×

සම්බෝධිය පතා පණ පිටින් මමි බවට පත්වූ ජපන් භික්ෂූන්

‘ෂොකුසින්බත්සු‘-Sokushinbutsu එය කලාවක් සහ විද්‍යාවක් යැයි ඇතැම්හු කීය. ජපානයේ 1801 සහ 1903 අතර කාලයේ ෂින්ගොන් නිකායේ භික්ෂූන් වහන්සේලා ජීවතුන් අතර සිටියදීම සම්බෝධිය පතමින් මමිකරණයට පත්වූයේ මේ ක්‍රමය භාවිතා කරමිනි.


ජපන් බසින් ‘ෂොකුසින්බත්සු‘ යනු ‘මේ සිරුර තුළ බුදු කෙනෙකුන්‘ යන අදහසයි. එය කොතරම් දුරට ථෙරවාදී සම්ප්‍රදායන්ට පටහැණි වන්නේදැයි විමසීම පසෙක තබා මේ ලිපියෙන් විමසා බලන්නේ, නූතන ලෝකයේ අබිරහසක් ලෙස සැලකෙන ෂොකුසින්බත්සු, ජපන් භික්ෂූන් විසින් ප්‍රගුණ කළ ආකාරයයි.

මෙහි රහස වූයේ අති කර්කශ ආහාර රටාවයි.

ජපානයේ දේවා කඳුකරය අසබඩ සිටි භික්ෂූන් විසින් ශරීරය, පිටත සමේ සිට අභ්‍යන්තර ඉන්ද්‍රියන් දක්වා විජලනය කර ගත්තේ මෙයිනි. එමගින් මේදය, මාංශපේශී සහ මිනිස් සිරුරේ වැඩිම සංරචකය වන ජලය වියැළී ගිය අතර, අවසානයේ ඔවුහු පයින් ලීයෙන් තැනූ පෙට්ටියක් තුළ, මිහි මත අවසන් දින උදාවන තෙක් භාවනානුයෝගීව වැඩ සිටියහ.

යමගටාවේ අබිරහස

යමගටා ප්‍රදේශයේ වාසය කළ ෂින්ගොන් භික්ෂූන් වහන්සේලා අතිශය ප්‍රචලිතව පැවති මේ ක්‍රමය ගැන ලියැවුණු පොත් පත් ද විය. කෙන් ජෙරමියා විසින් ලියූ Living Buddhas: the Self-Mummified Monks of Yamagata, Japan,  අදටත් ඉහළ අලෙවියක් ඇති ග්‍රන්ථය එයින් එකකි. කෙසේ නමුත් ලොව පුරා ආගම් ගණනාවක් විසින්, අනියත ශරීරයට භෞතික ක්ෂේත්‍රය ඉක්මවා යන බලවේග සමග සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිගනියි.

ආත්මයෙන් ගැළවීම සඳහා විමුක්තියක් සෙවීමේ මාර්ගයක් ලෙස සැලකුණු සොකුෂින්බත්සු, ශුද්ධ වූ කාර්යයක් ලෙස ද සැලකිණි. නව වැනි සියවසේ විසූ ‘කූකයි‘ නමැති භික්ෂුවක් විසින් මේ ක්‍රමය අත්හදා බැලූ අන්දම ප්‍රකට ය. ඔවුන්ගේ විශ්වාසය වූයේ ‘තුසිත දෙව්ලොව‘ වෙත මෙමගින් යාමට මාර්ගය පෑදෙන බවයි. තුසිත දෙව්ලොව අවුරුදු ලක්ෂ 16 ක් ජීවත් වෙමින් මේ ලෝකය ආරක්ෂා කළ හැකි බව ඔවුහු විශ්වාස කළහ.

තුසිතයේදී සිය භෞතික ශරීරයන් අධ්‍යාත්මය සමග ඒකාත්මික කිරීමේ අවශ්‍යතාවය තිබූ හෙයින්, ඔවුහු මේ වේදනාකාරී, මමිකරණ කාර්යය සඳහා කැප වූහ. මරණයෙන් පසුව කුණුවීම (වියෝජනය) වළක්වාගැනීම අත්‍යාවශ්‍ය බව මෙහිදී සැලකිණි.

සොකුෂින්බත්සු ක්‍රියාත්මක කිරීමට නම් අවම වශයෙන් අවුරුදු 3 ක් අවශ්‍ය විය. ඇතැමුන්ට කිහිප වතාවක්ම එය නැවත නැවතත් සිදුකිරීමට ද සිදුවිය. එය සිදුකරන නිවැරදි ක්‍රමය සියවස් ගණනක් පැරණි රහසක් ලෙස සුරැකුණි. නොඑසේ නම් යමගටාවේ තෙතබරිත කාලගුණය තුළ මමිකරණයක් සාර්ථක නොවනු ඇත.

මෙම ස්වයං මමිකරණය හෙවත් self-mummification ක්‍රියාවලිය සඳහා භික්ෂුන් විසින් තෝරාගත්තේ සුවිශේෂී ආහාර වේලකි. එහි නම mokujikigyō, හෙවත් tree-eating ය. එයින් අදහස් කරන්නේ ශාකවල පංචාංගය පමණක් ආහාරයට ගැනීමයි. මේ අතරින්ද, ගස්වල මුල්, ගෙඩි, ඇට සහ පයින් ගස්වල ඉඳිකටු වැනි තුඩු ආහාරයට ගැනීම අනිවාර්ය විය. එක් වාර්තාවක සඳහන් වන්නේ, මෙම මමිවල උදරයේ තිබී ගං පතුල්වල ඇති කුඩා ගල් කැට ද හමුවී ඇති බවයි.

මෙම දුෂ්කර කෑම වේල අරමුණු දෙකක් සම්පූර්ණ කළේය. මුලින්ම, එය සිරුර මමිකරණය සඳහා සූදානම් කළේය. එමගින් ශරීරයේ අස්ථි කූඩුවට සිරවී ඇති මාංශපේශී සහ මේදය දිය කර දැමුවේය. තවද මිනිස් ශරීරය තුළ ස්වභාවිකව හටගන්නා බැක්ටීරියා සහ පෝෂ්‍ය මාධ්‍ය වියළා දැමුවේය. තෙතමනය ද ඉවත් කර දැමුවේය. ඉහළ අධ්‍යාත්මික තලයකදී මෙම ආහාරවේල් විසින් භික්ෂූන්ගේ මානසික ඒකාග්‍රතාවය ඉහළ දමන බවද පැවසිණි.

මෙම කෑම වේල එක දිගට දින 1000 ක් ලබාගත යුතු විය. ඇතැම් භික්ෂූන් ‘උරුෂි‘ නමින් හැඳින්වුණු චීන ලාකඩ ගසෙහි සාරය තේ සමග මිශ්‍ර කර බිව්වේ රුචිය උපදවා ගැනීම සඳහා ය. තවද එමගින් ශරීරයේ විෂ ඉවත් කිරීම සහ මරණයෙන් පසු කෘමි සතුන්ගෙන් ශරීරයට උපද්‍රව සිදුවීම වළක්වා ගන්නා බව පැවසිණි.

කුඩා ජලය ප්‍රමාණයක් බීම හැර වෙනත් කිසිවක් නොබොන අවස්ථාව දක්වා මෙම ආහාර රටාව පසුව වර්ධනය කෙරේ. ඒ අතර භික්ෂූන් සම්පූර්ණයෙන්ම යොමු වන්නේ භාවනාව කෙරෙහි ය. මරණය ළඟා වත්ම එම භික්ෂුවගේ බැතිමතුන් විසින් ඔහු වෙනුවෙන් පොළොවට අඩි 10 ක් යටින් පයින් ලීයෙන් කරන ලද කුඩා ලී කුටියක් පිළියෙළ කරනු ඇත. මරණය, ඔවුන් සිතූ පරිදි සම්බෝධිය ළඟා වන තෙක්ම එම භික්ෂුව වැතිර ගන්නේ එහි ය.

FactsNinja

FactsNinja

මෙහිදී භික්ෂුවට අවසන් මොහොත දක්වා හුස්ම ගැනීමට වාතාස්‍රය ලබා දීම සිදු කෙරුණේ කුටියට ඇතුල් කළ කුඩා උණ බටයකිනි. ඉන්පසු භික්ෂුවගේ කුටිය අඟුරුවලින් වසා, කුඩා සීනුවක් අතට දෙනු ලබයි. අඟුරු කුටිය තුළ පණ පිටින් මිහිදන් වන භික්ෂුව, අත්‍යන්ත අන්ධකාරයේ ගිලී භාවනා කරනු ඇත.
ඔහු විසින් සිය අවසන් මොහොත ළඟා වන විට සීනුව නාද කරන අතර, බැතිමතුන්ට ඒ බව හඟවන සංඥාව වන්නේ එයයි. එවිට එම ස්ථානයට පැමිණෙන බැතිමතුන් සහ සෙසු භික්ෂූන් වහන්සේලා විසින් කුටිය මුද්‍රා කර වසා දමා තවත් දින 1000 ක් එසේම තිබෙන්නට ඉඩ හරියි.

දින 1000 කින් පසුව එම කුටිය විවෘත කරන බැතිමත්හු ශරීරය නරක් වී තිබේදැයි හොඳින් පිරික්සා බලති. ශරීරය හොඳ තත්වයේම පවතින්නේ නම් එහි අදහස එම භික්ෂුව සොකුෂින්බත්සු තත්වය ළඟා කරගෙන ඇති බව ය. අනතුරුව සිරුර හොඳින් ඇඳම් අන්දවා පුද පූජා පැවැත්වීම පිණිස පන්සල වෙත ගෙන යයි.

Imgur

Imgur

 

සොකුෂින්බත්සු තහනම් වේ

සොකුෂින්බත්සු සිදුකිරීමට ගත් පළමු උත්සාහය වාර්තා වන්නේ 1081 වසරේදී ය. එය අසාර්ථක වී තිබේ. එතැන් පටන් ගමගටාවේ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් විසින් මේ නිරාහාර-මමිකරණ පරිශ්‍රමය සම්බෝධිය පතා දරා තිබේ. නමුත් ඒ අතරින් එය සාර්ථක වී ඇති බව කියන්නේ අවස්ථා 20 කදී පමණ වේ.

මේ දිනවල ජපානයේ කිසිදු භික්ෂුවක් විසින් මේ මාරක ක්‍රමය සම්බෝධිය පතමින් අත් හදා බලන්නේ නැත. ඒ, මෙයිජි රජය 1877 දී එය තහනම් කළ නිසා ය. එය සම්ප්‍රදාය කාල විරෝධී සහ භික්ෂුන්ට නොගැළපෙන එකක් බවට තීරණය කරන ලදී.

නමුත් අදටත් ඔබ ජපානයේ යමගටාව වෙත ගියහොත්, මේ දුෂ්කර ව්‍යායාමයෙන් සම්බෝධිය පැතූ භික්ෂුන්ගේ මමිකරණය වූ සිරුරු, කසාවත් දරමින් සිටින අයුරු දැකගත හැකිය. ඒවායින් ඇතැමකට නූතන බැතිමතුන් විසින් අව් කණ්ණාඩි ද පළඳවා තිබේ.

Krissy Howard විසින් ලියන ලද The Japanese Monks Who Mummified Themselves While Still Alive ලිපියේ පරිවර්තනයකි.

GajinPottravel

GajinPottravel

Cover Photo: Wiki Commons



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි