×

සසරේ නපුරුතම ගමනේදී වුව – ප්‍රේමය තනි රකියි.

ඔබ සතුව සත්‍ය ‍ප්‍රේමය තිබෙන්නේ නම් අන් කිසිවක් ඔබට උවමනා නොවෙයි. ඔබ සතුව එය නැතිනම් අන් කුමන දෙය ඔබ ළග තිබුණද පලක් නැත. - ශ්‍රීමත් ජේම්ස් බැරී


උසැති සාඩම්බර ඔහු සහ ඔහුගේ සැරයටිය සමග, තමන් වෙනුවෙන් පිළියෙළ වී තිබෙන ඉරණම පිළිබද නොදැන ඈ ගමන් කළාය. අපට ඉහළින් දිස්වූ කදුමුදුන මත උදා සුළි සුළගක් විය. යුවළ වේදනාවෙන් සිටින්නා සේ පෙණිනි. මගේ වෘත්තීය ජීවිතයේ මා වෙතට විවාහක යුවළ පැමිණ ඇත්තේ අඩුවෙනි. විශේෂයෙන්ම වයස අවුරුදු හැට ගණන්වල පසුවන යුවළක් මා වෙතට පැමිණි ප්‍රථම වතාව මෙය විය හැක. නිතරම මා සොයා එන්නෝ තරුණියෝය. තමන්ගේ මුළු තරුණ ජීවිතයම වෙහෙස වීම මත ලැබෙන ආදායම් ඉපැයීම නමැති මුදල් සම්භාරය ඉක්මනින් ලබාගෙන ඉවත්ව යාමට ඔවුන් ඇවැසි විය. ඊට වඩා ඉපැයීමට ඔවුන්ට අවශ්‍ය නොවූයේ එම බදු මුදල් නැවත ලබාදීම තමන්ට අහිමි වෙතැයි ඔවුන් සිතූ නිසාය. කෙතරම් මෝඩ කෙල්ලන්ද..? තරුණ අම්මලා වුවද ඔවුන් හැසිරුණේ බොළද කෙල්ලන් පරිද්දෙනි.

වෙනස් අත්දැකීමක් විදීම ට සූදානම් වෙමින් මම වියපත් යුවළ සාදරයෙන් පිළිගැනීමට සූදානම් ‍‍වූයෙමි. ඔවුන් තුළ වූ යම් දෙයක් විසින් දැනටමත් මා‍ගේ සිත සහ ඇස බැද තබා තිබේ. අමිහිරි දික්කසාදයක කටයුතු මධ්‍යයේ සිටි මට ආලය ගැන කිසිදු හැගීමක් නැති තරම්ය. නමුත් ඒ මහලු යුවළ තවමත් ආලයෙන් බැදී ඇති බව ඔවුන් කාමරයෙන් මෑත් වන විටම මට දැනී ගියේය. එය ආත්ම දෙකක් එක් කළ පැරණි පන්නයේ ආලයක් යැයි මගේ සිත කීවේය. ආලයෙන් සම්මිශ්‍රිත හදවත් දෙක මා ඉදිරියේ අසුන් ගත්තේය.

‘ක්ලැරන්ස්’? මම නම ඇසුවෙමි. එවිට ඇය අන් සියලු වියපත් කාන්තාවන් ලෙසින්, කායික දුබලතාවයටත් වඩා මානසික සහ හැගීම් පිළිබද ‍නොසන්සුන්තාවක් ප්‍රකට කරමින් මා පැවසූ දෙය අනුමත කළාය. මා අත වූ විස්තර වලට අනුව ක්ලැරන්ස් යනු ඇගේ නම නොව ඇගේ සැමියාගේ නමයි. ඇ‍ගේ නම ඩොරති ය. නමුත් ඇය සිය සැමියාගේ නම පැවසූ ස්වරූපය තුළ, ඔහු සිය ජීවිත කාලය තුළම තමන්ව මැනවින් රැකබලාගත් බවත් දැන් ඇය ඒ දෙයම ඉටු කරමින් සිටින බවටත් වූ තෘප්තිමත් කියාපෑමක් විය.

ඔවුහු ගැටලුවකට මුහුණ පා සිටියහ. මෙම බදු වර්ෂය තුළ ඇය හැට පස් වැනි වියට පා තබන අතර රජයෙන් තමන්ට ලැබෙන සමාජ ආරක්ෂණ අරමුදල පිළිබද ගැටලු සහගත බවක් විය. ඒ සම්බන්ධයෙන් ඇයට සැනසිල්ලක් ලද හැකි පිළිතුරක් ලබාදීමට මම සමත් වීමි. ඈ බදු වර්ෂය තුළ රැකියාවේ යෙදී තිබුණේ දශක ගණනාවකට පසු ප්‍රථම වරට ය. එය බොහෝ ආකාරවලින් ඇයට නොපැහැදිලි අලුත් අත්දැකීමක් වී තිබුණේය.

එම යුවළ ඊට පෙර බදු සේවාවක් භාවිතා කර නොතිබුණෝය. මේ දක්වා එය සිදුකර තිබුණේ ඔවුන්ගේ දියණිය විසින් වූ අතර දියණිය කාර්යබහුල වී සිටි බැවින් මේ සම්බන්ධයෙන් ඇයට කරදර නොකිරීමට ඔවුන් තීරණය කර තිබිණි. ඔවුන්ට ඇවැසි වී ඇත්තේ ඇමරිකානු රජය විසින් මේ දිනවල ක්‍රියාත්මක කරන බදු මුදල් ආපසු ගෙවීමේ සීඝ්‍ර වැඩපිළිවෙළ ප්‍රකාරව තමන්ට ලැබිය යුතු මුදල වහාම ලබාගන්නට ය. එය ‍මේ දිනවල බොහෝ අය කරමින් සිටින දෙයයි.

ඔවුන්ට මුදල් අවශ්‍ය වී ඇත. නමුත් එසේ මුදල් අවශ්‍ය කරන හේතුව දැනගන්නට ලැබුණු විට මගේ හදවත කිදා බැස්සේය. හේතුව මට අසන්නට ලැබුණේ සංවාදය තුළ අතුරු වාක්‍යයක් ලෙස ය. ‘මට තවදුරටත් වැඩ කරන්න බෑ.. මට පිළිකාවක් වැළදිලා’ යැයි ඔහු කීවේය. එම වදන් ඇසෙනවිට ඈ සිය හුස්ම අසීරුවෙන් අල්ලාගෙන සිටින ආකාරය මම දුටුවෙමි. එම අහිංසක ඇස් යට නිදන් ව තිබූ භීතිය ඒ මොහොතේ කදිමට පෙනුණේය. දෛවය විසින් ඇගේ ආලය, ඇගේ ජීවිතය සහ ඇය මෙතැන සිටීමට හේතුව ඇගෙන් උදුරාගෙන යමින් තිබුණේය. ඈ ඒ බව ඇස් අදහා ගත‍නොහැකිව බලා සිටින්නා සේය. වසර හතළිහක් මුළුල්ලේ ඔහු විසින් ඇගේ විශ්වාසවන්ත සහ ප්‍රවේශම්කාරී රථාචාරියා බවට පත්ව සිටියේය. ඒ භූමිකාව මින් මතු තමන්ට රගපෑමට සිදුවන බව සිහිනෙන්වත් අපේක්ෂා නොකළ අහිංසක ගැහැනිය, ඔහු කැටුව රථය පදවන්නේ කෙසේදැයි කිසිදු අදහසක් නොමැතිව වැළපෙමින් සිටියාය. එය සැබෑ ආලය විය. ප්‍රේමයේ අනගිතම නිමේෂය විය.

ඔහුගේ උපන්දිනය යෙදී තිබෙන්නේ පසුදිනට බව දුටු විට මගේ හදවත කිදා බැස්සේය. ඔවුන් මෙතරම් කඩිනමින් ප්‍රතිලා භ සදහා ඉල්ලුම් කරන්නට එයද හේතුවක් වන්නට ඇත. සිය මීළග උපන් දිනයත් ඇය ඇසුරේ සමරන්නට ඔහුගේ සිත පෙරුම් පුරන බව මට අමුතුවෙන් කිව යුතු නොවේ.

” වසර හතළිහක් මුළුල්ලේ ඔහු විසින් ඇගේ විශ්වාසවන්ත සහ ප්‍රවේශම්කාරී රථාචාරියා බවට පත්ව සිටියේය. ඒ භූමිකාව මින් මතු තමන්ට රගපෑමට සිදුවන බව සිහිනෙන්වත් අපේක්ෂා නොකළ අහිංසක ගැහැනිය, ඔහු කැටුව රථය පදවන්නේ කෙසේදැයි කිසිදු අදහසක් නොමැතිව වැළපෙමින් සිටියාය. එය සැබෑ ආලය විය. ප්‍රේමයේ අනගිතම නිමේෂය විය. “

මුදල් ‍ලබාගැනීම සම්බන්ධයෙන් තවත් නීතිමය කටයුතු කිහිපයක් ඉතිරිව තිබුණෙන් ඔවුන්ගේ දියණියක් පසුදින මා හමුවීමට ආවාය. කූපන්පත මත ඇගේ නම දුටුයෙන් මට ඇයව හදුනාගැනීම පිණිස විමසීම් කළ යුතු නොවීය. ඔහු උපන්දිනය සමරන්නේ කෙසේදැයි මම නිකමට මෙන් ඇසුවෙමි. එවිට ඇය මෙසේ කීවාය.’තාත්තාට සාද, තෑගි කිසිදෙයක් එපා කිව්වා. එයාට ඕන කරන්නෙ මේ දවසෙදි අම්මා ළග සතුටින් ඉන්න විතරයි කිව්වා’ එම යුවළගේ ආලය සහ ධෛර්යය සැමරිය යුතුම බව මගේ සිත කියයි. එසේම ඔවුන්ව නැවත දැකීමට අවස්ථාවක් මට උදාවන බවද මම දැන සිටියෙමි. චෙක්පත ‍ගෙන යාම පිණිස ඔවුන් පැමිණිය යුතුමය.

පසුදින ම ‍චෙක්පත සූදානම් කිරීමට මට හැකි විය. දොර හැරුණේය. ඔවුහු මා ඉදිරියේ වූහ. ඔවුන්ගේ වත ප්‍රීතියෙන් ඉපිළී ගොස් තිබිණි. ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීම සදහා සිය හැදුනුම්පත ඉදිරිපත් කිරීමට සූදානම් වූ නමුත් එය ඇත්තෙන්ම අවශ්‍ය නොවීය. මම ඉතා හොදින් ඔවුන‍්ගේ අනන්‍යතාවය දනිමි. ‘සුබ උපන්දිනක්’ යැයි චෙක්පත ලබාදෙන අතර මම ඔහුට සුබ පැතුවෙමි. මම ඇගේ දෑස්වල සැනසිල්ල දුටුවෙමි. මුදල් අවශ්‍යම කර තිබෙන මොහොතක මුදල් ලැබීමේ ප්‍රීති‍ය ඇගේ දෑස්වල විය. ‘ස්තූතියි’ යැයි කියන විට ඔහුගේ දෑසේ දිලිසීමක් විය. මම ඔවුන් සමග මද වේලාවක් දොඩමලු වී සමු දුන්නෙමි. ‘ඊළ ග අවුරුද්දෙ ආයෙ මුණ ගැහෙමු’ යැයි කීවෙමි. ‘එහෙම හිතනවා’ ඇය දෙස බලමින් ඔහු කීවේය. එවිට ඇය ප්‍රේමණීය මදහසක් පෑවාය. ඔවුහු නික්ම ගියහ. තමන්ට අනාගතයේ මුහුණදීමට සිදුවන දහසකුත් එකක් විපත් සහ කම්ක‍ටොලු අපේක්ෂාවෙන් පිය නගන එම යුවළ දෙස මම බලාසිටියෙමි. සසරේ නපුරුතම ගමනේදී වුවද ආලය ඔවුන්ට තනි රකින බව මම සිතන්නෙමි.

– වැලරී කැන් ගේ අත්දැකීමකි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි