×

සියලු ඇමරිකානුවන්ගේ ජනපති රේගන්

“හොඳම ජනාධිපති ඔහු නොවන්නේ නම්, මේතාක් කාලයකට ජනාධිපති චරිතය සාර්ථකව නිරූපණය කළ හොඳම නළුවා ඔහුය.’’ - ජෝන් ඇඩම්ස්


සාමාන්‍යයෙන් ඇමරිකානු ජනපතිවරු තරුණ වියේම මිය යති. සමහර විට එවැනි ආලාප දොඩවන මිනිසෙකුගේ සාමාන්‍ය ස්වභාවය එය වීමට පුළුවන. ජීවිතයේ 90 වැනි වසර පසු කිරීමට එදා මෙදාතුර සමත් වූයේ ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ තිදෙනෙක් පමණි. පළමුවැන්නා ජෝන් ඇඩම්ස් ය. දෙවැන්නා හර්බට් හුවර් වන අතර රොනල්ඩ් රේගන් තෙවැන්නාය. සමහරවිට තරුණයෙකු ලෙස මියගිය එකම මහලු ජනාධිපතිවරයා රොනල්ඩ් රේගන් වීමට ද පුළුවන. 2004 ජුනි පළමු සතිය පසු කරද්දී රොනල්ඩ් රේගන් පොදු මහජනයාගේ නෙත හා ඇස නොගැටෙන මට්ටමට පත්වී බොහෝ කලකි.

මහජන වේදිකාවකට ඔහු දිගු කලෙකින් නිකමට හෝ ගොඩ වැදී තිබුණේ නැත. එහෙත් ඔහු කුමනාකාරයේ පුරුෂයෙකු වීද යන්න පිළිබඳ ඇමරිකානුවන්ට තවමත් ඉතා හොඳින් මතක තිබේ. සරලව, සැහැල්ලු ලෙස හා නිහතමානීව, නිමක් නැතිව බලාපොරොත්තු සහගත වූ, කිසි දිනක අළු පැහැයට නොහැරුණු කොණ්ඩයක් හිමි එම මිනිසා ජනාධිපති තනතුරේ පළමු දිනයේ දී ඕවල් කාර්යාලයේදී පැවැත්වූ සමාරම්භක කතාවේදී කිහිපවිටක්ම අපහසුතාවයට පත්ව කතාව නතර කළේය. එහෙත් ඔහු එයින් පසු බොහෝ අවස්ථාවන්වල ඒ පිළිබඳ සිහිපත් කළේ ලැජ්ජාවකින් තොරවය.

බලාපොරොත්තුව ආසාදන රෝගයකි. රේගන් එහි වාහකයා විය. 1980 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඇමරිකාවේ ඉහළම කාර්යාලයේ මුල පුටුව හෙබවීම අරඹද්දී “වීරත්වය පිළිබඳ සිහින දකින්නට අපට සෑම අයිතියක්ම තිබේ’’ යැයි ඔහු කීවේය. ඔහු ද සිටියේ ප්‍රධාන සිහින දකින්නාගේ චරිතයේය. ඕවල් මන්දිරයේ ගෙවූ පළමු සය මසෙන් පසු ඔහු මෙසේ කීවේය. “ඇමරිකානුවන්ට තමන් ගැන නැවතත් විශ්වාසය තබන්නට ඉගැන්වූ ජනාධිපති විදිහට මගේ නම ඉතිහාසයට එක් වෙයි.’’

මෙනයින් ඔහු ජනාධිපති ධුරය පිළිබඳ විශ්වාසය තබන්නට ද ඇමරිකානුවන්ට ඉගැන්වීය. 60 හා 70 දශකයේ දී, සද් උපදේශ ලබා දෙන්නෙකුට ඇමරිකාවේ ඉහළම කාර්යාලයේ මුල් පුටුව දැරිය හැකි ද යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ සිත් තුළ විය. එම ජනාධිපති ධුරය ජොන්සන්ව විනාශ කළේය. රිචඩ් නික්සන් චූදිතයකු බවට පත් කළේය. ෆෝඩ් සහ ජිම් කාටර්ද විනාශ කර දැමීය. එහෙත් රේගන් සාමාන්‍ය ඇමරිකානුවන්ට ද රට යා යුතු මග පෙන්වා දුන්නේය. දශකයකට අධික කාලයක් රට තරුණ සංස්කෘතිය මගින් ආක්‍රමණය කර තිබුණෙන්, ජනාධිපති කාර්යාලයේ මුල් පුටුවට පත්වන්නා අවුරුදු 70ට ළංවූ අයෙකු විය යුතු යැයිද, සාමකාමී ඇමරිකානු ජීවිතයක් ගතකර තිබිය යුතු යැයිද, ලෝක යුද්ධ ඇතිවීමට පෙර මෙලොව ඉපිද ඒවායේ අත්දැකීම් ලබා සිටි අයෙකු විය යුතු යැයිද, එම පුද්ගලයා රුසියානු විප්ලවය සමයේ දරුවෙකුව සිටි කෙනෙකු විය යුතු යැයි ද ඡන්දදායකයෝ කල්පනා කළහ. කුමන හෝ ආකාරයකින් අවසානයේ සිදු වූයේ ජනාධිපති පදවියට පත් වයස්ගතම පුද්ගලයා විසින් ඇමරිකාව තාරුණ්‍යය කරා ගෙන යාමයි. එවකට ඔහු 69 වියෙහි වූයේය. 1986 සෝවියට් චැලෙන්ජර් අජටාකාශ යානය කඩා වැටුණු අවස්ථාවේදී ප්‍රාන්තය අමතා කතාවක් කිරීම ප්‍රතික්ෂේප කළ ඔහු මෙසේ කීවේය.

“අපට ඔවුන් කිසිදාක අමතක නොවනු ඇති. ගමනට සූදානම් වී පෘථිවියේ නියත බන්ධනවලින් මිදී දෙවියන්ගේ මුහුණ ස්පර්ශ කිරීමට ගිය ඔවුන්ව අද උදෑසන අප දුටුවේ අවසන් වතාවට නොවෙයි.’’

ඇල්ෂමයර් රෝගයට ගොදුරු වී බොහෝ කලක් මහජන ඇසුරෙන් මිදී වාසය කළද රේගන්ගේ දේශපාලන දැනුම වැඩි වූවා මිස අඩු නොවීය. ප්‍රධාන පක්ෂ දෙකේම ප්‍රකට දේශපාලනඥයන්ගේ දේශපාලන ගමන් මග ඉතා පැහැදිලි ලෙස ඔහු දුටුවේය.

අතීතයේ නළුවෙකු වූ ඔහු තැනට උචිත ආකාරයෙන් හැසිරෙන්නට දැන සිටියේය. තම පාලන කාලය තුළ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ඔහු සිව් වතාවක් බදු බර වැඩි කළේය. රටේ ප්‍රශ්නවලට විසඳුම ජනාධිපති ධුරය නොවේ යැයි ඇමරිකානුවන්ට කීවේය. බලශක්ති හා අධ්‍යාපන අමාත්‍යාංශ අහෝසි කර දමා නොබෝ දිනකින් කැබිනට් මට්ටමේ නව දෙපාර්තමේන්තුවක් ඇති කළේය. එය නම් ‘වැඩිහිටි ප්‍රශ්න පිළිබඳ දෙපාර්තමේන්තුව’යි. ඔහු 1987 දී සෝවියට් ජනපති මිහයිල් ගෝර්බචොච් සමග වොෂින්ටන් සමුළුවේදී ශීතල යුද්ධය දිනිය යුත්තේ කෙසේදැයි රේගන් දැන සිටියේ ය.

ධවල මන්දිරයට පැමිණියේ ශීතල යුද්ධයෙන් ආරක්ෂා විය හැකි ක්‍රම සොයන්නට නොව එය දිනිය හැකි මග සොයන්නටය. මිහයිල් ගොර්බචොච්ගේ ‘යක්ෂ අධිරාජ්‍යයෙන්’ තම රට බේරාගත යුතු යැයි කියූ ඔහු මිසයිල ආරක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළේය. තාරකා යුද්ධයට ඇමරිකාව ඈඳුණේ සිය කැමැත්තෙනි. අනාගත සැලසුම් රැසක් සහිතවය.

“මම දේවල් තුනකට ආදරය කරනවා. ඒවා නම් නාට්‍ය, දේශපාලනය සහ ක්‍රීඩාවයි. මේවායේ අනුපිළිවෙළ හැම තිස්සෙම එකම විදිහයි කියා මට කියන්න බැහැ.’’ රේගන් වරක් පැවසීය. උසස් පාසලේ ඔහුගේ වාර්ෂික ඡායාරූපයට පහළින් ඇත්තේ මෙවැනි සිරස් තලයකි. ‘ජීවිතය හොඳ සංගීතයක් දමනතෙක් බලා සිටිනා හොඳ ගීතයක් පමණි’ 1911 පෙබරවාරි ඔහු උපත ලබා තිබුණේ මධ්‍යම බටහිර ඉලිනොයිස්හි ටැම්නිකෝ හිය. ජාතික වීරයින්ගේ නිජබිමකි. එහෙත් සම්භවය සම්බන්ධ කිසිවක් ඔහුට අමතර වාසියක් ගෙන නොදුන්නේය. කිසි දිනෙක උසස් පාසලකට නොගිය පියා ජැක්, වෘත්තියෙන් සපත්තු මහන්නෙකු මෙන්ම සුරා සොඬෙකු ද විය. පවුලට නිතර තැනින් තැනට යමින් පදිංචිය වෙනස් කරන්නට සිදු විය. මුදල් ඉතා හිඟ විය. පියා බීමත්කම වැඩි වී වැටී මියගොස් තිබෙන බව දිනක් පාසලේ සිට ආ 11 හැවිරිදි කුඩා රේගන් දුටුවේය. “මම ඔහු වෙත නැඹුරු වුණා.’’ රේගන් වරක් සිහිපත් කළේය. “විස්කිවල සැර ගඳ මගෙ නාසය කඩාගෙන ගියා. මම ඔහුගෙ කොළරයෙන් අල්ලා ඇදගෙන ගොස් ඔහුව ඇඳට දැම්මා.’’

රේගන්ට අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් ලබා දුන්නේ ක්‍රීඩාවයි. කුඩා ඉයුරේකා විද්‍යාලයේ පන්ති ගාස්තුවෙන් අඩක්ම ආවරණය කර ගැනීමට ඔහු ක්‍රීඩා ශිෂ්‍යත්වයක් දිනාගත්තේය. එයින් වාර්ෂිකව ඩොලර් 90 ක් ඔහුට ලැබිණි. ආපන ශාලාවෙන් ලබාගත් ආහාර පාන සඳහා ඔහුට ගෙවීමට සිදු වූයේ දීසි සෝදන ශ්‍රමයෙනි. විද්‍යාලයේ නව සභාපති ඔහුව පීඨයෙන් කපා හැරීමට උත්සාහ කළෙන් රේගන් ශිෂ්‍යයින් එක් රැස් කරගෙන වැඩ වර්ජනයක් සංවිධානය කළේය. ප්‍රේක්ෂකයන් ඇඳ බැඳ තබා ගැනීමට තමාට ඇති හැකි බව ඔහු දැනගත්තේ මෙහිදීය.

පළමු ජනාධිපති කතාවේදී එම වර්ජන රාත්‍රිය තුළ ශිෂ්‍යයන් ඔහුට ඇහුම්කන් දුන් ආකාරය ඔහු ආවර්ජනය කළේය. තමා නළුවෙකු බවද ඔහු කෙමෙන් වීරයාගේ චරිතයට තමා ගැළපේ යැයි ඔහු සොයා ගත්තේය. ‘සොබාදහම මට යමක් කීමට උත්සාහ ගනිමින් සිටියා’ ඔහු පසුව කීය. ඉන්පසු රංග ශිල්පය හැදෑරීමට ද වෙහෙස විය. 1932 දී ඇමරිකාවේ වෘත්තීය නළුවෙකු වන්නට සිතුවද නළුවන්ට රැකියා අවස්ථා තිබෙන්නේ ඉතා විරලව යැයි ඔහු ඉක්මනින් වටහා ගත්තේය. ඔහු තම පවුල සමග ජංගම රථයකින් නගරයෙන් නගරයට ගමන් කරමින් යාබද ගුවන්විදුලි මධ්‍යස්ථානවල රැකියා අවස්ථා තිබෙන්නේ දැයි විමසා බැලුවේය. අයෝවා හි ඩැවන්පෝට් ගුවන් විදුලියේ කළමනාකරුවෙකු මන:කල්පිත පාපන්දු තරගයක් විස්තර විචාරයක් කරන්නැයි ඔහුට අභියෝග කළේය. රේගන් කෙතරම් සාර්ථක වීද යත් තරග විස්තර විචාරකයෙකු ලෙස එක් තරගයකට ඩොලර් 5 බැගින් පසුව ඔහු අය කළේය. 1937 දී කැලිෆෝනියාවේ ගුවන්විදුලි ආයතනයක සේවය කරමින් සිටියදී චිකාගෝ කබ්ස් හි පුහුණුවක යෙදීමට ඔහුට අවස්ථාව ලැබිණි. වෝනර් බ්‍රදර්ස්හි සම අධ්‍යක්ෂිකාවක් ඔහු දැක ඔහුට මෙසේ කීවාය. “තවත් රොබට් ටෙයිලර් කෙනෙක් මගෙ කාර්යාලයේ වාඩි වී සිටිනවා.’’

වෝනර් සමාගම ඔහු සමග සතියකට ඩොලර් 200 ක ගිවිසුමකට අත්සන් කළේ එක් පරීක්ෂණයකට පමණක් ඔහු ලක් කිරීමෙන් අනතුරුවය. වසරකට චිත්‍රපට 9 ක ප්‍රමාණයක් රඟපෑවද ඔහුගේ මුල් චිත්‍රපට ප්‍රේක්ෂකයින්ගේ මතකයේ එතරම් රැඳී නොතිබිණි. ‘ද ගිපර්’ චිත්‍රපටයේ ගිප්ගේ චරිතය සඳහා ඔහු සුදුසු නැතැයි නිෂ්පාදකවරයා මුලින් කී විට රේගන් විරෝධය පළ කළේය.

“ඒත් මම අට අවුරුද්දක් පාපන්දු ක්‍රීඩා කර තිබෙනවා. ගිප් මට වඩා රාත්තල් 5 ක් බරින් අඩුයි’’ එහෙත් නිෂ්පාදකවරයාගේ සැක සංකා දුරු වී නොගියේය.

ප්‍රශ්නය තිබෙන්නේ තමා හැඳ සිටින ව්‍යාපාරික ඇඳුම් කට්ටලයේ බව ඔහු වටහා ගත්තේය. නිෂ්පාදකවරයාට අවශ්‍ය වූයේ පුළුල් උරහිස්, පිම්බුණු මාංශ පේශී සහ හෙල්මටයක් පැළඳි විට කඩවසම් ලෙස දිස්වන මුහුණකි. රේගන් නිවසට ගොස් තම පාපන්දු කණ්ඩායමේ ඡායාරූප කිහිපයක් ඔහුට ගෙනැවිත් දුන්නේය. ගිප්ගේ චරිතය ඔහු ලබා ගත්තේ ඒ ආකාරයටයි.

එම අතිශය සාර්ථක චිත්‍රපටය රඟපෑ වසරේම රොනල්ඩ් රේගන් හොලිවුඩ් සිනමා නිළි ජෙනී වයිමාන් සමග විවාහ විය. ‘කින්ග්ස් රොව්’ චිත්‍රපටයේ රඟපෑමට වෝනර් බ්‍රදර්ස් සමාගම ඔහු සමග ගිවිසුම් අත්සන් කළේය. ඩ්‍රැක් මැක්හියු නමැති චරිතය රඟපාමින් රේගන් නගරයේ ශල්‍ය වෛද්‍යවරයාගේ දියණිය දූෂණය කරන්නේ තරුණ වියේදී තමාගේ දෙපයම අංගඡේදනය කළ වෛද්‍යවරයාගෙන් පලිගැනීම පිණිසය. එම අසාධාරණය තමන්ට කළේ කවුදැයි දැනගන්නා තරුණ මැක්හියු මුලින් අති ප්‍රබල කම්පනයකටද වේදනාවකට ද පත්වෙයි. දෙපය කපා දමන දර්ශනය රූගත කළ රාත්‍රියේ රේගන් නිවසට පැමිණ නිදාගත්තේ මෙට්ටයේ කුහරයක් තනාගෙන එතුළ දෙපය ඔබාගෙනය. “මගේ ශරීරයට යම්කිසි භයානක දෙයක් තියෙනවා යැයි මට හිතුණා.’’ ඔහු පසුව කීය. කෙසේ වෙතත් එම චිත්‍රපටයෙන් ඔහු තරුවක් බවට පත්විය.

1942 පර්ල් වාරයට බෝම්බ දැමීමේ සිද්ධියෙන් පසු දෙවන ලෝක යුද්ධය සඳහා ඇමරිකානුවෙකු වශයෙන් තමා ද දායක විය යුතු යැයි සිතූ රේගන් යුධ හමුදාවට බැඳෙන්නට උත්සාහ කළ ද ඔහු වෛද්‍ය පරීක්ෂණයට භාජනය කළ වෛද්‍යවරයා මෙසේ කීය. “අපි ඔබව පිටරට ඇරියොත් ඔබ ජනරාල්ට වෙඩි තැබිය යුතුයි.’’කෙසේ හෝ අවසානයේ ඔහුට සිදු වූයේ හොලිවුඩයෙන් කිලෝමීටර් 9ක් එපිටින් පිහිටි පැරණි හැල් රෝව් චිත්‍රාගාරයේ ‘ෆෝට් රෝව්’ චිත්‍රපටයේ පුහුණුවීම්වල යෙදෙන්නටය. පශ්චාත් දෙවන ලෝක යුධ සමයේ චිත්‍රපට රඟපෑමෙහි යෙදී සිටි රේගන් නිතැතින්ම දේශපාලනය වෙත ඇදී ගියේය. 1953 වන විට චිත්‍රපට 50 කට අධික ප්‍රමාණයක රඟපෑ රේගන්, ලාස් වෙගාස්හි රාත්‍රී සමාජශාලාවක ගීත ගැයුවේය. එහෙත් ඔහුගේ ජීවිතය, ඩොලර් 125,000 ක වාර්ෂික ආදායමක් ලැබිය හැකි නව රැකියාවක් ලැබීම සමග සම්පූර්ණයෙන්ම වෙනස් විය. එය නම් ජෙනරල් ඉලෙක්ට්‍රික් නමැති රූපවාහිනී නාටක මාලාවක් සතිපතා රඟපෑමයි. සෑම වසරකටම සති 10 ක් ඔහු CE කර්මාන්ත ශාලාවල නියෝජිතයෙකු ලෙස ද චරිත නිරූපණය කළ යුතු විය.

ඔහු 1954 සිට 1962 දක්වා ‘ජෙනරාල් ඉලෙක්ට්‍රික් තියටර්’ නමැති එම මාලා නාටකයේ චරිත නිරූපණය කළේය. ක්‍රමයෙන් ඔහු කර්මාන්තශාලා 139ට ගොස් එහි සේවකයින් 250,000 ම මුණගැසී තිබිණ. “රජය අපේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්නෙ නෑ. එයට හේතුව තමයි ප්‍රශ්නය’’ ඔහු කීවේය. 1964 සෙනෙට් සභික බැරී ගෝල්ඩ්වෝටර්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවලට රොනල්ඩ් රේගන් එක්වීම නිසා පෙර නොවූ විරූ පිබිදීමක් ඇති විය. එහෙත් එය කෙළවර වූයේ විනාශයකිනි. නමුත් රේගන් එහිදී පළකළ ප්‍රතිභාව ලොස් ඇන්ජලීස් හි ප්‍රධාන පෙළේ ෆෝඩ් මෝටර් රථ ව්‍යාපාරිකයෙකු වූ හෝම්ස් පී පිට්ලිගේ සිතෙහි රැඳී තිබිණ. 1906 දී තම පක්ෂයේත් ආණ්ඩුකාර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය යුත්තේ අනෙකෙකු නොව රේගන්ය යන්න ඔහුගේ විශ්වාසය විය. ඔහු අභියෝගය භාරගත්තේය. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වූ එවකට ආණ්ඩුකාර පැට් බ්‍රවුන්ට එරෙහි මැතිවරණ ප්‍රචාරක පාඨය වූයේ ‘බර්කෙලි හි අවුල්ජාලය ශුද්ධ කරමු’ යන්නයි. වාර්තාගත වැඩි ඡන්ද මිලියනයකින් රේගන් ජයග්‍රහණය කළේය. දෙවන වරටත් ඡන්ද මිලියන භාගයකින් ඔහු දිනුවේය. ජනාධිපති නික්සන්ගේ වෝටර්ගේට් අපවාදය තුළින් ඔහුගේම පක්ෂයේ ජනප්‍රියත්වය ඉහළ ගියේය. 1975 දී ආණ්ඩුකාර පදවියෙන් ඔහු විශ්‍රාම යන විට, එක් ජනමත විචාරණයකින් කියැවුණු ආකාරයට ඔහුගේ ප්‍රාන්තයේ ප්‍රතිවිරුද්ධ රිපලිකන් පාක්ෂිකයින් සිටියේ 20% කට ද අඩු ප්‍රමාණයකි.

1981 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ රේගන් ජනතා කැමැත්තෙන් 50.7% ක් දිනා ජනාධිපති පදවියට පත් විය. හිටපු ජනාධිපති ජිමී කාටර්ට ඡන්ද 41% ක් ද ස්වාධීන අපේක්ෂක ජෝන් ඇන්ඩර්සන්ට 6.6% ක් ද ලැබිණි. රේගන්ගේ ආදර්ශ පාඨය වූයේ ‘ජාතික නැවුම් බවේ යුගයක්’ යන්නයි. ඔහුගේ පාලන සමය තුළ ඇමරිකානුවෝ ලොව සුපිරිතම ජාතිය බවට පත්වූහ.

අත්‍යන්ත සර්වශුභවාදියා – නැන්සි රේගන් විසිනි.

තම ස්වාමිපුරුෂයාගේ මරණයට පෙරාතුව නැන්සි රේගන් ඇගේ මතකයන් පිළිබඳ ටයිම් සඟරාවට ලිපියක් එවා තිබුණේ මෙසේය.


”ඔහු දැඩි ප්‍රතිපත්ති සහිත ඍජු මිනිසෙක් වූවා. යමක් කිරීම සඳහා දැඩි උනන්දුවක් යුතුව ඔහු එය පිටුපස හඹා ගියේ නැහැ. නමුත් තමාගේ හැකියාවන් ගැන විශ්වාසය තබමින් ඉතා පහසුවෙන් තම අරමුණ ඉටු කර ගත්තා. ඔහු එසේ කළේ යමෙකුට යම් දෙයක් ඔප්පු කර පෙන්වීමේ අරමුණෙන් ද නොවෙයි. තමා විශ්වාස කළ දෙය, තමා සිතූ දෙය ඔහු කීවා. ක්‍රීඩකයෙක් ලෙස සිටි ඔහු රූපවාහිනියට ද සිනමාවට ද විත් අට වසරක් මුළුල්ලේ ඇමරිකාවේ විශාලතම ප්‍රාන්තයේ (කැලිෆෝනියාවේ) ආණ්ඩුකාරයා වී අනතුරුව ඇමරිකානු ජනපති ලෙසද වසර 8 ක් කටයුතු කළා. මේ සියලලු හැකියාවන් ඔහු තුළ තිබුණා. සමහරවිට ඒ ඔහු තුළ තිබූ ශක්තිමත් නොසෙල්වෙනසුලු ආගමික විශ්වාසයක් නිසා වීමට පුළුවන්.

අප හැම කෙනාම වෙනුවෙන් දෙවියන් වහන්සේ ළඟ සැලසුමක් තිබෙන බව රොනී විශ්වාස කළා. ඒක කුමක්දැයි කියා ඒ මොහොතේම අපට දැනගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් අවසානයේ එය දැනගත හැකියි.

ජනේලයෙන් පිටත බලා, ඉන්පසු නිහඬව යාඥා කර මිස ඔහු කිසිවිටෙක ගුවන් යානයක් බිමට පහත් කළේ හෝ එයින් ගොඩ බැස්සේ නැහැ. මම හිතන්නෙ බොහෝ අය ඒ බව දැන හිටියෙ නැහැ. ඔහු අත්‍යන්ත සර්වශුභවාදියෙක්. වීදුරුවෙන් අඩක් ජලය පිරී තිබෙනවා. එය අඩක් හිස් එකක් නොවෙයි.

හැම දෙයක්ම සිදුවන්නේ සහේතුකව කියා විශ්වාස කළ නිසා ඔහු කිසිම දෙයක අඳුරු පැත්ත දුටුවේ නැහැ. ඔහුට වෙඩි වැදී අප ඔහු ගැන වැළපෙමින් සිටින විට ඔහු සිටියෙ රෝහල් ඇඳ මත වැතිරී සිවිලිම දෙස බලා යාඥා කරමින්. ඔහුට තමා වෙනුවෙන් විතරක් යාඥා කරන්න බැහැයි කියා ඔහු මට කීවා. ඔහු යාඥා කළේ ජෝන් හින්ක්ලිංද සමගයි. හින්ක්ලිගෙ මාපියන් ඔහුට ස්තූති කර ලිපියක් එවූ විට රොනී ද එයටම නොදෙවෙනි පිළිතුරු ලිපියක් එදාම ලියා ඔවුන්ට යැව්වා.

පසුව කුක් කාඩිනල්තැන ධවල මන්දිරයට රොනී මුණගැසී මෙහෙම කිව්වා, “ඒ දවසෙ දෙවියන් වහන්සේ සත්‍ය වශයෙන්ම ඔබේ උරහිසේ වාඩි වී සිටියා.’’ රොනී මෙහෙම උත්තර දුන්නා. “ඔව් මම දන්නවා, මම උන්වහන්සේ සමග යාමට හිත හදාගෙනයි හිටියේ.’’

රොනී පුද්ගලිකත්වය ඉහළින්ම අගය කළ කෙනෙක් වුණත් සමූහ ආශ්‍රය ප්‍රිය කළා. මිනිසුන් දැකීමටත් ඔවුන් සමග කතා බහ කිරීමටත් ඔහු ප්‍රියයි. අවුරුදු 52 ක විවාහ ජීවිතය තුළ මට ඒ සඳහා ඕනෑතරම් අත්දැකීම් තිබෙනවා. ඔහු ඉතාම හැඟීම්බර, අනුරාගී හා නිතර සහකාරිය ගැන සොයා බලන අයෙක්. මගේ උපන්දිනය ද ඔහු මගේ මවට විශාල මල් පොකුරක් නොවැරදීම යැව්වේ, මා බිහිකර ඔහුට ලබාදීම ගැන ස්තූති කරමින්.

මද කලකට පෙර ඇවිදීම සඳහා පිටතට ගොස් සිටින අතර ඉදිරිපස මිදුලේ රෝස මල් වවා තිබූ නිවසක් ඉදිරිපිට ඔහු නතර වුණා. වැටට එහා පැත්තෙන් නැමී එක් ඉතා පියකරු මලක් කඩා ගත්තා. රහස් ඔත්තු සේවා නිලධාරියා එය රොනල්ඩ් රේගන් ගේ නිවස නොවන බව ඔහුට සිහිපත් කරදී තිබෙනවා. රොනී එවිට ඔහු දෙස හැරී ඉතා දැඩි ආකාරයට මෙසේ කියා තිබුණා. “මට මේක කාගෙ වුණත් කමක් නැහැ. මට ඕනෙ මේ මල් මගෙ ආර්යාවට තෑගි කරන්න.’’ ඔහු එය මට තෑගි කළා.

රොනී හාස්‍යයට දැක්වූ ප්‍රියතාවය ගැන නොකියා ඔබට ඔහු ගැන කියන්න මට බැහැ. ඔහුට එකම කතාව දෙවරක් නොකියා මුළු දවසක්ම එක දිගටම විහිළු කතා කියන්න තරම් හැකියාවක් තියෙනවා. ඔහු එහි වාසිය දේශපාලනයේදී නොඅඩුව යෙදුවා. උණුසුම් කලබලකාරී තත්ත්වයක් පැන නැගුණහොත් කලබලය සන්සිඳුවීමට සමත්, අවස්ථාව හරියටම ගැළපෙන කතාවක් හැමවිටම ඔහුගෙ කතා පෙට්ටියෙ තිබුණා.

රොනී හැමවිටම දරුවන්ට මෙහෙම කිව්වා. “ඔබ කඩයකට ගිහින් ඒ කඩයෙ සිටින ලිපිකාරිය කෝපයෙන් මුහුණ රතු කරගෙන හිටියොත්, එය ඇයට නරක දවසක් බව සිතා කැමැත්තෙන්ම ඇගේ සපත්තු බවට පත්වෙන්න.’’ ඔහු තමාගේ පුතාට කියූ එක් දෙයක් මට මතකයි. “නියම මහත්මයෙක් හැමවිටම කරන්නෙ කාරුණික දේවල්.’’ ඔව්. රොනී මුරණ්ඩු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ හැම විටකම ඔහුගෙ මුහුණෙ මද සිනහවක් තිබුණා.

සෝවියට් දේශය යන මග වැරදියි කියා ඔහු දැඩි ලෙස විශ්වාස කළා. තමා කතා කළ යුතු සීමාව මෙයයි කියා ඔහුගෙ උපදේශකයින් කලින් පෙන්වා දී ඇති විට, නමුත් එම සීමාව ඉක්මවාලීමට ඔහුට අවශ්‍ය වූ විට ඔහු මුරණ්ඩුකමට අමතරව උමතුභාවයකින්ද හැසිරුණා. වරක් බර්ලින් තාප්පය මුදුනේ සිටගත් ඔහු මෙහෙම කිව්වා. “ගොර්බවොච් මහත්මයා, කරුණාකරලා මේ තාප්පය බිඳ දමාපන්…!’’

ශීතල යුද්ධ ආරක්ෂාකාරී ලෙස නිම කිරීම තමා අතින් විය යුතුම දෙයක් කියා ඔහු විශ්වාස කළා.

1989 ජනවාරියේ අප අවසන් වතාවට ධවල මන්දිරයෙන් පිටවෙලා හෙලිකොප්ටරය වෙත එනවිට ඔහු එක්වරම මා වෙත හැරී උණුසුම් විදිහට මෙහෙම කිව්වා. “කදිම අට අවුරුද්දක්! නරක නෑ! ඇත්තටම නරක නෑ!’’

සබැඳි මාතෘකා:#RONALDREGANTRENDING



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි