×

සිය ගණනකගේ ජීවිත අවදානමේ හෙළමින් ට්‍රම්ප් හදිසියේම රෝහලෙන් පිටව යයි

කොරෝනා වෛරසයට තීව්‍ර ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ ඇමරිකානු ජනාධිපතිවරයා රෝහලෙන් පිටව යන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නිකුත් වීමත් සමග ඇමරිකානුවෝ මෙසේ අසමින් සිටිති.


‘‘ඔහුට තවමත් වසංගතය සෙල්ලමක්ද?‘‘

ඊයේ දිනයේ ඔහු සිය ආරක්ෂක භටයන් ද සමග SUV රථයේ නැගී වෝල්ටර් රීඩ් හමුදා රෝහලෙන් පිටව ගියේ දේශපාලන ආධාරකරුවන්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ය.

CNN පුවත් සේවය පවසන්නේ ට්‍රම්ප්ව මේ හදිසියේම රෝහලෙන් පිටත් කරවාගෙන තිබෙන්නේ ඔහුගේ උපදේශකයන් විසිනි.

SUV රථයේ පිටුපස අසුනේ මුහුණු වැස්මක් පැළඳගෙන සිටි ට්‍රම්ප් එහිදී ආධාරකරුවන්ට අත වනන ආකාරය ද දැකගත හැකි විය.

මේ සිද්ධියෙන් මතුවන ගැටළු කිහිපයකි.

ට්‍රම්ප් රෝගය ගැන තවමත් පසුවන්නේ ප්‍රශ්නකාරී විනිශ්චයක ය. ඔහුට අවශ්‍ය වන්නේ ඡන්දය දිනාගෙන නැවත වරක් ජනපති බවට පත් වීම පමණක් බව පෙනේ.

ඔහු නැවතත් ධවල මන්දිරයේ කාර්ය මණ්ඩලය ද වසංගත අවදානමට ගොදුරු කිරීමට සූදානම් ය.

එපමණක් නොව සීඑන්එන් පුවත් සේවය පවසන්නේ SUV රථයෙන් ඔහුව කැඳවාගෙන යාමට සිදුවූ බුද්ධි අංශ නිලධාරීන්ගේ ජීවිත ද මෙමගින් ඔහු අවදානමකට හෙළා ඇති බවයි.

දැන් SUV රථයේ රියැදුරුගේ පටන් රෝහල් කාර්ය මණ්ඩලය ද ඇතුළත්ව මේ සියලු දෙනාම දින 14 ක් නිරෝධායනයට යා යුතු ව තිබේ.

‘‘දේශපාලන නාටකයක් වෙනුවෙන් ජනපතිවරයා මේ සියලු දෙනාගේම ජීවිත අවදානමේ දැමුවා. ඔවුන් අසනීප විය හැකියි. ඔවුන් මරණයට පත් වෙන්නටත් පුළුවන්‘‘ යැයි වෛද්‍ය ජේම්ස් පිලිප් ට්විටර් සටහනකින් පවසයි.

ට්‍රම්ප්ගේ SUV රථය වෙඩි වරුසාවලින් ආරක්ෂිත ය. රසායනික ප්‍රහාරවලින් ද ආරක්ෂිත ය. නමුත් කොරෝනා වෛරසයෙන් නම් ආරක්ෂිත නැත.

ධවල මන්දිර සේවකයන් අන්දුන් කුන්දුන්

ඇමරිකානු ජනපතිවරයා කොවිඩ් පොසිටිව් තත්වයට පත් වූයේ පසුගිය සිකුරාදා ය. නමුත් ධවල මන්දිරයේ කළමනාකරණ කාර්යාලය විසින් එහි කාර්ය මණ්ඩලයට නිල වශයෙන් ඒ බව දැනුම් දී තිබෙන්නේ ඉරිදා රාත්‍රියේ ය. එතැන් පටන් මේ දක්වා ඔවුන්ට ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ කිසිදු යාවත්කාලීන කිරීමක් නිල වශයෙන් නිකුත් කර නොතිබිණි. මේ අතරවාරයේ ධවල මන්දිරයේ සේවකයන් ගණනාවක්ම කොවිඩ් පොසිටිව් තත්වයෙන් සිටින බවට රෝග පරීක්ෂාවන්ගෙන් සනාථ වී තිබේ. දැන් මේ සියල්ල අස්සේ ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ ට්‍රම්ප් නැවතතත් ධවල මන්දිරයට එන බව ය. ඒ, ට්‍රම්ප් ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් ද නිරෝධායනයේ පසුවන අතරවාරයේ ය.

මැතිවරණ ප්‍රචාරණ රැළිත් දිගටම

ට්‍රම්ප්ගේ 2020 ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු භාරව සිටින ජ්‍යේෂ්ඨ ප්‍රධානියෙකු වන ජේසන් මිලර් CNN පුවත් සේවයේ “Newsroom” වැඩසටහන සමග එක්වෙමින් පැවසුවේ ‘අදාළ ආරක්ෂක පියවර සමග ප්‍රචාරණ කටයුතු සැලසුම් කළ පරිදිම සිදුවන බව‘‘ ය.

ඒ අනුව රැළිවලට පැමිණෙන ජනතාවට හෑන්ඩ් සැනිටයිසර් සහ මාස්ක් ලබාදීමට නියමිත බව කියැවුණේය. නමුත් ඒ මාස්ක් ඔවුන් විසින් පැළඳිය යුතු බව අනිවාර්ය යැයි පවා ඔහු කීවේ නැත.

ඒ වෙනුවට ට්‍රම්ප්ටම ගැළපෙන මේ උපදේශකයා කීවේ මෙසේ ය.

‘‘අපි බයේ හැංගෙන්නෙ නෑ…‘‘

ජනතා නායකයෙකුට මීට වඩා වගකීම් විරහිතව වැඩ කළ හැකිද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි