×

සෝමාලියාවේ යුධ අපරාධකරුවකු වූ වර්ජිනියාවේ ඌබර් රියදුරු

ඇමරිකානු අධිකරණයක් විසින් වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි හිටපු ඌබර් රියදුරකු 1980 දශකයේ සෝමාලියානු සිවිල් යුද්ධයේ යුධ අපරාධකරුවකු බවට සොයා ගැනේ! සෝමාලියානු පදිංචිකරුවකු වන ෆර්හාන් ටානි වාර්ෆා වොෂිංටන් හි පැවති අධිකරණයකදී හිටපු සෝමාලි කර්නල්වරයකු වන යුසුෆ් අබ්දි අලි තමා හට වෙඩි තෑබූ බවත් වධහිංසා පැමිණවූ බවත් ප්‍රකාශ කර සිටියේය. අධිකරණ වාර්තා අනුව යුසුෆ් අබ්දි අලි යනු හිටපු […]


ඇමරිකානු අධිකරණයක් විසින් වර්ජිනියා ප්‍රාන්තයේ පදිංචි හිටපු ඌබර් රියදුරකු 1980 දශකයේ සෝමාලියානු සිවිල් යුද්ධයේ යුධ අපරාධකරුවකු බවට සොයා ගැනේ!

සෝමාලියානු පදිංචිකරුවකු වන ෆර්හාන් ටානි වාර්ෆා වොෂිංටන් හි පැවති අධිකරණයකදී හිටපු සෝමාලි කර්නල්වරයකු වන යුසුෆ් අබ්දි අලි තමා හට වෙඩි තෑබූ බවත් වධහිංසා පැමිණවූ බවත් ප්‍රකාශ කර සිටියේය.

අධිකරණ වාර්තා අනුව යුසුෆ් අබ්දි අලි යනු හිටපු යුධ හමුදාපතියකු මෙන්ම මොහමඩ් සියාද් බාර් නම් ඒකාධිපතියාගේ සහයකයෙකි.

2019 මැයි මාසය වන තුරු අලි නම් පුද්ගලයා, ඌබර් සේවාවේ රියදුරකු ලෙස 4.89 ක වාර්තාවක් පිහිටවා ඇත.

අඟහරුවාදා (21) දින වර්ජිනියා ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියා හි පැවති අධිකරණයකදී අලි නම් පුද්ගලයා වසර 30කට පෙර සෝමාලියාවේ පැවති සිවිල් යුධ වාතාවරණ කාලවකවානුවේදී ෆර්හාන් ටානි වාර්ෆා මහතා හට දරුණු වධහිංසා පමුණුවා ඇති බවට හෙලිදරව් විය. මේ සඳහා වාර්ෆා මහතා හට ඇමරිකානු ඩොලර් 500,000 ක වන්දියක් පිරිනැමීමට ද අධිකරණය කටයුතු කොට ඇත.

අලි නම් පුද්ගලයා තමාට වධහිංසා පැමිණවූ බවට වාර්ෆා මහතා පළමුවරට නඩුවක් ගොනුකරන්නේ 2004 වර්ෂයේදීය. වර්ජිනියා අධිකරණ තීන්දුව සමඟ තමා ඉතා සතුටට පත්වන බව පරිවර්තකයකුගේ ආධාරයෙන් වාර්ෆා මහතා බීබීසී ය සමඟ පැවසීය.


වර්ජිනියා අධිකරණ තීන්දුව සමඟ තමා ඉතා සතුටට පත්වන බව වාර්ෆා බීබීසී ය සමඟ පැවසීය.

අලි නම් පුද්ගලයා මෙහෙය වූ යුධ භටයින් විසින් 1987 වර්ෂයේදී උතුරු සෝමාලියාවේ තම නිවසදී තමා පැහැරගත් බව වාර්ෆා මහතා පැහැදිලි කරන ලදී.  එතැන් පටන් ගතවූ මාස ගණනක් තුළ අලි නම් පුද්ගලයා ගේ නියෝග මත තමාව ප්‍රශ්ණ කළ බවත්, වධහිංසා පැමිණවූ බවත්, විටින් විට දරුණු පහර එල්ල කළ බවත්, වෙඩි තැබූ බවත් වාර්ෆා මහතා පැවසීය.

මරණ මංචකය අභියස අඩපණ වී වැතිර සිටි වාර්ෆා මහතා තම දිවිගලවා ගත්තේ තමා ගේ සිරුර වල දැමීමට පැමිණි සොහොන් වල කපන්නන් හට මුදල් ගෙවීමෙන් බව ඔහු පැහැදිලි කළේය.

අලි සෝමාලියානු සිවිල් යුධ සමයේ යුධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයකු බවට මුලින් ම ලොවට හෙලිකරන ලද්දේ 1992 වර්ෂයේ කැනේඩියානු ගුවන්විදුලි සංස්ථාවේ පළවූ වැඩසටහනක් හරහා ය. එහිදී අලි නම් පුද්ගලයා ඒකාධිපති බාර්ගේ රෙජිමයේ සේවයේ යෙදෙන අතරතුර අහිංසක මිනිසුන් සිය ගණනක් ඝාතනය කළ බවට හෙලිදරව් විය. මෙම වැඩසටහන විකාශනය වූ කාලවකවානුවේදී අලි මුරපල ආරක්ෂක භටයකු ලෙස ටොරොන්ටෝ ප්‍රදේශයේ සේවය කොට ඇත.

අලිගේ යුධ අපරාධ පිළිබඳ හෙලිදරව් කරමින් 1992 වර්ෂයේ විකාශනය වූ මෙම වැඩසටහන තුළ ඔහුගේ අපරාධ ඇසින් දුටු උතුරු සෝමාලියානු සාක්ෂිකරුවන් රැසක් අදහස් ප්‍රකාශ කර ඇත. ඔවුනට අනුව අලි නම් පුද්ගලයා එවකට කර්නල් ටුකේ නමින් හඳුන්වා ඇත. ටුකේ යන්නේ අදහස “කපුටා” යන්නය.

එම වැඩසටහන විකාශනය වීමත් අනතුරුව “බරපතල මානව හිමිකම් උල්ලංඝන” චෝදනා යටතේ අලි කැනඩාවෙන් පිටුවහල් කොට ඇත. අලි ට එරෙහි පිටුවහල් කිරීමේ කටයුතු ඇමරිකා එක්සත් ජනපදය විසින් යොදා තිබුණද, 1996 වර්ෂයේදී අලි අභිරහස් ලෙස නැවත ඇමරිකානු දේශ සීමාවට ඇතුල් වී ඇත. මේ පිළිබඳ කඩිනම් පැහැදිලි කිරීමක් කිරීමට ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවද අසමත් වී ඇත.

මෙම වර්ෂයේ මැයි මාසයේ දී රැස් කරගත් තොරතුරු මත රහසිගත මෙහෙයුමක් දියත් කරමින් අලි ගේ ඌබර් රථයේ ගමන් කිරීමට සීඑන්එන් පුවත් සේවාව සමත් වී ඇත. ඒ ඇසුරින් ඌබර් සේවාව ද මේ පිළිබඳ දැනුවත් වී ඇත.

අලි ඌබර් සේවාවේ මාස 18 ක කාලයක් සේවය කොට ඇත. මීට අමතරව රයිඩ්ෂෙයාර් ආයතනයේ ද, ලිෆ්ට් නම් ප්‍රවාහන සේවාවේද සේවය කොට ඇත. අලි ගේ ඉතිහාසය හෙලිදරව් වීමත් සමඟ මෙම සියළු ආයතන තුෂ්නිම්භූත වී ඇත. ඌබර් සේවාව ඔහුගේ සාමාජිකත්වය ද වහා අහෝසි කොට ඇත. ඇමරිකානු එෆ්බීඅයි හා ඉන්ටර්පෝල් සේවාවේ දායකත්වයෙන් අලි ගේ අපරාධ ඉතිහාසය පිළිබඳ තොරතුරු එක් රැස් කර ගැනීමටත්, ඒ ඇසුරෙන් ඌබර් හා ලිෆ්ට් ආයතන තුළ අලි ගේ වාර්තා එක් රැස් කිරීමටත් ඇමරිකානු චෙකර් නම් පාරිභෝගික වාර්තාකරණ ආයතනය සමත් වී ඇත.

ගැටළුව පැවතියේ ඉහත කී ආයතන කිසිවක් සේවයට බඳවා ගන්නා පුද්ගලයන්ගේ අපරාධ ඉතිහාස වාර්තා පරීක්ෂා නොකිරීමයි!

අලි ඌබර් හා ලිෆ්ට් ආයතන වල සේවය හැර ගිය පසු ඩලස් ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි මුර සේවකයකු ලෙස සේවය කොට ඇති බවට තොරතුරු හෙලිදරව් විය.

අධිකරණ තීන්දුව ඉදිරියේ වාර්ෆා වටකර ගත් පිරිස ප්‍රීතිඝෝෂා නඟමින්.

අලි සෝමාලියාව තුළදී සිදුකළ යුධ අපරාධ මත ඇමරිකානු අධිකරණය ඉදිරියේ වරද පමුණුවා දඬුවම් නියම කිරීම පිළිබඳ ගැටළුවක් උද්ගතව පැවතියද, වාර්ෆා මහතා ගේ සහයට ඇමරිකානු වධහිංසා වින්දිතයන් ආරක්ෂා කිරිමේ පනත (Torture Victim Protections Act : TVPA) ඉදිරිපත් වීම නිසා තිස් එක් වසරක් මුළුල්ලේ නිදැල්ලේ විසූ අහිංසක ජීවිත රැසක් බිලිගත් මෙම අපරාධකරු කොටු කර ගැනීමත් එමඟින් වාර්ෆා මහතා හට යුක්තිය ඉශ්ට වූ බවත් වාර්ෆා මහතා ගේ නීතීඥයන් පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි