×

සඳ මත න්‍යෂ්ටික බලාගාරයක්!

චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත න්‍යෂ්ටික බලාගාර පිහිටුවීමට නාසා ආයතනය මේ දිනවල සූදානම් වෙමින් සිටියි.


කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු පෘථිවියේම ජන ජීවිතය අඩාල වී ඇතත්, වෙනම ලෝකයක් බඳු නාසා ආයතනය, වෙනත් ලෝක සමග වැඩ කරන නිසාම, ඔවුන් වසංගතය හේතුවෙන් සිය වැඩ කටයුතු අඩාල කරගෙන නැති සෙයකි.

මේ අනුව ඔවුන් දිගින් දිගටම වෙහෙසෙන්නේ අඟහරු ග්‍රහයා සහ චන්ද්‍රයා මිනිස් ජනාවාස බවට පත්කිරීමේ සිහිනය සැබෑකර ගන්නට ය.

වැඩි කල් නොයවාම, එනම් වසර 2024 දී නාසා ආයතනයේ මීළඟ චන්ද්‍ර මෙහෙයුම ආරම්භ වනු ඇත. පර්යේෂකයන් චන්ද්‍ර මතුපිට සහ අඟහරු ග්‍රහයාගේ මතුපිට බලාගාර ස්ථාපිත කිරීමට සැරසෙන්නේ එහිම දිගුවක් වශයෙනි.

American Chemical Society හි සතිපතා පුවත් සඟරාව වන Chemical & Engineering News වාර්තා කරන ආකාරයට, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක මෙහිදී විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.

විශාලම අභියෝගය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක පෘථිවියේ සිට රැගෙන යාමයි

චන්ද්‍රයා හෝ අඟහරු ග්‍රහයා මතුපිට ජනාවාස කිරීම තවමත් විද්‍යා ප්‍රබන්ධ කතාවක් සේ අපට පෙනී යාම අසාධාරණ නැත. එය සැබවින්ම අසීරු කාර්යයකි. එය ආරම්භ කිරීමට නම්, බලශක්ති ප්‍රභවයන් පෘථිවියේ සිට ප්‍රවේශමෙන් චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා වෙත රැගෙන යා යුතුය. තවද ඒවා එහි ගෙන ගිය පසු, එම පරිසරවල පවතින දෘඩ තත්වයන් මධ්‍යයේ ඒවා නිසි ලෙස ස්ථාපිත කළ යුතුය.

සඳ මත ආවාට සහ අඟහරුගේ දුහුවිලි තැතිතලා

චන්ද්‍රයාගේ මතුපිට දහස් ගණනින් අඳුරු ආවාට තිබේ. අඟහරු ග්‍රහයාගේ පෘෂ්ටය පුරාම දුහුවිලි තැනිතලා බහුල ය. මේ අනුව සූර්ය බලය කිසිසේත්ම, මේ පරිසරවලදී ශක්ති ප්‍රභවයන් නොවේ. 1960 දශකයේ පටන්ම අජටාකාශ යානා වලට බලය ලබාදෙන්නට භාවිතා කළේ ප්ලූටෝනියම්-238 වියෝජනයයි. නමුත් මේ ක්‍රමය ද මේ ජනාවාස සිහිනයේදී අවලංගු වන්නේ ප්ලූටෝනියම්-238 වෙතින් ලබන න්‍යෂ්ටික බලය ප්‍රමාණවත් නොවීමට ඉඩ ඇති හෙයිනි.

න්‍යෂ්ටික වියෝජනය ද, න්‍යෂ්ටික විඛණ්ඩනය ද?

එනිසා යුරේනියම්-235 සමස්ථානිකය විඛණ්ඩනය කරන ‘න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරක‘ (nuclear fission reactors) මේ සඳහා යොදාගත එක් ක්‍රමයක් යැයි වසර කිහිපයක පර්යේෂණවලින් පසු නාසා විද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. මේවා සාමාන්‍යයෙන් දැනට භාවිතා වන්නේ න්‍යෂ්ටික බලාගාර සඳහා ය. නමුත් චන්ද්‍රයා සහ අඟහරු මත ජනාවාස පවත්වාගෙන යාමට තරම් සෑහෙන බලශක්තියක් ඒවායින් නිපදවෙනු ඇතිද? නැවතත් ප්‍රශන්යකි.

2010 වසරේ පටන් කළ පර්යේෂණයක්

2010 වසර තරම් ඈත අතීතයේ සිට නාසා ආයතනයේ ලොස් ඇල්මොස් ජාතික නිරීක්ෂණාගාරයේ විද්‍යාඥයන් කණ්ඩායමක්, ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව සමග එක්ව නව න්‍යෂ්ටික විඛණ්ඩන පද්ධතියක් නිපදවීම කෙරෙහි අවධානය යොමු කළහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ කිලෝවොට් 10 ක් නිපදවිය හැකි බලශක්ති පද්ධතියකි.

න්‍යෂ්ටික විඛණ්ඩනය හරහා තාපය නිපදවීමට නම්, ප්‍රතික්‍රියාකාරකට මොලිබ්ඩිනම් (අධිවේගී වානේ උපකරණ නිපදවීමට යොදාගන්නා ලෝහයක්) සහ අතිශය විකරණය කළ යුරේනියම් වලින් සෑදුණු හරයකින් යුක්ත ප්‍රතික්‍රියාකාරකයක් අවශ්‍ය වේ. එමගින් පිස්ටන් එන්ජින් යොදාගෙන අවසානයේ කිලෝ වොට් 5 ක විද්‍යුතයක් නිෂ්පාදනය කළ හැකි විය.

එම පූර්වාකාරය (ප්‍රොටෝටයිප්) වසර 2018 දී අත්හදා බලනු ලැබිණි. කිලෝවොට් 10 ක විද්‍යුත් ප්‍රතිදානයක් ලබාගැනීමට නාසා විද්‍යාඥයන් බලාපොරොත්තු වන්නේ මේ ක්‍රමයට ය.

එපමණක් නොව, පෘථිවියේ සිට අභ්‍යවකාශය වෙතට යුරේනියම් ප්‍රවේශමෙන් ප්‍රවාහනය කළ හැකි බව ද නාසා විද්‍යාඥයෝ අවධාරණය කරති.

පහත දැක්වෙන්නේ නාසා හි අලුත්ම න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරකයයි. මේ අනුව, කොවිඩ් වැනි වසංගත හමුව් පෘථිවිය තවදුරටත් මනුෂ්‍ය වාසයට සුදුසුදැයි ප්‍රශ්නගත වී ඇති අවස්ථාවක නාසා ආයතනය, වසර 2024 දී අතිශය වැදගත්, තවත් ‘යෝධ පියවරක්‘ තැබීමට සූදානම් වෙයි.

මූලාශ්‍රය – NASA Is Going Nuclear on Mars and the Moon



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි