×

සෞදියේ ඔටුන්න හිමි කුමාරයා, රටේ පළමු න්‍යෂ්ටික බලාගාරයේ වැඩ පටන් ගනියි.

ජමාල් ඛෂෝගිගේ ඝාතනය දක්වාම ලෝකය සිතා සිටියේ ඔහු අතිශයින් ප්‍රගතිගාමී අයෙක් වන බවයි.


සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු විසින් එරට පළමු න්‍යෂ්ටික පර්යේෂණ ප්‍රතික්‍රියාකාරකය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය.

මේ බව සනාථ කරන්නේ සෞදි පුවත් ඒජන්සිය විසිනි.

ඔටුන්න හිමි කුමාරයා රාජධානිය තුළ ප්‍රකටව සිටින්නේ ඔහුගේ නමේ මුල් අකුරු වන MBS යනුවෙනි. MBS ප්‍රජාතන්ත්‍රවාදී සහ අනාගතය සමග යන නායකයෙක් බව ලෝකය සිතුවේය. ජමාල් ඛෂෝගිගේ ඝාතනය දක්වාම ලෝකය සිතා සිටියේ ඔහු අතිශයින් ප්‍රගතිගාමී අයෙක් වන බවයි. ඔහුට ‘රැවුල් කුමාරයා‘ යනුවෙන් ආමන්ත්‍රණය කළ අය ද වූහ.

සප්ත මහා ව්‍යාපෘති

MBS විසින් පුනර්ජන්‍ය බලශක්තිය, පරමාණුක බලශක්තිය, මුහුදු ජලයෙන් ලවණ ඉවත් කර ඒවා පිරිසිදු ජලය බවට පත් කිරීම, ජාන වෛද්‍ය විද්‍යාව සහ ගුවන්යානා නිපදවීම යනුවෙන් මහා ව්‍යාපෘති 7කට පසුගිය සඳුදා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ අබ්දුල්ලාසීස් නගරයට ගිය අවස්ථාවේදී දියත් කළේය.

මේ සියල්ල අතරින් රටේ පළමු න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීම ප්‍රධාන ය.

MBS විසින් පසුගිය මාර්තු මාසයේදී සෞදිය, න්‍යෂ්ටික ආයුධ නිපදවීමේ පෙරමුණ ගැනීමට සූදානම් බව මුල්වරට ප්‍රකාශ කර සිටියේය.

පසුගිය වසරේ අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කළේ සෞදි රජය විසින් රටේ ‘බලශක්ති මිශ්‍රණය‘ වැඩි දියුණු කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාව මගින්, න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ලංසු කැඳවීමට ඇරයුම් කළේය.

මේ වන විට සෞදි රාජධානිය සැලසුම් කරන්නේ වසර 2032 වන විට ගිගාවොට් 17.6 ක ධාරිතාවයකින් යුත් න්‍යෂ්ටික බලයක් ගොඩ නගා ගන්නට ය. එය, න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 17 ක ශක්තියකට සමාන වේ. ඒ අනුව එය, න්‍යෂ්ටික ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝකයේ සිදු කෙරෙන දැවැන්තම ව්‍යාපෘතියක් බවට පත්වනු ඇත.

රොයිටර්ස් පුවත් සේවයට අනුව, සෞදි අරාබිය ඉදිරිියේදී සැලසුම් කරන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන දහනය සිය රට තුළ සීමා කළ හැකි මං සොයාබලන්නට ය. ඒ වෙනුවට විදේශ රටවලට පෙට්‍රෝලියම් විකිණීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත.

සෞදිය මෙම සැලසුම සාර්ථක කර ගතහොත්, ගල්ෆ් අරාබි කලාපය තුළ සිටින දෙවැනි න්‍යෂ්ටික බලවතා බවට එය පත්වනු ඇත. මේ වන විට ගල්ෆ් අරාබි කලාපයේ සිටින පළමු න්‍යෂ්ටික බලවතා බවට පත්ව සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. එය මේ වන විට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක 4 ක් ගොඩ නගමින් සිටින අතර, ඒවා දකුණු කොරියාව විසින් නිර්මාණය කරන ලද ඒවා ය.

ඉරානය හැදුවොත් අපිත් හදනවා!


මේ වන විට පෙනී ගොස් තිබෙන්නේ සෞදි අරාබියට අවශ්‍ය වී තිබෙන්නේ ඉරානය සමග න්‍යෂ්ටික තරගයක ද නිරත වීම බවයි.

‘‘සෞදි අරාබියට පරමාණුක බෝම්බ තැනීමට අවශ්‍ය නැහැ. නමුත් ඉරානය හැදුවොත්, ඒ විගසම අපිත් හදනවා“ යැයි MBS, ඇමරිකානු මාධ්‍ය ආයතනයක් වන PBS වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා සිටියේය.

ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සමග 2015 වසරේදී අත්සන් කළ ප්‍රධාන පෙළේ න්‍යෂ්ටික ගිවිසුමකින් මේ වන විට ඉවත් වී සිටීම ද මෙහිදී කැපී පෙනෙයි. එසේම සඳුදා දිනයේ පටන් ඇමරිකාව, ඉරානයට තෙල් සම්බාධක සහ ආර්ථික සම්බාධක නැවත පැනවීය.

මූලාශ්‍ර රාශියකින් හෙළිවන පරිදි ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය , සෞදි කුමාරයාගේ හොඳ මිතුරෙකි. එසේම ඇමරිකාව දීර්ඝ කාලයක පටන් සෞදිය සමග මිත්‍රශීලී සබඳතා පවත්වාගෙන යන්නේ අරාබි ලෝකයේ බල තුලනයට තීරණාත්මක බලපෑමක් සිදු කරමිනි. ඒ අනුව මේ මොහොතේදී, ඉරානයේ බලය බිඳී ගොස් ඇති අවස්ථාවක සෞදිය විසින් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියකට අත ගසන්නේ ඇමරිකාවේ අනුග්‍රහය ද තමන්ට හිමි වන බව දන්නා නිසාද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි