෙල් මෙසේ කියයි.

‘‘මේ මිනිස්සු තවමත්, කොරෝනා වෛරසය කුමන්ත්‍රණකාරී වැඩක් බව හඟිමින් ජීවත් වෙනවා.. නිම්නය පුරා කටකතා පැතිරිලා..‘‘

ඒ කටකතාවලින් කියැවුණේ මෙම වසංගත අවදානම බොරුවක් බව ය. එය මෙතරම් ම ජීවිත හානියක් ඇති කරාවි කියා කිසිවෙක් බරපතළ ලෙස සිතුවේ නැත. තවද ඔවුහු වෛද්‍ය උපදෙස්වලට වඩා මිතුරන් හෝ සමාජ ජාලවල උපදෙස් අනුගමනය කරති.

වෛද්‍ය දායි සැමුවෙල් හට මෙම යථාර්ථය සමාජ ජාල ඔස්සේ කියා පෑමට උත්සාහ ගැනීම නිසා අන්තර්ජාල හිරිහැරවලට ද මුහුණ පෑමට සිදුවිය. ‘‘මිනිස්සු මේ තරම් මැරෙන්න හේතුව විදිහට අපි මහන්සි වෙලා වැඩ කරන්නෙ නෑ කියන එක ඔවුන් පැවසුවා..‘‘ යැයි වෛද්‍ය දායි කියයි. අවසානයේ තවත් වෛද්‍යවරියකට, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියෙකුගේ වීඩියෝවක් ද සමාජ ජාල වෙත මුදා හැරීමට සිදුවුණේ මේ පිළිබඳ තිබෙන දුර්මත නැති කිරීම සඳහා ය.

එම රෝහලේම වෛද්‍ය නික් ලියොන් මෙසේ කියයි. ‘‘මම රෝහල් අධ්‍යක්ෂවරයෙකු වශයෙන් අවුරුදු ගණනක් වැඩ කළා.. නමුත් මේ වගේ නරක ශීත සෘතුවක් මම කවදාවත් දැකල නෑ.‘‘

රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක් වෛද්‍ය සේවකයෙකුගේ එක් වැඩමුරයක් තුළ තුන් දෙනෙකු මරණයට පත් ව තිබිණි.

‘‘අවුරුදු තිස් ගණන්වල අය පවා මෙහි මිය ගිහින්.. ඔවුන්ගේ ඥාතීන්ට ඒ පුවත් කියන විට අපට දැනෙන පීඩනය ඔබට සිතාගන්නට බැහැ..‘‘ යැයි ද ඔහු කියයි. දැනට මෙම රෝහලෙන් පමණක් කෝවිඩ් මරණ 1,200 කට වඩා වාර්තා වී ඇත.

Dr Nick Lyons says the number of COVID-19 deaths in the area were beyond his ‘worst nightmare’

කිසිම කෙනෙකුට මේ වගේ වෙන්න එපා!

සිය බිරිඳ සහ පුතුන් දෙදෙනා අහිමි වීමේ වේදනාව දරාගත නොහැකිව සිටි ඩෙබීගේ පියා ද මේ වන විට කෝවිඩ් ආසාදිතයෙකි.

‘‘ඒක දරන්න බෑ..‘‘ ඔහු කඳුළු සඟවා ගැනීමට තැත් නොකළේය.

‘‘කිසිම පවුලකට, කිසිම කෙනෙකුට මේ වගේ වෙන්න එපා…!‘‘

Photos: Sky News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි