×

සදහටම උදුරාගත් වසන්තය ගැන පෙම්වතියකගේ සටහන

ඔබේ සසොබන සිනහව මගේ ආත්මය පුරා සදහටම රැඳෙනු ඇත. - හටිසේ සෙන්ගිස් -


ඝාතනයට ලක් වූ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගීගේ පෙම්වතිය – හටිසේ සෙන්ගිස් සිය වේදනාත්මක අත්දැකීම තම ට්විටර් ගිණුමට ගොනුකර පා කර හැර ඇත.

“… මගේ ලෝකයෙන් ඔබව කායිකව ඔවුන් ඉවත් කර ඇත. ඒත්, ඔබේ සසොබන සිනහව මගේ ආත්මය පුරා සදහටම රැඳෙනු ඇත. …” යනුවෙන් එහි සඳහන්ව තිබිණ.

ජමාල්ගේ අතුරුදන් වීමෙන් පසු සෙන්ගිස් තබා තිබූ පළමු හැඟීම්බර සටහන මෙයයි. සෙන්ගිස් මේ සටහන තබා තිබුණේ ජමාල් ඛෂෝගී තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයේදී ඇති වූ ගැටුමකින් මියගිය බව, සෞදි රජය තහවුරු කිරීමෙන් පසුවයි. සිය ට්විටර් සටහනට ජමාල්ගේ වීඩියෝවක් ඈ ඈඳා තිබිණ. මේ වීඩියෝව, රූපවහිනි වැඩසටහනකට ජමාල් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝවකි. එම පටිගත කිරීම අතරතුරදී බළලකු ජමාල් ඛෂෝගීගේ උකුළ මතට හදිසියේම වාගේ කඩා පැන ඇත. එම දර්ශනය මෙම වීඩියෝවෙහි ඇතුළත්ය. බළලාගේ හදිසි කඩා පැනීමෙන් කිසියම් ආහ්ලාදයක් ලබන ජමාල් ඉතාමත් ප්‍රීතිමත්ව සිනහ වන අන්දම හොඳ අපූරුවට වීඩියෝවෙහි සටහන් වී තිබේ. “මේක (බළලා කඩා පනින දර්ශනය) චිත්‍රපටයේ (වැඩසටහනේ) මේ විධියටම ඔබ තියන්න ඕනෑ. …” කියා සිනහ මුසු මුහුණින් ජමාල් සෙසු මාධ්‍යවේදීන්ට පවසන අන්දමත් එහි ඇත. ඒ වීඩියෝව දකින ඕනෑම කෙනෙකුගේ හදවත මොහොතකට නතර වනවාට කිසිදු සැකයක් නැත.

ජමාල් ඛෂෝගී සිය දික්කසාදයට අදාළ ලේඛන ලබා ගැනීම සඳහා තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය අභ්‍යන්තරයට පිවිසියේ හටිසේ සෙන්ගිස්ට කොන්සල් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටීමට ඉඩ සලසමිනි. අනෙකක් තබා ඔහු සිය ජංගම දුරකතන දෙක පවා තබා ගියේ සිය පෙම්වතිය භාරයේය. කාර්යය නිමවා ජමාල් ආපසු නොපැමිණි බැවින් ගෙන්ගිස්, තුර්කි – අරාබි මාධ්‍ය ආයතනයේ ප්‍රධානි ටුරාන් කිස්ලකිට දුරකතන ඇමතුමක් ලබා දී සිද්ධිය අනාවරණය තිබිණ.

“… මම දන්නේ නැහැ; ජමාල් ඇතුළේද (කොන්සල් කාර්යාලය තුළ) කියලා. මට දැනගන්න ඕන ජමාල් කොහෙද කියලා. ඔවුන් (කොන්සල් කාර්යාල නිළධාරීන්) ඔහුව රඳවාගෙන තියාගෙන ඉන්නවද?. ඔහුව පැහැරගෙන ගිහින්ද?. ඔහුව හිරභාරයට පත් කළාද?. … ආදී වශයෙන් ඈ මාධ්‍යයෙන් ප්‍රශ්න කර තිබුණේ කොන්සල් කාර්යාල ඉදිරිපිට හිඳිමිනි. ඒ වනවිට ජමාල් අතුරුදන්ව දිනයකුත් ඉක්මයමින් පැවතියේය. සෙන්ගිස්, මාධ්‍යට අදහස් දක්වා තිබුණත්,  තම නම හෙළි නොකරන මෙන් ඈ මාධ්‍යයෙන් ඉල්ලා සිටියාය.

“.. ඔහු කෑව ද බිව්ව ද?. ඔහු හොඳින් ඉන්නවා ද?. … ඔහු ත්‍රස්තවාදියෙක් නෙවෙයි. ඔහු විශ්ලේෂකයෙක් සහ මාධ්‍යවේදියෙක් පමණයි. …” කියා සැලෙන හදින් හා කඳුළු පිරුණු දෙනෙතින් සෙන්ගිස් සී.එන්.එන්. මාධ්‍යවේදියාට පවසා තිබිණ.

ජමාල් ඛෂෝගී ජීවිතක්ෂයට පත් වූ බව සෞදි රජය නිල වශයෙන් අනාවරණය කිරීමත් සමඟම ජමාල් සහ සෙන්ගිස් අතින් අත අල්ලාගෙන සිටින වීඩියෝ දර්ශනයක් තුර්කි මාධ්‍ය ආයතන පළ කළේය. ඔවුන් දෙදෙනා අතින් අත අල්ලාගෙන නව නිවෙස්කඩකට ගොඩවදින අයුරු එමඟින් දැක්වේ. මේ නිවෙස්කඩ ජමාල් මිලදීගෙන තිබුණේ තම පෙම්වතිය – සෙන්ගිස් හා විවාහ වීමෙන් පසු එහි පදිංචියට යෑම පිණිසයි.

මෙවැනි තවත් ඕනෑ තරම් සොඳුරු දේ ඔවුන් දෙදෙනාගේ ජීවිතය තුළ තිබෙන්නට ඇත. ඒ සියල්ල හටිසේ සෙන්ගිස් තුළ දැන් මතක හුයක් පමණි. යළිත් නොඑන්නම වසන්තය ඇගේ ජීවිතයෙන් පළා ගොස් ඇත. හරියටම කිවහොත්, කෘර හිත් ඇති කුමාරවරුන් වසන්තය ඇගෙන් සදහටම උදුරාගෙන තිබේ.

 

මංජුලා විජයරත්න.

https://edition.cnn.com/2018/10/20/middleeast/khashoggi-fiancee-intl/index.html

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි