×

සූකර පෙනහළු බද්ධයෙන් මිනිස් පෙනහළු බද්ධයට.

මේ පර්යේෂණයෙන් ලද අත්දැකීම් සහ එම ක්‍රමවේදය වඩාත් වැදගත් වන්නේ බද්ධය සඳහා පෙනහළුවක් සොයමින් ලතැවෙන, මාරාන්තික තත්ත්වයේ පසුවන රෝගීන්ට ය.


ඌරන්ගේ දේහ සෛල භාවිතයට ගෙන ඌරන්ට බද්ධ කළ හැකි පෙනහළු හතරක් විද්‍යාගාරයක් තුළ වර්ධනය කෙරේ. එසේ වර්ධනය කරගත් පෙනහළු, ඌරන් හතරදෙනෙකුට බද්ධ කෙරිණ. ජෛව ඉංජිනේරු තාක්ෂණය යටතේ නිර්මාණය කෙරුණු එම පෙනහළු ඌරන්ට බද්ධ කිරීමෙන් පසු, ඌරන් තුළ සාර්ථකව ක්‍රියාත්මක වන්නට පටන් ගත් බැව් පැවසේ. මේ භාරධූර අත්හදා බැලීම සිදු කර තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්වවිද්‍යාලීය වෛද්‍ය අංශයේ විද්වතුන් පිරිසකි. ඔවුන් පවසන්නේ මේ පර්යේෂණයෙන් ලබාගත් අත්දැකීම් සහ සාර්ථකත්වයන් මිනිසාට කෘත්‍රිම පෙනහළු බද්ධ කිරීම සඳහා දොර විවර කර දෙනු ඇති බවකි.

මේ විද්වතුන් පිරිස පළමුවෙන්ම කර තිබෙන්නේ එක් ඌරකුගේ පෙනහළුව උගේ දේහයෙන් වෙන්කර ගැනීමයි. අනතුරුව, සෛල සහ රුධිරය ඉවත් කිරීමට එය විශේෂ ද්‍රාවණයකින් සෝදා ඇත. මෙම පෙනහළුව විශේෂ පෝෂණ මාධ්‍යක් සහිත බඳුනක බහා වර්ධනය වීමට තබා තිබේ. පෙනහළුව බද්ධ කිරීමට නියමිත ඌරාගේ දේහ සෛල, වර්ධනය වන්නට සැලසූ පෙනහළුව තුළට ඇතුළු කර තිබෙන්නේ ද ඒ සමඟයි. අනතුරුව පෙනහළුවට වර්ධනය වන්නට දින තිහක පමණ කාලයක් ලබා දෙන ලදී. බද්ධ කිරීමට සරිලන අන්දමින් පෙනහළුව එම කාලය තුළදී වර්ධනය වී තිබුණු බැව් සඳහන් වේ. එම පෙනහළුව අදාල ජීවියාට බද්ධ කෙරිණ. බද්ධ කිරීමත් සමඟම එය ඔක්සිජන් වාතයෙන් පිරී යෑමට ද සලස්වන ලද බව පර්යේෂකයෝ පවසති. සති දෙකක කාලයක් ගත වනවිට පෙනහළුවෙහි පැවැත්මට අවශ්‍ය රුධිර වාහිනී වර්ධනය වී පෙනහළුව ග්‍රාහකයාගේ ශරීරය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත.

පෙනහළුව බද්ධ කෙරුණු ඌරාගේ සෞඛ්‍ය තත්ත්වය පළමු පැය 10 මුළුල්ලේ විද්වතුන්ගේ දැඩි අවධානය මධ්‍යයේ පැවතියේය. පසුව තවත් සති දෙකක් පුරා උගේ සෞඛ්‍ය ගැන විද්‍යාඥයෝ විමසිලිමත්ව සිටියහ. ජෛව ඉංජිනේරු තාක්ෂණය යටතේ වර්ධනය කෙරුණු පෙනහළුව හරියාකාරව ජීවියාගේ දේහය අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන බැව් තහවුරු කරගත් පසු ඌට සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වන්නට ඉඩ සලසන ලදී. බද්ධය සාර්ථක බැව් පර්යේෂකයෝ අවසානයේදී සනාත කළහ.

මේ පර්යේෂණයෙන් ලද අත්දැකීම් සහ එම ක්‍රමවේදය වඩාත් වැදගත් වන්නේ බද්ධය සඳහා පෙනහළුවක් සොයමින් ලතැවෙන, මාරාන්තික තත්ත්වයේ පසුවන රෝගීන්ට ය. පෙනහළු අපේක්ෂාවෙන් ලෝ පුරා ඇති පොරොත්තු ලේඛනවලට වසරකට එකතුවන රෝගීන් සංඛ්‍යාව 1,500කට අධික බැව් කියැ වේ. මේ පිරිසගේ ජීවිත බේරා ගැනීමට නම් අවශ්‍යයෙන්ම පෙනහළු බද්ධයන් කළ යුතුව ඇත. එසේ වුවත් එම රෝගීන් සංඛ්‍යාවට අවශ්‍ය පෙනහළු ගණන සොයා ගැනීම බෙහෙවින්ම දුෂ්කරය. පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට තමන්ට ගැලපෙන පෙනහළුවක් නොලබාම සදහටම දෑස් පියාගන්නට සිදුවන අවස්ථා ද එමට ය. එය බෙහෙවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

පෙනහළුවක් බද්ධ කෙරුණ ද එය ග්‍රාහකයාගේ සිරුරෙන් ප්‍රතික්ෂේප වන්නට වැඩි ඉඩකඩක් ඇත. මේ තත්ත්වය මඟහරවා ගන්නට ප්‍රතිශක්තිකරණය පාලනයක් යටතේ තබාගන්නට සිදු වේ. එය කළ හැකිව එන්නේ ඖෂධ භාවිතයෙනි. බද්ධ කිරීම සඳහා පෙනහළුවක් ලැබුණා ද එය ග්‍රාහකයාට සරිලන අන්දමට සකස් කරන්නට වෛද්‍යවරුන්ට සිදුවන අවස්ථා ඇත. මේ සියළු ගැටලුවලට උත්තර සෙවිය හැකි වන්නේ ජෛව ඉංජිනේරු තාක්ෂණයේ මහිමයෙන් විද්‍යාගාර තුළ පෙනහළු වර්ධනය කිරීම සාර්ථක කරගත් විටදී ය.

මනුෂ්‍යයන්ට බද්ධ කිරීමට අවශ්‍යය පෙනහළු වර්ධනය කරගන්නට සිදු වන්නේ ග්‍රාහකයාගේ සෛල භාවිතයට ගනිමිනි. පෙනහළුව ආශ්‍රිත රුධිර වාහිනීත් ග්‍රාහකයාගේ සිරුරේ අවශ්‍යතාවයට සරිලන අන්දමට වර්ධනය කරගත හැකි නම් වෛද්‍යවරුන්ට සිදු වන්නේ එම රුධිරවාහිනී ග්‍රාහකයාගේ සිරුරේ රුධිර වාහිනීවලට නැවත ඈඳීම පමණි.

ඡායාරූප සබැඳුම

https://www.bbc.co.uk/news/science-environment-45046674


Silence is argument carried out by other means.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි