×

සමරිසියන් වෙනුවෙන් එක්සත් ජාතීන් මෙහෙය වූ මහලේකම් තුමනි, ඔබට සුබ ගමන්!

සමරිසියන්ගේ අභිමානය වෙනුවෙන් තම හඞ අවදි කිරීමෙන් නොනැවතී, ඔවුන් වෙනුවෙන් සේවය කළ එක්සත් ජාතීන්ගේ කළු තාත්තා නික්ම ගියේය.


කොෆී අනන්, නැතහොත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ලෙස පත් වූ කළු තරුව වසර 80ක ආයු වළදා පසුගිය 18 වැනිදා නික්ම ගියේ, ලෝකය ආදරයෙන්, සාමයෙන් හා බලාපොරොත්තුවෙන් පුරවන්නට කළු අප්‍රිකානුවන් විසින් සිදුකරන ලද අනවරත මෙහෙයට තවත් නොනැසෙන සලකුණක් එකතු කරමිනි. නෙල්සන් මැන්ඩෙලා තරමටම මිනිසුන්ට සමීප කළු තාත්තෙකු වූ හෙතෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහෙයවීමට බාරගත් තරමක් හිතුවක්කාර විප්ලවාදියෙකු ලෙස ද ප්‍රසිද්ධිය ඉසිළුවේය. විශේෂයෙන් සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් 2003 වර්ෂයේදී තම අදහස් නොබියව ඉදිරිපත් කිරීම නිසා ඔහු සමරිසි ලෝකය තුළ මහත් ගෞරවාදරයට ලක් වූ පුද්ගලයෙකු වේ.

එක්සත් ජාතීන් යනු ලෝක සාමයට එරෙහිව ගිනි අවුළුවන්නන් නොව, ලෝකයට සාමයේ බලාපොරොත්තුව රැගෙන යා හැකි ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානය බව ඇදහූ මෙන්ම එය ක්‍රියාවට නැංවූ අනන්, නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූවේ ඔහු තුළ පැවති මානුෂීය ගුණාංග නිසාය. කොෆී අනන් පදනම විසින් ඔහුගේ වියෝව ලොව පුරා දන්වා සිටි පණිවිඩයේ සඳහන් වූයේ “ ලෝකය පුරා විඳවීම තිබුණේ කොතැනක ද, අවශ්‍යතාවය තිබුණේ කොතැනට ද, මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් තමන් තුළ පැවති සහකම්පනය හා සානුකම්පිත බව ඒ තැන වෙනුවෙන් යොමුකිරීමට ඔහු දෙවතාවක් සිතුවේ නැත”. යනුවෙනි.

‘එච්. අයි.වී හා ඒඩ්ස් පතුරවන්නේ සමරිසියන්ය’ යනුවෙන් ලෝකය පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පැවති අදහස වෙනස් කිරීම වෙනුවෙන් ඔහුගේ රාජකාරී කාලය තුළ බොහෝ දේ ක්‍රියාවට නැංවුණි.

ශේෂයෙන් සිරියාව පුරා අතිශය අමානුෂික ලෙස සමරිසි මිනිසුන්ට හිරිහැර කළ සහ මරා දැමුණු යුගයකදී රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස පෞද්ගලිකව සිරියාවට ගොස් මිනිසුන්ට හිරිහැර කිරීමෙන් ලැබෙන කෲර තෘප්තියට වඩා මිනිසුන්ට ගෞරවය හා ආදරය කිරීමෙන් ලැබෙන අහිංසක තෘප්තියේ ඇති ප්‍රබලත්වයේ පාඩම කියා දුන්නේ ඔහුය. එච්.අයි.වී වෛරසය ආසාදනය වූ හා ඒඩ්ස් මට්ටමට පැමිණ මිය යන දහස් සංඛ්‍යාත අප්‍රිකානුවන් වෙනුවෙන් ඔහුගේ කරුණාව යොමුවීමේ ප්‍රතිඵල ලෝකය දැන් භුක්ති විඳිමින් සිටින්නේ එච්.අයි.වී මර්දනය සඳහා වත්මන් ලෝකය විසින් සිදුකරන සාර්ථක උත්සාහයන්හි ප්‍රතිඵල දකින විටය. අද එච්. අයි.වී මර්දනය වෙනුවෙන් ලෝකය සිදුකරන බොහෝ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය අඩිතාලම දැමූ පුද්ගලයා ඔහුය. ඒ මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට සහයෝගය දැක්වීම මගිනි.

“අපට යථාර්ථවාදී වීමට සිදුවී තිබේ. වැල්ලේ ඔළුව ඔබාගෙන කිසිවක් නොදන්නා මෙන්, කිසිවක් නොදැක්කා සේ සිටීමෙන් අප සාර්ථක වන්නේ නැත. නිරන්තරයෙන් අවදානමට හා වෙනස්කම් වලට ලක්වෙන ප්‍රජාව වෙනුවෙන්, ලිංගික ශ්‍රමයේ යෙදෙන පුද්ගලයින් වෙනුවෙන්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් වෙනුවෙන් හා සමරිසියන් වෙනුවෙන් කිට්ටුවෙන් හා කුළුපඟව වැඩ කිරීමට අපට සිදුවී තිබේ.”

මේ එච්. අයි.වී තුරන් කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි කැපවීම ඔහු ප්‍රකාශ කළ එක් අවස්ථාවක් පමණි. 2003 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහ පුටුවට පත් වූ ඔහු, එක්සත් ජාතීන්ගේ මහ පුටුවට පත් වු පළමු කළු ජාතිකයා වන ඔහු, ඔහුගේ පළමු මහා මණ්ඩල සැසියේදීම ලොව පුරා විසිරී සිටින සමරිසියන්, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තම අදහස් දැක්වීය. ඔහුගේ අදහස් බොහෝ දුරට විසිරී තිබුණේ සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට විවාහ අයිතිවාසිකම් ලබාදීම වැනි සිවිල් කාරණා සම්බන්ධයෙන් නොවේ. ඔහු විශ්වාස කළ මූලධර්මය වූයේ සමරිසියන්ට එරෙහිව සමාජය පුරා ව්‍යාප්ත වී ඇති හිසංනය, වෙනස්කොට සැලකීම හා දරුණු ආකාරයෙන් ලොව පුරා ව්‍යාප්තව ඇති සමරිසි මර්දනය වැළැක්වීම වෙනුවෙන් ක්‍රියා කළ යුතු බවයි.

ලෝක සමරිසි ප්‍රජාව අමතමින් ඔහු ප්‍රකාශ කළේ “අයිතිවාසිකම් සම්බන්ධව ඔබ ඉල්ලා සිටින දේවල් අපිට තේරෙනවා, ඔබට ඇහුම්කන් දීමට අපි නිරන්තරයෙන් සූදානම්, එහෙත් එක්සත් ජාතීන් වැඩ කරන්නේ ලෝකයේ විවිධ සංස්කෘතීන්, සමාජ ක්‍රම, විවිධ ආගම් පවතින රටවල් සමග බව ඔබ මතක තබාගත යුතුයි. ඒ නිසා ඔබ තුළ විශාල ඉවසීමක් මෙන්ම, ධෛර්යයක් ද තිබිය යුතුයි. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔබ සමග සිටිනවා” යනුවෙනි. ඔහුගේ මෙම ප්‍රකාශය එක් පැත්තකින් මානව හිමිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ දෙවැනි වගන්තිය වන ‘සියලුම මිනිසුන්ට නිදහස් ව ජීවත් වීමේ අයිතිය පවතී’ යන්න තහවුරු කරන අතර, අනෙක් අතට, තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙළගැසෙන ආකාරය සම්බන්ධව ලොව පුරා විසිරී සිටින සමරිසි ප්‍රජාවට පණිවිඩක් ලබා දුන්නේය.

එමෙන්ම ඔහු සමරිසියන්ට අධික බලාපොරොත්තු ලබා දුන්නේද නැත. ඔහු සමරිසි විවාහ සම්බන්ධයෙන් අනුග්‍රහයක් දැක්වූයේ නැත්තේ ඔහු සමරිසි විවාහ ප්‍රතික්ෂේප කළ නිසා නොවේ. විවාහය වැනි සිවිල් අයිතිවාසිකම් වලට වඩා සමරිසියන්ට දිනාගත යුතු මූලික මානව අයිතිවාසිකම් විශාල ප්‍රමාණයක් පවතින බව ඔහු විශ්වාස කළ නිසාය.

ඉතින් සමරිසියන් වෙනුවෙන් බොහෝ දේ කළ රාජ්‍ය තාන්ත්‍රිකයාණෙනි, ඔබට සුබ ගමන්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි