×

සියවසක තිගැස්ම

වසර 1900 දී මිනිසුන් වසර 2000 ගැන සිතුවේ මෙහෙමයි!


අද වන විට අප පසුකරමින් සිටින්නේ වසර 2018. ශතවර්ෂයක් ගෙවී යන හැමවිටම, නව ශත වර්ෂය ගැන සිතමින් මිනිසුන් තිගැස්මට පත්වනවා. වසර 1000 ක් එසේත් නැතිනම් සහශ්‍රකයක් ගෙවෙන තැන ඊටත් වඩා තිගැස්මට පත් වෙනවා. මේ සිතුවම් පෙළ, වසර 1900 දී ජීවත් වූ සිත්තරුන්, “France in the Year 2000” සිතුවම් පෙළ හරහා වසර 2000 දී ලෝකය කෙසේ වේවිදැයි එදා සිතූ හැටි ගැන කදිම උදාහරණයක්.

Jean-Marc Côté ඇතුළු චිත්‍ර ශිල්පීන් කිහිප දෙනෙක් විසින් මේ සිතුවම් නිර්මාණය කර තිබෙන්නේ 1899, 1900, 1901 සහ 1910 වර්ෂවලයි. මුලින්ම මෙම සිතුවම්, 1900 වසරේ පැරිසියේ පැවති ලෝක ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කර තිබෙනවා. මුලින් ඒවා සිගරට් පෙට්ටිවල මුද්‍රණය කෙරුණා. පසුව තැපැල්පත් මත මුද්‍රණය කෙරුණා. යන්ත්‍රානුසාරී ජීවිතය, වැඩ පහසු වීම යනාදී කාර්මීකරණයේ අපේක්ෂිත සිහින ඒවායින් පිළිබිඹු වෙනවා. අජටාකාශ ගමන් ගැන ඒවායේ කිසිවක් සඳහන් වන්නේ නැහැ. කොහොම වුණත් වසර 2000 වන විට ලෝකය මේ සිතුවම්වලින් දැක්වෙන දේට වඩා බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා. විද්‍යාව හා තාක්ෂණයේ මහිමය නිසා, වසර 2000 දී ලෝකය තිබෙන තැන ගැන සිතන්නට වසර 1900 දී ලෝකයේ ජීවත් වූ මිනිසුන් අසමත් වූ බවට මේ සිතුවම් හොඳ උදාහරණයක්. මේ අන්දමින්ම, වසර 2100 දී ලෝකය තිබෙනු ඇත්තේත්, අද අපට සිතාගන්නටවත් බැරි තැනක බවට කිසිම සැකයක් නැහැ…

මේ, පොළොව පවිත්‍ර කරන යන්ත්‍රයක් වසර 2000 දී ලොව බිහි වී තිබේ යැයි එදා සිතූ හැටි..

යන්ත්‍රානුසාරී ගොවිතැන සහ ගොවිපොළ ක්‍රමය නිසා අතිශයින් කාර්යබහුල වී සිටින ප්‍රංශ ගොවියෙක්…

කුකුළන්ට කෑම ලබාදෙන්නේ මේ ආකාරයෙන් යැයි එදා ඔවුන් සිතුවා..

අද වන විට ඉන්ධන බද්ද වැඩිකිරීමට ප්‍රංශ වැසියන් වීදි බැස තිබෙනවා. කඳුකර ප්‍රංශයේ ගමනාගමනය එදා 1900 වසරේදීත් බරපතළ සමාජ ගැටළුවක්ව පැවති බවට මේ සිතුවම හොඳ උදාහරණයක්. මෙහි දැක්වෙන්නේ ගම්බද ප්‍රංශයේ කඳුකරය හරහා ඇදී යන රෝද සවි කළ ගම්බද  ගෙයක්!

කරණවෑමියාගේ දින චරියාව වසර 2000 දී මෙසේ වේවි යැයි එදා ඔවුන් සිතුවා..


ප්‍රංශ යුවතියන් වසර 2000 දී රූපලාවන්‍යාගාරවල මෙසේ සිටිනු ඇතැයි එදා සිතුවා. නමුත් වසර 2000 වන විට ප්‍රංශය මීට වඩා බෙහෙවින්ම ඉදිරියට ගොස් ලෝකයේ රූපලාවන්‍ය බලාගාරය බවට පත්වී තිබුණා….

අලුත්ම විලාසිතාවලට අනුව විගස ඇඳුම් මසන, නව සහශ්‍රකයේ සන්නාලියෙක්…

ස්වයංක්‍රීය සමූහ වාදන වෘන්දයක්. මෙහි වාදකයන් නැහැ. සිටින්නේ එය මෙහෙවන්නා පමණයි. අනෙක් සියලුම සංගීත භාණ්ඩ යන්ත්‍රානුසාරයෙන් වාදනය වෙනවා. නමුත් මිනිස් ස්පර්ශය සහ සංගීතය දුරස් කරන්නට කාලයට හැකි වී නැහැ. ඒ නිසා මේ තත්වය දක්වා ලෝක සංගීතය තවමත් පිය මැන නැහැ..
පාසලට නව තාක්ෂණය..

අමුතු තාලයේ පියාඹන යන්ත්‍ර සහ හෙලිකොප්ටර

මේ තිබෙන්නේ සත්‍ය වූ අනාවැකියක්.. මෙයට සමාන අති දැවැන්ත ගුවන්යානාවක් 1937 වසරේ නිෂ්පාදනය කරනවා. නමුත් එය මහා ඛේදවාචකයක් බවට පත්වෙමින් කඩා වැටුණා. ‘හින්ඩන්බර්ග් විපත‘ යනුවෙන් හඳුන්වන්නේ එයයි. 
පොලිසිය, තැපැල්කරුවන්, ගිනි නිවන භටයන් සහ දඩයක්කාරයන්, පියාඹන යන්ත්‍රවල නැගී වසර 2000 දී රාජකාරි කරනු ඇතැයි එදා 1900 වසරේ ජීවත් වූවන් සිතුවා.. මේ, පියාඹන යන්ත්‍රයක නැගී ලියුම් බෙදන තැපැල්කරුවෙක්…

ගුවන් පොලිසිය…
ගිනි නිවන ගුවන් භටයෝ…

ඒ විතරක් නෙවෙයි, රාජාලි බිත්තර හොරකම් කරන දඩයක්කාරයන් මේ අන්දමින් පියාඹන යන්ත්‍රවල පිහිට පතනු ඇතැයි ඔවුන් එදා සිතුවා..

යුද ගුවන් යානා සහ යුධ කාර්!

මිනිසුන්ට මේ ආකාරයෙන් සාගර ජීවීන් හීලෑ කරගෙන සාගරය යට අසිරිය බලන්නටත් සාගරය යටත් කර ගන්නටත් පුළුවන් වේවි කියා එදා ඔවුන් සිතුවා. නමුත් මෙයත් තවමත් සිහිනයක් පමණයි…මේ, මුහුදු අශ්වයන් පිට නැගුණු කිමිදුම්කරුවන් පිරිසක්

පැසිෆික් සාගරය තුළ තරගයක්…!


සයුර යට ක්‍රීඩා සැණකෙලි

මේ තිබෙන්නේ ‘තල්මස් බස් රථයක්‘. කෙසේ නමුත් සයුර යට යාත්‍රා මේ අන්දමින් නොවුණත් වෙනත් අන්දමින් අද වන විට දැකගන්නට පුළුවන්. එකම වෙනස, ඒවා යන්ත්‍රානුසාරයෙන් ධාවනය වනවා. එහෙම නැතිව මේ සිතුවමේ දැක්වෙන අන්දමින් තල්මසුන් විසින් ඒවා ඇදගෙන යන්නේ හෝ මිනිසා විසින් තල්මසුන් බැඳගෙන නැහැ!
ඇතැම්විට මේවා විද්‍යා ප්‍රබන්ධයක පරිච්ඡේද ලෙස ඔබට දිස්වන්නට පුළුවන්. නමුත් අනාගතය ගැන මවාගන්නා සිහිනවලින් මිනිසා සැමදා පෝෂණය වනවා. ඒ පරිකල්පන හැකියාව ලෝකය ලස්සන කරනවා.
මූලාශ්‍රය – The Washington Post


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි