×

හිට්ලර්ගේ කිඹුලා අභාවප්‍රාප්ත වෙයි!

නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් විසින් සුරතලයට ඇති කළ බවට සැලකෙන ඇලිගේටරයා මොස්කව් සත්වෝද්‍යානයේදී අවසන් ගමන් ගියේය.


වයස අවුරුදු 84 ක් වූ සැටර්න් නමැති මේ ඇලිගේටරයා මිය යන්නේ හිට්ලර් දෙවැනි ලෝක යුද්ධයෙන් පරාජය වීමේ 75 වැනි සංවත්සරය නොහොත් දියමන්ති ජුබිලිය යෙදී ඇති 2020 වසරේදී වීම ද විශේෂත්වයකි.

දෙවන ලෝක යුද්ධයේ බර්ලින් සටනේදී සැටර්න් ද හිට්ලර් මෙන්ම පළායාමට සමත් විය.

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ රුසියානු හමුදාව බර්ලින් සත්වෝද්‍යානයට කඩා වැදීමෙන් පසුව එය දිස්වූ ආකාරයයි. එහි දිවි ගෙවූ 16,000 ක් වූ සතුන්ගෙන් පණ බේරාගැනීමට සමත් වී සිටියේ සතුන් 96 දෙනෙකු පමණි. මේ ඇලිගේටරයා ජීවත් වූ තටාකය ද දෙවැනි ලෝක යුද්ධයේදී 1943 නොවැම්බර් 23 දා බෝම්බ ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම විනාශ වී යන්නේ එහි සිටි ඇලිගේටරයන් 30 දෙනා ගැන හෝඩුවාවක්වත් නැතිව ය. නමුත් සැටර්න් කෙසේ හෝ පළා ගොස් තිබිණි.

වසර 3කට පසුව බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් සොයාගනු ලදුව, ඌව රතු හමුදාවට භාර කෙරිණි. ඒ නිසා 1946 වසරේ පටන් හිට්ලර්ගේ ඇලිගේටරයා (ඇලිගේටරයන් යනු කිඹුල් වර්ගයකි) ජීවත් වූයේ රුසියාවේ (එවකට සෝවියට් දේශයේ) මොස්කව් සත්වෝද්‍යානයේ ය.

කිසිදා සනාථ කළ නොහැකි වුවත්, නාසි ජර්මනියේ පැතිර තිබූ ජනප්‍රිය කතාවක් වූයේ මේ ඇලිගේටරයා හිට්ලර්ගේ පෞද්ගලික සුරතල් සතුන්ගේ එකතුවේ සාමාජිකයෙකු වන බව ය. මේ කතාවට සෝවියට් දේශයේදී තටු ලැබෙන්නේ ප්‍රකට ලේඛක බොරිස් අකුනින් (Boris Akunin) විසින් ලියූ ලිපියක් නිසා ය. එසේම ඇලිගේටරයන් හිට්ලර්ගේ ප්‍රියතම සුරතලුන් වූ බව ද සමකාලීන ලෝකය දැන සිටියේය.

හිට්ලර් නොරටුන් අප්‍රිය කළ බවත්, ජර්මානු ආර්යයන් පමණක් ලෝකයේ සිටිය යුතු බවත් කල්පනා කළ බව නොරහසකි. සීනොෆෝබියාව (Xenophobia) හෙවත් විදේශිකයන් කෙරෙහි දක්වන භීතිකාව සහ වෛරය මේ ලෝකයට ප්‍රමුඛ ලෙස ගෙන ආවේ හිට්ලර් ය. ඔහු දේශ දේශාන්තර පසු කරමින් ගොස් හයලක්ෂයක් වන යුදෙව්වන් සංහාරය කරන්නේ ද ඒ නිසා ය. නමුත් හිට්ලර් විදේශිකයන් ව කොතරම් අප්‍රිය කළත් මේ කිඹුලා නම් විදේශිකයෙකි!

එනම් සැටර්න් 1936 වසරේදී උපත ලබන්නේ ඇමරිකාවේ මිසිසිපි හි කැලෑබද ව ය. ඒ අනුව සැටර්න් යනු මිසිසිපි ඇලිගේටරයෙකි (Alligator mississippiensis) පසුව මේ ඇලිගේටරයාව අල්ලාගෙන බර්ලින් සත්වෝද්‍යානයට ගෙන එනු ලබයි.

කිලෝ 200 ක් බරට සහ මීටර තුනහමාරක් දිගට – සැපට හැදුණු මේ ඇලිගේටර පිරිමියා, කොලපාටට හුරු කබර හමකින් ද පළල් කරගත් කෑදර මුවින් ද යුතුව ලෝකය වසඟ කරගනිමින් සිටියේය. 1950 දශකයේදී මොස්කව් සත්වෝද්‍යානය කල්පනා කළේ සැටර්න් ව පිය පදවියට පත් කරවන්නට ය. ඒ අනුව සැටර්න් ට වඩා වසර 30 ක් පමණ බාල ඇලිගේටර යුවතියක ඔවුන් විසින් සැටර්න් හට ලබාදීම සිදුවිය. ‘ෂිප්කා‘ නමැති ඇලිගේටරිය සමග ඒ සිදුකළේ ළමා විවාහයක් යැයි ද කිව හැක. කෙසේ වෙතත්, උන්ගේ එක්වීමෙන් පැටවුන් ඉපදුණේ නැත. ෂිප්කාගේ ඩිම්භ නිසරු බව සොයාගැනුණි. සැටර්න් කිසිදා තාත්තා කෙනෙකු නොවූයේ මෙනිසාම නොව, හිට්ලර්ට වඩා හාත්පසින්ම වෙනස් අයෙකු බවට පත්ව, තමන් සමග හාද කම් කළ ඒ නව යෞවනියටම පමණක් පෙම් කරන්නට පටන් ගත් නිසා ය. පසුව ෂිප්කා අකාලයේ මිය ගිය විට සැටර්න් නොකා නොබී ශෝක වුණේය. 2005 වසර වන තෙක්ම තනිකඩව සිටියේය. පසුව සහකාරියක් ලැබුණත් ඔහු ඇය ගැන ඒ හැටි උනන්දු වුණේ නැත.

ජීවිතයේ අවසාන කාලය සැටර්න් වෙන් කළේ නිදාගන්නට ය. ඌ බෙහෙවින් නිදාගත්තේය. මදක් ආහාර ගත්තේය. එනම් සතියකට දෙවරක් හාවුන්, මාළුන් සහ මීයන් කෑවේය. හිට්ලර්ව මෙන්ම සැටර්න් ගැන ද ලෝකයට අමතක වෙමින් තිබුණේය. අවසාන භාගයේ සැටර්න් බලන්නට ආවේ ඉතිහාසය ඉගෙන ගන්නා පාසල් දරුවන් පමණි.

මේ ජීවිත කාලයටම සැටර්න් ප්‍රචණ්ඩ වී තිබෙන්නේ එකම එක් වතාවක් පමණි. එනම් 70 දශකයේදී නවක රැකබලාගන්නෙකු සැටර්න් ට අතෙන් කෑම කවන්නට ගොස් කළ විකාරයක් නිසා සැටර්න් ඔහුගේ අත හපා කෑවේය. වියරු වැටෙන හිට්ලර් ට සාපේක්ෂව සැටර්න් සැමදා, අතිශය සාමකාමී හාදයෙකු විය.

ඒ නිසා සැටර්න්, මහත්මයෙකු ලෙස ජීවත් වී මහත්මයෙකු ලෙස මිය ගියේ යැයි ද කියන්නට පුළුවන. ඒ අනුව, මේ ලිපියට යොදා ඇති හෙඩිම ගැන පාඨක ඔබ අප සමග උරණ නොවනු ඇතැයි සිතමු!

* * * *

Saturn the alligator at his enclosure at Moscow Zoo in an undated photograph

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි