×

ස්වාමියා සහ වහලා : පොම්පෙයි නුවරින් තවමත් හමුවන රෝම ජීවිත

එදා විසූවියස් ගිනිකන්ද පුපුරා ගියේ මුළු පොම්පෙයි නගරයම ලාවා වලින් වසා දමමිනි.


විසූවියස් කන්දේ සෙවණැල්ල යට පිහිටා තිබූ පොම්පෙයි නුවර, පුරාණ රෝම අධිරාජ්‍යයේ සශ්‍රීක බවින් අනූන විය. නමුත් ඒ, ක්‍රි.ව. 79 දී විසූවියස් ගිනිකන්ද නිදා සිටින මකරෙකු ලෙස අවදි වී නගරයට ගිනි පිම්බේය. ලාවා තුළ පරිස්සමට නිදා සිටින‍ මිනිස් සිරුරු පොම්පෙයි නුවරින් තවමත් හමුවන්නේ එනිසා ය.

ගාඩියන් පුවත් සේවාව වාර්තා අන්දමට මේ සිරුරු දෙක මතුවන්නේ අනපේක්ෂිතව ය. නගරයේ ප්‍රත්‍යන්තයේ තිබුණු විලාවක් හෙවත් මහා මන්දිරයක් තුළිනි. එතුළ කැණීම් කටයුතු කරමින් තිබියදී මෙය හමුවී ඇත.

ධනවත් මිනිසෙකු සහ ඔහු ගේ වහලා ලෙස සැලැකෙන මේ සංරක්ෂිත සිරුරුවල අයිතිකරුවන් ක්‍රිස්තු පූර්ව 79 දී සිදු වූ විසූවියස් ගිනිකන්ද සක්‍රීය වී පුපුරායාමේදී, ඉන් පළා ගිය දෙදෙනෙකු හෝ, මරණයෙන් බේරෙන්නට විලාව තුළ සැඟවුණු දෙදෙනෙකු විය හැකිය. දැනට හෙළිවී ඇති තොරතුරු අනුව පොම්පේ නුවර වැසියන් පළා යාම ආරම්භ කරන්නේ ගිනි කන්ද අළු සහ දුම විදින්නට ගත් දිනයේදී ය. පිපිරීම සිදුවන්නේ එයට පසුදිනයේදී ය.

මෙම සිරුරු දෙක එකිනෙක වැතිරී තිබෙන්නේ ආසන්නයෙනි. පුරාතන රෝමයේ තිබූ නීතිය පරිදි වහලෙකුට මරණයේදී පවා සිය ස්වාමියා හැර යාම තහනම් ය.

2017 වසරේදී මේ සිරුරු දෙක හමුවූ ස්ථානය අසලින්ම ඉස්තාලයක් හමුවිය. එතුළ කටකලියා දැමූ අශ්වයන් තිදෙනෙකුගේ නෂ්ටාවශේෂ තිබී හමුවිය. ඒ අනුව බොහෝ විට මෙම ස්වාමියා හා වහලා, ගිනි කන්ද පිපිරීමෙන් බේරී පළා යන්නට අදහස් කරන්නට  ඇත්තේ අසු පිටිනි.

ගල් ගැසී තිබූ මේ සිරුරුවලින් හෙළිවන තොරතුරුවලට අනුව තරුණ පිරිමියාගේ වයස අවුරුදු 18 ත් 25 ත් අතර වේ. ඔහු රැළි දැමූ කබායකින් සැරසී සිටියි. ඔහුගේ කශේරුව තෙරපීම් සහිත ය. එනම් කුදු වූ අයෙකි. මේ අනුව ඔහු වහලෙකු බවට විශ්වාස කෙරේ.

මේ අතර, ස්වාමියා ලෙස සැලකිය හැකි තැනැත්තා අවුරුදු 30-40 ත් අතර වයසකින් යුක්ත ය. ඔහුට ශක්තිමත් අස්ථි ව්‍යූහයක් තිබේ. විශේෂයෙන්ම ඔහුගේ පපුව ආශ්‍රිතව ශක්තිමත් මාංශපේශී දැකගත හැකිය.

උයනේ අධ්‍යක්ෂ මැසිමෝ ඔසානා මේ සොයා ගැනීම “සත්‍යවශයෙන් ම විශේෂිත” බව කියා සිටියි. එරට සංස්කෘතික ඇමැති ඩාරියෝ ෆ්‍රැන්සෙස්කිනි මෙය අධ්‍යයනය කළ යුතු සහ පර්‍යේෂණ කළ යුතු ස්ථානයක් ලෙස පොම්පෙයි හි වැදගත්කම පෙන්වා දෙන බව කියයි.

ලාවාවලින් වැසුණු විලාවක්

මෙම විලාව හෙවත් මහා මන්දිරය මේ වන විට පොම්පේ පුරාවිද්‍යාඥයන්ගේ වැඩිම අවධානයක් දිනාගත් ස්ථානය බවට පත් වෙමින් තිබේ. 2018 වසරේ ඔක්තෝබරයේ වාර්තා වූයේ මේ විලාවේම කාමරයකින් සොයාගත් කාන්තා සිරුරු දෙකක් පිළිබඳව ය.

මේ අතර 2018 මැයි මාසයේදී සොයාගැනුණේ පළමු පිපිරීමෙන් දිවි බේරාගත් පිරිමියෙකුගේ සිරුරකි. ඔහුගේ පාද සහ සිරුරේ උඩ කොටස අති දැවැන්ත ගල් කුට්ටියකට යට වී තිබූ අතර, විශ්වාස කෙරෙන්නේ ගිනි කන්දෙන් නිකුත් වූ විෂ දුම ආඝ්‍රාණය වීම නිසා ඔහු මිය යන්නට ඇති බවයි. වයස තිස් ගණන්වල පසුවූ මෙම පුද්ගලයා ළඟ රිදී විස්සක් සහ ලෝකඩ කාසි 2 ක් ද සහිත කුඩා මඩිස්සලයක් ද විය. ඔහු සිය සන්තකය ද ගෙන පළා යන්නට උත්සාහ කරන්නට ඇත. මේ මුදලේ වටිනාකම අද වන විට යූරෝ 500 ක් පමණ වේ.

පොම්පේ නුවරින් මේ නෂ්ටාවශේෂයන් සහ ඇතැම්විට අංග සම්පූර්ණ ලෙස සංරක්ෂණය වූ, ලාවාවලින් මමි බවට පත් වූ සිරුරු සොයාගන්නට පටන් ගැනුණේ 16 වන සියවසේ පටන් ය. අනතුරුව 1748 වසරේ සිට කැණීම් කටයුතු ආරම්භ වුණේය. මෙම කැණීම් කටයුතු අද දිනයේදීත්, කෝවිඩ් වසංගතය මධ්‍යයේත් ක්‍රියාත්මක වන්නේ යූරෝ මිලියන 1 ක ව්‍යාපෘතියක ප්‍රධාන කටයුත්ත වශයෙනි.

එදා විසූවියස් විදාරණය වූ ආකාරය පරිකල්පනයක් ලෙස

පොම්පෙයි නගරය අද. ඈතින් නිදිබරව සිටින්නේ විසූවියස් ගිනි කන්දයි.

සියවස් ගණනක් තුළ එදා මෙදාතුර, පොම්පේ නුවරින් පණ පිටින් මිහිදන් වූ හෝ විපතට පත් වී නෂ්ටාවශේෂ බවට පත්වූ 1500 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇත. මෙනුවර ජීවත් වූයේ 2000 ක පමණ ජනතාවකි. ඒ අතර ඉතාම මෑතකදී හමුවූ මෙම ස්වාමියා සහ වහලාගේ සිරුරු අපට කියා දෙන්නේ විසූවියස් ගිනිකන්ද විසින් පණ පිටින් වළ දැමූ මහා නගරයක පැවති සැබෑ තතු පිළිබඳ ඉතිහාස පිටුවක කතාවකි.

මූලාශ්‍රය – The Guardian: Pompeii dig reveals ‘almost perfect’ remains of a master and his slave

A victim in Pompeii of the Vesuvius eruption of 79 BC

A victim in Pompeii of the Vesuvius eruption of 79 BC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි