×

ස්ටකී, ගසක් තුළ මමීකෘතව!

සත්ත්වයා ගස තුළ කෙසේ මමීකෘත වී ද?


නිශ්චිත වූ මරණයෙහි, අවිනිශ්චිත වූ රූපාකාරය කිම් වේදැයි නොදැන ජීවත් වීම නම් වූ ජීවිතය විසින්ම උදාකරලූ ප්‍රහේලිකාව අභිමුව අපි කිසිවෙකු ස්ටකී ට දෙවැනි නොවන්නෙමු. අපි හඹා යන්නෙමු. හැල්මේ, හුස්ම අල්ලා හඹා යන්නෙමු. කිසියම් තත්පරයක දී එක් ක්ෂණයකින් අප නතරකරලන්නා වූ ස්භාවධර්මයෙහි අදිසි හස්තය අල්ලා නතර කරලන තුරු අපි දිව යන්නෙමු.

ස්ටකී ද දිවගොස් තිබිණි. ඒ කුඩා ලේනෙකු (හෝ හාවෙකු) පසුපස වන්නට ඇත. නමුදු තම ඉව විසින් ඉගැන් වූ මං සොයා, ජන්මයෙන් උරුමව ලැබූ හඹා යෑමෙහි උමතුවෙන් දැවෙමින්, ඌ පිය පිට පිය පන්නා, ස්වාමීයා අභිමුව මළකුණෙහි ජයඵලකය තබන්නෙම් ය කියූ දාස සිතුවිල්ලෙන් දිරි ලබා දිව යන්න ඇත. ලේනා සුවිසල් චෙස්නට් ඕක් වෘක්ෂීය පාමුළ වූ බෙනයකට රිංගා ගති. ස්ටකී ඉන් නැවතුනේ නැත. ඌ ද ඊට රිංගා, ආ වේගයෙන්ම ගස් බෙනය ඔස්සේ ඉහළට ඉහළට පහුරු ගා නැග විවරයේ අවසාන කුඩා අවකාශය තුළ කූඤ්ඤයක් වී කිටි කිටියට සිරවී, ඔබට සිතාගැන්මට ඉඩ හැර, නොලියා තබන්නා වූ හැගීම් පොදියක තද වී ජන්මාන්තරගත විය.

ඉන් වසර විස්සක් පමණ ගතවන්නට ඇත. ඒ 1980 වසරයි. ජෝරිජියා දැව සංස්ථාවෙහි කම්කරුවන් තිදෙනෙකු සිය දෛනික කර්තව්‍ය වූ ඕක් ගස් කපා කැබලි කිරීමෙහි නියුතුව සිටියදී, එක්තරා සුවිසල් චෙස්නට් වර්ගයේ ඕක්ගසෙක පොලෝ මට්ටමෙන් අඩි විසි අටක් ඉහළත සිර වී මියගොස්, ස්භාවිකව මමීකෘත වී ගිය බියකරු සුනඛ ස්වරූපය දැකගති. ඔවුහූ ඒ දැව කුට්ටිය එපරිද්දෙන් වෙන් කොට සංස්ථාවට භාර කළ අතර 1981 වසරෙහි සිට ඒ දැව කුට්ටිය වේක්‍රොස් හී Southern Forrest World Museum හී ප්‍රදර්ශනයට තබා ඇත. ඔබ කිසියම් දිනෙක ජෝර්ජියා හී වේක්‍රොස් වෙත එළඹියේ නම් මේ මහැගි කෞතුකාගාරය මගහැර යා නොයුතු යැයි මම යෝජනා කරමි.

සත්ත්වයා ගස තුළ කෙසේ මමීකෘත වී ද? දැන් ඔබ මෙන් තව බොහෝ උන් ඒ ගැන විපිළිසර විය. අඩි විසිඅටක් උස අතිශය පටු වූ ගස් විවරය තුළ චිමිණි ආචරණය ක්‍රියාත්මක වී ස්ටකී ගේ ආසන්න පරිසරය තුළ කුඩා කෘමි, පිළා, පණු වර්ග විරහිත රික්තයක් නිමවා දුණි. අතිශය වියළි අරටු කද සුනඛ මළකද සැණින් විජලනයට පත් කරලූ අතර චෙස්නට් ඕක් හී ස්භාවික ස්‍රාවයක් වූ ටැනීන් සත්ත්ව දේහය අභ්‍යන්තරයේ සිට පිටත සම් පියල්ල දක්වා දෘඩ කරවා ස්භාවික චර්මශිල්පීය (Taxidermy) ක්‍රමවේදයක් ඔස්සේ සංරක්ෂණය කරවා දුණි. ඒ එසේ වී වසර විස්සක් සුරැකී, අහම්බෙන් දරවඩුවා මුණගැසෙන තුරු රැකී ගස්කදෙක මමීකෘත වී ඉතිරි විය.

2001 වසරෙහි පැවත් වූ, මෙම පුදුමාකාර ලෙස අරුමැසිව සදාකාලික වූ සත්ත්වයා ට නම් තැබීමෙහි තරගයෙක දී කිසිවෙකු විසින් ස්ටකී (stuckie) යන නම් යෝජනා කර තිබිණි. එතැන් සිට ඌ ස්ටකී නම් විය.

ගොදුරක් ඩැහැගෙන එන්නට උසි ගැන් වූ සිය දඩයම් සුනඛයා යළි නොආවෙන්, ඒ නම් නොදන්නා ස්වාමියා, සිට සුචච කීකරු සේවකයා, තවෙකෙකුගෙන් ප්‍රතිස්ථාපනය කරගන්නට ඇත. මෘදුව හිස පිරිමැද, ඊලග ක්ෂණයේ බිම වැටෙන විස්කෝතුව, නකුට වනා පිළිගන්නා දාසී සිතුවිල්ල අළුත් එකාද උසි ගන්වා ගත්තෙන්, එතැන් සිට ඌ ස්ටකී ගේ තැන ගති.

අවසානයේ හිර වී යන තුරු ඉහළට ඉහළට ඇදෙමු මිතුර. හති නොහැර, හුස්ම අල්ලා දිව යමු.

ඔබ එනතුරු, ලෙවකා රස බලන්නට බිම හෙලූ විස්කෝතුව මග බලා හිදී.

ඓතිහාසික ජායාරූප නොසැලෙයි” ෆේස්බුක් පිටුවෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි