×

සොලෙයිමනීගේ අවමංගල්‍යයට පැමිණි 35 දෙනෙක් තදබදය නිසා මරුට

තුන් දිනක් තිස්සේ ප්‍රකාශයට පත් කර ඇති ශෝක කාලය තුළ ඉරානයේ ඝාතනයට ලක් වූ ජනරාල් ක්වාසම් සොලෙයිමනීගේ අවමංගල්‍ය කටයුතු සඳහා ඇදී ආ මිලියන ගණන් පිරිස අතරින් අද දින අවම වශයෙන් 35 දෙනෙක් මරුමුවට පත්ව තිබේ.


එම මරණ වලට හේතු වී තිබෙන්නේ අවමංගල්‍ය පෙරහැරේ හටගත් අධික තදබදයයි.

ටෙහෙරාන් නුවර ඊයේ දිනවන තෙක් තබාගත් ජනරාල් සොලෙයිමනීගේ දේහය, අද දිනයේ ඔහු හැදී වැඩුණු කර්මන් නගරයට ගෙන ආ අවස්ථාවේදී මෙය සිදුවිය.

ඇතැම් වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 40 ඉක්මවයි.

200 කට අධික සංඛ්‍යාවක් පෑගීම හේතුවෙන් තුවාළ ලබා සිටිති.

Al Jazeera

ජනරාල් සොලෙයිමනීගේ භූමදාන කටයුතු සිදුකිරීමට නියමිත ව තිබෙන්නේ කර්මන් නගරයේ ය. කුඩා නගරයක් වන මෙයට, ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා ඇදී එන මිලියන ගණන් සෙනග දරාගත නොහැකි බව පෙනෙන්නට තිබේ

පසුගිය සිකුරාදා ඇමරිකාව විසින් එල්ල කළ ද්‍රෝණ ප්‍රහාරයෙන් සිදුවූ සොලෙයිමනීගේ මරණයත් සමග ඔහු ‘ප්‍රාණත්‍යාගියෙකු‘ වශයෙන් තවදුරටත් උත්කර්ෂයට නැංවේ. බීබීසී පුවත් සේවයට අනුව, මැදපෙරදිග කලාපයේ බලවත්ම හමුදා ප්‍රධානියා වූ ඔහු, ඉරානය තුළ රොක් තරුවක් තරමට ජනප්‍රිය චරිතයකි. ඔහුව හැඳින්වීමට බීබීසී පුවත් සේවය යොදා තිබූ අන්වර්ථ නාමය වූයේ, ‘රොක් ස්ටාර් ජනරාල්‘ යන්නයි.

පහත දැක්වෙන්නේ ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය වූ රූපරාමු කිහිපයකි.

[embedyt] https://www.youtube.com/watch?v=zAT1V-b35tU[/embedyt]

පෙර ලිපිය – සොලෙයිමනීගේ අවමංගල්‍යයට මිලියන ගණනක් සෙනග – දියණියගෙන් ඇමරිකාවට අනතුරු ඇඟවීමක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි