අද, එනම් 2019 ජූලි 20 වන දිනට හරියටම වසර 50 කට පෙර මිනිසා ඇපලෝ 11 යානයෙන් බිමට බැස සඳ මත පා තැබුවේය. මේ ඒ ගැන ඔබ දැන ගත යුතුම කරුණු 50 කි.
පෘථිවි කක්ෂය මතට අජටාකාශ ගාමීන් සාර්ථක ලෙස යැවූ මර්කරි සහ ජෙමිනි අභ්‍යවකාශ වැඩසටහන්වලින් පසුව ඇමරිකා එක්සත් ජනපදය ඇපලෝ 11 යානයෙන් මිනිසෙකුව සඳ මතට යැවීම සිය ඉලක්කය බවට පත් කර ගත්තේය. නමුත් මුලින්ම අරමුණ වී තිබුණේ චන්ද්‍රයාගේ කක්ෂය මතට මිනිසෙකු යැවීම මිස සඳ මත මිනිසාගේ පිය සටහන් තැබීම නොවේ.
එවකට ඇමරිකානු ජනපති වූ ජෝන් එෆ් කෙනඩිට ඊට වඩා වැඩි දෙයක් කිරීමට උවමනා විය. 1961 මැයි මස ඇමරිකානු කොංග්‍රසය අමතමින් කෙනඩි මෙම ඓතිහාසික ප්‍රකාශය සිදු කළේය.
“I believe that this nation should commit itself to achieving the goal, before this decade is out, of landing a man on the moon and returning him safely to the earth. No single space project in this period will be more impressive to mankind, or more important for the long-range exploration of space, and none will be so difficult or expensive to accomplish.”
1960 දශකය අවසන් වීමට පෙර මිනිසා ගේ පිය සටහන් සඳ මත තැබීම සහ ඒ මිනිසාව ආරක්ෂිත ලෙස නැවත පෘථිවියට ගෙන ඒම ඇමරිකාවේ පළමු ඉලක්කය බවට ඒ අනුව පත් විය.
නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්‍රින් සහ මයිකල් කොලින්ස් පිළිවෙළින් කමාන්ඩර්, ලූනා මොඩියුල් පයිලට්, කමාන්ඩ් මොඩියුල් පයිලට් ලෙස තෝරා ගැනිණි. ඔවුන්ට ආදේශක වශයෙන් ජේම්ස් ලොවෙල්, ෆ්‍රෙඩ් ඩබ්ලිව් හයිස් සහ විලියම් ඒ. ඇන්ඩ්‍රිස් ද සූදානම් කෙරිණි.
ජනපති ජෝන් එෆ් කෙනඩි කුමක් කීවත්, ඇපලෝ 11 යානාවේ මෙහෙයුම් ප්‍රකාශනය හෙවත් මූලික මෙහෙයුම් ඉලක්කය ලෙස නාසා ආයතනය තවදුරටත් තබාගත්තේ සරල සහ කෙටි අරමුණකි. එනම්, “Perform a manned lunar landing and return.” මිනිසුන් සහිත යානාවක් සඳට යැවීම සහ එය ආරක්ෂිතව නැවත පෘථිවියට ගෙන්වා ගැනීමයි.
Gemini V මෙහෙයුමෙන් ඇරඹි සම්ප්‍රදායක් අනුව, ඇපලෝ 11 ගමනට සහභාගි වන ගගනගාමීන්ට එම ගමන සඳහා සුදුසු ලාංඡනයක් යෝජනා කරන ලෙස ඇරයුම් කෙරිණි. ඔවුන් ඒ සඳහා සිය නම් යෙදීම ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මේ මහා මෙහෙයුම සඳහා දායක වූ සියලුම දෙනා නියෝජනය වන පොදු ලාංඡනයක් සඳහා කැමැත්ත පළ කළහ. මයිකල් කොලින්ස් ඒ සඳහා නායකත්වය ගත්තේය. ඒ අනුව නිර්මාණය වූයේ, ඇමරිකාවේ ජාතික පක්ෂියා වූ තට්ට රාජාලියෙකු (බෝල්ඩ් ඊගල්) චන්ද්‍රයාගේ ආවාටයක් මත ඔලිව් අත්තක් තබන්නට සැරසී සිටින ආකාරයයි. ඔලිව් අත්ත මයිකල් කොලින්ස්ගේ යෝජනාවකි.
හොඳින් බලන්න. මේ ලාංඡනයේ විශාල වරදක් තිබේ. මෙහි දැක්වෙන්නේ පෘථිවියේ වම් පස අඳුරු වී තිබෙන ආකාරයයි. නමුත් සඳ මත සිට බලන විට අඳුරු වී තිබිය යුත්තේ පෘථිවියේ පහළ අර්ධය මිස වම් පස නොවේ.
අවිවාදයෙන්ම ජාතික වීරයන් බවට පත්ව සිටි නීල් ආම්ස්ට්‍රෝන්, මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ ගමන පිටත්වීමට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූහ. ‘කිසියම් පුද්ගලික දෙයක් ඔබ සඳ වෙත ගෙන යන්නේද?“ යි එහිදී මාධ්‍යවේදියෙක් ආම්ස්ට්‍රෝන්ගෙන් ඇසුවේය. එවිට ඔහු දුන් පිළිතුරු මෙයයි. ‘‘මට පුළුවන් කමක් තිබුණ නම්, කෝකටත් කියල වැඩිපුර ඉන්ධන ටිකක් අරගෙන යනවා..“ එහි අර්ථය, යම්කිසි තාක්ෂණික ගැටළුවක් ගැන ඔහු චකිතයෙන් පසු වූ බවද?
ඇපලෝ 11යානය දියත් කරනු ලැබුවේ Saturn V රොකට්ටුවේ ආධාරයෙනි. එය ඇපලෝ ගගන වැඩසටහන වෙනුවෙන් ම නිර්මාණය කළ එකකි. ‘‘ඇපලෝ යුගයේ සාර්ථකම රොකට්ටුව‘ යනුවෙන් ද මෙය හැදින්වේ. අඩි 363 ක් උස සැටර්න් 5, ඒ අනුව පාපන්දු පිටියක් හරස් අතට සිටුවා තැබුවාක් වැනි විය. ලිබර්ටි ප්‍රතිමාවට ද වඩා එය අඩි 60 ක් උස ය. කෙසේ නමුත් මෙය ලෝකයේ එදා මෙදාතුර නාසා ආයතනය විසින් බිහිකළ සාර්ථකම රොකට්ටුව වේ.
සැටර්න් 5 ලෝන්ච් පෑඩයේදීම පුපුරායාමට ඉඩ නොතිබිණිද? යම් හෙයකින් මිනිසාගේ සඳ ගමන ලත් තැනම ලොප් වී මේ අවාසනාවට මුහුණ දුන්නේ නම්, එවිට කුමක් සිදුවනු ඇතිද? සැටර්න් 5 රොකට්ටුවේ සැතපුම් 5 ක් දුරට, රාත්තල් 100 ක ලෝහ කැබලි වුණත් පුපුරුවා විසුරුවා හරින්නට තරම් ඉන්ධන ප්‍රමාණයක් ගැබ් කර තිබිණි. පුදුමයක් නැත. සඳ ගමනට අවශ්‍ය ඉන්ධන සියල්ල ඒ තුළ ය. එහි බර කිලෝ 2,970,000 ක්මේ විය. අවදානම නිසාම, ඇපලෝ 11 සමග සැටර්න් 5 උඩුගුවන වෙත ළඟා වන ඓතිහාසික මොහොත නරඹන්නට එක්රොක් වීී සිටි සම්භාවනීය අමුත්තන් ව රඳවා සිටියේ දියත් කිරීමේ ක්ෂේත්‍රයේ (ලෝන්ච් පෑඩ්) හි සිට සැතපුම් 3.5 ක් දුරිනි.
සැටර්න් 5 රොකට් ස්කන්ධය උඩු ගුවන වෙත ගමන් අරඹන විට එහි මුලු බර රාත්තල් මිලියන 6.2 කි. මේ අනුව මේ ද්‍රව ප්‍රචාලන රොකට්ටුවේ එන්ජින් විසින් රාත්තල් මිලියන 7.6 ක ඝර්ෂණ බලයක් නිපදවිය යුතු විය. ඒ සඳහා අවශ්‍ය (දහනය කළ යුතු) ඉන්ධන ප්‍රමාණයෙන්, මෝටර් රථයක් ලෝකය වටේ 800 වතාවක් ධාවනය කළ හැකි ය! ඒ ප්‍රමාණය තත්පරයකට ඉන්ධන ටොන් 20 කි.
එවිට ඩෙසිබල් 200 ක ශබ්දයක් නිකුත් වීමට නියමිත ය. මිනිසාගේ කන් බෙර ඩෙසිබල් 150 කදී පැලී යයි. මේ නිසා සැටර්න් 5 දියත් කරන විට ශබ්දය පරිවරණය කිරීම සඳහා විශේෂිත ක්‍රමයක් යොදාගැනීමට සිදුවිය. එහිදී අතිවිශාල ප්‍රමාණයේ ජල පරිමාවක් ලෝන්ච් පෑඩයට පොම්ප කළ බව කියැවේ.
එසේ කිරීමට තවත් හේතුවක් විය. එන්ජින්වලින් නිකුත් කරන ඩෙසිබල් 200 ක ධ්වනි ශක්තිය, එන්ජිම්වලට පහළින් වූ කොන්ක්‍රීට් පෑඩය උණු කිරීමට පවා ප්‍රමාණවත් ය. තවද පරාවර්තනය වන තාප තරංග, සැටර්න් 5 රොකට්ටුව එතැනම විනාශ කිරීමට පවා සමත් වනු ඇත.
විවේකී මිනිස් හදවතක සාමාන්‍ය හද ගැස්ම මිනිත්තුවකට වාර (bpm ) 60 ත් 100 ත් අතර වේ. ඇපලෝ 11 මෙහෙයුමට දායක වන තිදෙනාගේ සෞඛ්‍ය්‍ය පිළිබඳ විමසිලිමත් වීම නිබඳ ව සිදුවිය. ඒ අනුව පියාසැරි වෛද්‍යවරයා පසුව මෙසේ වාර්තා කළේය. පෘථිවියෙන් නික්මෙන මොහොත වන විට ආම්ස්ට්‍රොන් සහ කොලින්ස්ගේ හද ගැස්ම පිළිවෙළින් 110 bpm සහ 99 bpm ක් විය. මේ අතර එඩ්වින් ඕලඩ්‍රින්ගේ හද ගැස්ම 88bpm විය.
ඇපලෝ 11 මෙහෙයුම සිදුකරනු ලැබුවේ එකිනෙකට වෙනස් මොඩියුල 3 කිනි. කමාන්ඩ් මොඩියුල ලෙස කටයුතු කිරීම සහ සඳ මතට ගොඩ බෑම කොලොම්බියා මොඩියුලය විසින් සිදුකළ යුතු වු අතර, සර්විස් මොඩියුලය ලෙස ක්‍රියා කළ යුතුව තිබුණේ ඊගල් ය.
මේ අතර, යානාවේ කාර්ය මණ්ඩලයට ඉඩකඩ තිබූ මොඩියුල 2 වූයේ කොලොම්බියා සහ ඊගල් ය. එහි නූතන SUV වාහනයක තරම් ඉඩකඩක් තිබිණි. සර්විස් මොඩියුලය පුරවා තිබුණේ ඔක්සිජන්, ජලය සහ මෙහෙයුමට අවශ්‍ය කරන බලවේග පද්ධතිවලිනි. චන්ද්‍රයාගේ කක්ෂයට අවතීර්ණ වීම සහ යානය නැවත පෘථිවය වෙත ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රචාලන බලය ලබාදීම ද ඊගල් මොඩියුලයට භාර වී තිබිණි.
ඇපලෝ 11 යානයේ ගගනගාමීන් හට ඇති විය හැකිව තිබූ අපහසුතා මොනවාද? සඳ ගමන ගැන සිය අත්දැකීම් Carrying the Fire ග්‍රන්ථය හරහා සටහන් තැබූ එඩ්වින් ඕල්ඩ්‍රින් මෙසේ කියයි. ‘‘බීමට ගන්නා ජලය හයිඩ්‍රජන් බිංදුවලින් වැසී තිබුණා. මේවා පානය කිරීම නිසා උදරයේ වාතය පිරෙනනවා. දුගඳ හමන උදර වාතය!“
එකම ප්‍රශ්නය වූයේ ඉහත කී පරිදි උදර වාතය පමණක් නොවේ. කොලින්ස් මෙසේ කියයි. ‘‘ගඳ ගසන මහල්ලන්ගේ තත්වයට අපි පත් වෙලා තිබුණා පමණක් නොවෙයි, මට මාව දැනුණේ නටුවෙන් වැටෙන්න ඔන්න මෙන්න කියා තිබෙන ඉදුණු අඹ ගෙඩියක් වගේ. ඕන වෙලාවක අපි පොළොවට වැටිලා, මිනිස්සු දෙනෝ දාහක් ඉස්සරහ අපිට මළපහ පිටවේවි වගේ හැඟීමක් මට තිබුණා!“
එසේම ඇපලෝ 11 යානයේ ගගනගාමීන්, හදිසි අවස්ථාවක පාවිච්චිකිරීම සඳහා බඩ බුරුල් වීම වළක්වාගන්නා ඖෂධ උඩු ගුවනට ගෙන ගියේ ද මේ හේතුව නිසා ය.
ඇපලෝ 11 මෙහෙයුමේ මෙහෙයුම් භාර ව තිබූ පරිගණකය වූයේ Apollo Guidance Computer (AGC) ය. නූතන පරිගණක තාක්ෂණයට සාපේක්ෂව ‘ගල් යුගයේ‘ පරිගණක පද්ධතියක් යැයි යමෙක් කියන්නට පුළුවන් වුවත්, ඒ යුගයට සාපේක්ෂව එහි අති දියුණු තාක්ෂණයක් විය. වයර් සහ ලෝහ හරයන්ගෙන් යුක්ත වූ මෙම පරිගණකය ද්විමය කේත ලබාදුන්නේ මේ ආකාරයට ය. වයරයක් ගෝලයක් තුළින් ගිය විට එයින් 1 ද වයර ලෝහ ගෝලය වටා ගිය විට එයින් 0 ද සංකේතවත් විය.
මිනිසා සඳ මතට ගෙන ගිය මේ පරිගණක වැඩසටහන නිර්මාණය කළේ මාග්‍රට් හැමිල්ටන් නමැති විද්‍යාඥවරිය විසිනි. ඇපලෝ 11 පරිගණක වැඩසටහනේ ප්‍රධානියා වූයේ ඇයයි. ‘සොෆ්ට්වෙයා ඉංජිනේරු‘ (software engineer) යන යෙදුම ලෝකයට බිහි වූයේ ද ඇපලෝ 11 පරිගණක වැඩසටහන හේතුවෙන් බවට මතයක් තිබේ.
ඇපලෝ 11 යානය චන්ද්‍රයා වටා වන කක්ෂයට ඇතුල් විය. එම කක්ෂය පිහිටා තිබෙන්නේ හරියටම චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ටයේ සිට සැතපුම් 70.2 ක් දුරිනි. මෙහෙයුම ආරම්භ වී පැය 100කට පසුව නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඕල්ඩ්‍රින්, කොලොම්බියා මොඩියුලයේ ඩොකිං ටනලය හරහා ඊගල් මොඩියුලය වෙත ඇතුල් වූහ. ඒ සමගම මොඩියුල දෙක වෙන් විය.
ඊළග නිමේෂයේදී කුමක් සිදුව්නේදැයි සැබවින්ම ඔවුන් දැන සිටියේ නැත.
ඉතිරි විස්තරය දෙවන ලිපියෙන්…