×

සමරිසි හිංසනය බ්‍රසීලයේ අපරාධ වරදක් වේ!

ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් වූ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ජාතිවාදය මත පදනම් වූ හිංසනය තරම් වූ බරපතල අපරාධයක් බවට බ්‍රසීලය තීන්දු කරයි!


බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් පාදක කොට ගත් ප්‍රචණ්ඩත්වය හා හිංසනය අපරාධ වරදක් බවට තීන්දුකොට තිබේ. ඒ අනුව, එකොලොස් දෙනෙකු ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලේ විනිසුරුවරුන් සය දෙනෙකු විසින්ම අනුමත කළ පරිදි ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් වූ වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් ජාතිවාදය මත පදනම් වූ හිංසනය තරම් වූ බරපතල අපරාධයක් බවට තීන්දු වී තිබේ.

එරට මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන අන්දමට, සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී (LGBT) ප්‍රජාව ඉලක්කකොට ගත් ප්‍රචණ්ඩත්වය දරුණු අන්දමින් ක්‍රියාත්මක වන රටක ගත් මෙම තීන්දුව ඉතා හොඳ ප්‍රගතියකි. එමඟින් LGBT ප්‍රජාවට නීතියේ ආරක්ෂාව මින් මතුවට ලැබෙනු ඇත.

සමරිසි පුද්ගලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ක්‍රියාකරන “ගෘෘපො ගේ ද බහියා” කණ්ඩායමට අනුව, මෙම වසර තුළ බ්‍රසීලයේ අවම වශයෙන් LGBT පුද්ගලයන් 141 පමණ ඝාතනය වී ඇති බවට වාර්තා වේ.

එරට කතෝලික ප්‍රජාව හා එවැන්ජලිකල් ව්‍යාපාරය තුළ සමරිසි ප්‍රතිරෝධය ප්‍රභල අන්දමින් බලපැවැත්වීමට කටයුතු සිදුවන අතර, පසුගිය වසරේ බලයට පත්වූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ යනු ගතානුගතික බ්‍රසීල රටවැසියන් ගේ ඡන්දයෙන් තේරී පත්වූ රාජ්‍ය නායකයකු බවත්, සමරිසි භීතිකාවෙන් පෙළෙන පුද්ගලයකු බවත් කාටත් නොරහසකි.

සමරසි භීතිකාව පදනම් වූ අපරාධ රට තුළ ප්‍රභල අන්දමින් බල පැවැත්වෙන බවත් ඒවා වෙනත් ශාරීරික අපරාධ හා වෙනසක් නොමැති බවත්, බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණ උප-සභාපති ලුයි ෆක්ස් පැවසීය.  

වසර 20කට ආසන්න කාලයක සිට සමරිසි භීතිකාව පදනම් වූ ප්‍රචණ්ඩත්වය අපරාධ වරදක් ලෙස නීතිමය රාමුවකට යටත් කිරීමට බ්‍රසීලය තුළ විවිධ උත්සාහයන් ගත්තද, ඒ සියළු උත්සාහයන් ව්‍යර්ථ වූයේ ඊට එරෙහිව කොන්ග්‍රසය තුළ ආගමික විශ්වාස හා ගතානුගතික මතවාද දැරූ පුද්ගලයන්ගේ ප්‍රභල විරෝධය එල්ල වූ බැවිනි. දැනට, ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පදනම් වූ ප්‍රචණ්ඩත්වය ජාතිවාදය මත සිදුවන හිංසනයට එරෙහි ව පවතින නීති මතම මැඬපවත්වනු ලැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර, LGBT පුද්ගලයන් ගේ ආරක්ෂාව සඳහාම සම්පාදනය වූ ස්වාධීන නීති රාමුවක් සම්පාදනය කිරීම ඉදිරියේදී සිදුවනු ඇති බවට වාර්තා වෙයි.  

මේ පිළිබඳ විනිසුරු මඬුල්ලේ ඉතිරි විනිසුරුවරයන්ගේ ඡන්දය ජූනි 5 වන දින ඉදිරිපත් වීමට නියමිතය.

ලොව විශාලතම කතෝලික ජනගහනය වසන රට වන්නේ බ්‍රසීලයයි. එහෙත් ලිබරල් මතධාරී, සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී මානව හිමිකම් වෙනුවෙන් කතා කිරීමට ලැදි තරුණ ප්‍රජාවේ සීඝ්‍ර වර්ධනයක් ද එරට පෙන්නුම් කරනු ලබයි. 2013 වර්ෂයේදී සමරිසි විවාහය නීත්‍යානුකූල වූ බ්‍රසීලයේ LGBT පුද්ගලයන් හට දරුවන් ඇතිදැඩි කිරීමේ වරම් ද පවතී.

කෙසේ වෙතත්, ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය තවමත් බ්‍රසීලයේ දරුණු අන්දමින් ක්‍රියාත්මක වේ. 2018 වර්ෂය තුළ LGBT පුද්ගලයන් 420 කට ආසන්න සංඛ්‍යාවක් බ්‍රසීල දේශ සීමාව තුළ ඝාතනයට ලක්වී ඇති බව ගෘෘපො ගේ ද බහියා කණ්ඩායම පවසයි.  

බ්‍රසීල ජනපති බොල්සොනාරෝ සමරිසි භීතිකාවෙන් පෙළීමට අමතරව ස්ත්‍රී-විරෝධී හා ජාතිවාදී මතධාරියකු බවටද ප්‍රසිද්ධය. ඇතැම් මානව හිමිකම් ක්‍රියාකාරීන් අනතුරු අඟවන්නේ, සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය බ්‍රසීල ජනපති බොල්සොනාරෝගේ මැතිවරණ කාලසීමාව තුළ වැඩිවීමේ අවදානමක් පවතින බවයි.  

විවිධ සම්මුඛ සාකච්ඡාවන් වලදී බ්‍රසීල ජනපති බොල්සොනාරෝ තමා හට සමරිසි පුතකු සිටිනවාට වඩා මිය ගිය පුතකු සිටීම වඩා යෝග්‍ය බව පවසා තිබේ. මෙම වසරේ අප්‍රේල් මාසයේදී බ්‍රසීලය “සමරිසි සංචාරක පාරාදීසියක්” වනු දැකීමට තමා අකමැති බවට බොල්සොනාරෝ කළ ප්‍රකාශයට දැඩි අන්දමින් ඔහු විවේචනයට ලක් විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි