×

හිට්ලර්ගේ නාසි යුධ අපරාධකරුවන් ගැන නඩු ඇසූ නියුරම්බර්ග් නඩු විභාගයට වසර 75 යි!

නියුරම්බර්ග් නඩු විභාග ආරම්භ වූයේ මෙයට වසර 75කට පෙර ය.


එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුකළ, වර්ග සංහාරයේදී හැට ලක්ෂයක් යුදෙව්වන් ඝාතනයට ලක් කළ හිට්ලර්ගේ අන්තවාදී වර්ග ශෝධනයට එරෙහිව ලෝකයේම ඇස යොමු වූ නඩු විභාග මාලාවක් විය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුක්තිය ඉටු කිරීමේ අතිශය වැදගත් පියවරක් ලෙස මෙය සලකනු ලැබිණි.

Nuremberg Trials හෙවත් නියුරම්බර්ග් නඩු විභාග ලෙස ප්‍රකට වූ මෙම නඩු විභාගයන් එකල හැඳින්වූයේ ‘ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම නඩු විභාගය‘ (“greatest trial in history‘‘) ලෙස ය. ලොව පුරා මිලියන 6 ක් යුදෙව්වන් ඝාතනය කළ හිට්ලර්ගේ නාසිවාදීන් යුක්තිය හමුවට පැමිණවීම මෙමගින් අපේක්ෂා කෙරිණි. මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ crimes against humanity සඳහා ලෝක ඉතිහාසයේ නඩු ඇසුණු පළමු අවස්ථාව මෙයයි.

රටවල් 4 ක විනිසුරන් නඩු විභාගයක් සඳහා එක් වූ පළමු අවස්ථාව ද මෙයයි. සමකාලික පරිවර්තන නඩු විභාග සඳහා යොදා ගැනුණු පළමු අවස්ථාව ද මෙයයි. විනිසුරන් සහ නීතීඥවරු එහිදී ජර්මානු, ප්‍රංශ, රුසියානු සහ ඉංග්‍රීසි යන භාෂා 4 ම භාවිතා කළහ. ඇමරිකාවෙන් පැමිණි අභිචෝදක මණ්ඩලය මෙහෙයවනු ලැබුවේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වූ විනිසුරු රොබට් ජැක්සන් විසිනි.

සමකාලික පරිවර්තන ප්‍රථම වරට අධිකරණ කටයුතු සඳහා යොදා ගැනුණේ මෙහිදී ය.

විධායකයේ අත පෙවීම්වලට එරෙහි වූ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රොබට් ජැක්සන්

ඇමරිකානු ජනපති හැරී ටෘෘමන් විසින් විනිසුරු රොබට් ජැක්සන් මේ සඳහා නම් කළ අවස්ථාවේදී මෙම නියුරම්බර්ග් නඩු විභාග ‘සෝබන නඩු විභාග‘ නොවිය යුතු බව කියමින් රොබට් ජැක්සන් සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ය.

‘‘ඔබට ප්‍රතිපත්තිමය වශයෙන් ජර්මානුවන්ට වෙඩි තබන්නට අවශ්‍ය නම්, එය ඒ විදිහට කරන්න. නමුත් අධිකරණයක ක්‍රියාවක් පිටුපස සැඟවී එය කරන්නට එපා..‘‘

 “If we want to shoot Germans as a matter of policy, let it be done as such, but don’t hide the deed behind a court,”

මෙය, විධායකය විසින් අධිකරණයට අතපෙවීමට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් ලෙසට ද ඉතිහාස ගත වේ.

“genocide” හෙවත් ‘වර්ග සංහාරය‘ යන යෙදුම ලෝකයේ මුල් වරට භාවිතයට ගැනුණේ ද නියුරම්බර්ග් නඩු විභාගයේදී ය. පෝලන්තයේ උපන් නීතීඥවරයෙකු සහ විනිසුරු ජැක්සන්ගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ රෆායල් ලෙම්කින් විසින් නාසීන් විසින් යුදෙව්වන්ව සැලසුම්සහගත ලෙස ‘ඉවරයක් කර දැමීමේ ක්‍රියාව‘ විස්තර කිරීමට 1944 දී මෙම ජෙනොසයිඩ් යන යෙදුම භාවිතා කළේය. ග්‍රීක බසින් ‘ගෝත්‍රය‘ හෝ ‘වර්ගය‘ හෝ ‘ජාතිය‘ යන අර්ථය ද ලතින් බසින් ‘ඝාතන‘ යන අර්ථය ද දෙන “genos,” යන්න මේ සඳහා ඔහු භාවිතා කළේය. නීතීඥ රෆායල් ලෙම්කින් හට ඥාතීන් 50 දෙනෙකුට වඩා මෙම වර්ග සංහාරය නිසා අහිමි වී තිබිණි.

වර්ග සංහාරය සඳහා යෙදෙන ‘ජෙනොසයිඩ්‘ යන යෙදුම මෙම නඩු විභාගයේදී මුල් වරට යොදන්නේ පෝලන්ත ජාතික නීතීඥ රෆායල් ලෙම්කින් විසිනි.

20 න් 12කට මරණ දඬුවම

නඩු තීන්දුව ප්‍රකාශයට පත් වන අවස්ථාවේදී අධිකරණ ශාලාව වෙත දිව ආ මාධ්‍යවේදීන්

මෙම අන්තර්ජාතික අධිකරණය හමුවේ ඉහළ නිලයන් දැරූ නාසි නිලධාරීන් 20 දෙනෙක් පමණ පෙනී සිටි අතර ඔවුන්ගෙන් 12 දෙනෙකු එල්ලා මරා දමන්නට නියම විය. ඒ අතර, නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ පුද්ගලික ලේකම් වූ මාටින් බෝමන් ද විය. හිට්ලර්ගේ හිටපු නියෝජ්‍ය නායකයා වූ රුඩොල්ෆ් හෙස්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. තිදෙනෙක් නිදහස් කරන ලදී.

හර්මන් ගෝරිං, එල්ලා මරා දමන්නට පෙර සිය දිවි නසා ගනියි

හර්මන් ගෝරිං

හිට්ලර්ගේ රහස් පොලිසිය වූ ගෙස්ටපෝවේ නිර්මාතෘවරයා සහ ලුෆ්ට්වාෆ් හි අණ දෙන්නා වූ හර්මන් ගෝරිංට මෙම නියුරම්බර්ග් නඩු විභාගයෙන් නියම වූයේ එල්ලා මරා දමන්නට ය. නමුත් එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියම වී තිබූ දිනයේ සන්ධ්‍යාවේ පැය කිහිපයකට පෙර, එනම් 1946 ඔක්තෝබර් 15 දා ඔහු සිය දිවි නසාගත්තේය. ඒ, සිරගෙදරින් සොරකම් කළ පොටෑසියම් සයනයිඩ් කැප්සියුලයක් ගිල දැමීම මගිනි.

හර්මන් ගෝරිං එසේ සිය දිවි නසාගන්නට පෙර සිය බිරිඳ වෙනුවෙන් ‘සුයිසයිඩ් නෝට්‘ එකක් හෙවත් අවසන් ලිපියක් තබා ගොස් තිබිණි. එහි සඳහන් වුයේ, තමන් වෙඩික්කාර කල්ලියකින් ගෞරවාන්විත ලෙස මිය යාමට කැමති නමුත්, එල්ලා මරා දැමීම වැනි ‘අගෞරවනීය‘ ක්‍රමයකින් මිය යාමට කැමති නැති බවයි.

‘‘මම දිවි නසාගන්නට තීරණය කළා. මගේ සතුරන් එය කරන්නට ඉටාගෙන සිටිනා ආකාරයට වඩා හොඳ විදිහකට අඩුම ගානේ එය සිදුවේවි.‘‘ යැයි එහි සඳහන් වේ.

ගෝරිංගේ සියදිවි නසාගැනීමෙන් පසුව ඉතිරි වී සිටි අය ට අත්මාංචු දැමීමට නියම කෙරිණි. ඉන්පසුව 2946 ඔක්තෝබර් 16 දා නාසි යුධ අපරාධ අධිකරණය විසින් බන්ධනාගාරයේ ජිම්නාසියමේදී එකා බැගින් එල්ලා මරා දැමීම සිදුවිය.

එල්ලා මරා දැමීමට ඉතිරිව සිටි 10 දෙනාගෙන් අන්තිමයා වූ ආතර් සෙයිස්-ඉන්ක්වාර්ට් පෝරකය වෙත යන අතර මෙසේ කියා ඇති බව සඳහන් ය.

‘‘මේ මරා දැමීම දෙවැනි ලෝක යුද්ධය නිසා ඇතිවූ ඛේදවාචකයේ අවසන් ක්‍රියාව වේ යැයි මම බලාපොරොත්තු වෙනවා..‘‘

හිට්ලර්ගේ සගයන් සහ ඇතුළු කවය තුළ පවා හිට්ලර්ගේ පිළිිවෙත නිසා හටගෙන තිබූ කළකිරීම මෙමගින් ප්‍රකට වේ.

“I hope that this execution will be the last act of the tragedy of the Second World War,” – Arthur Seyss-Inquart

පැය දෙකක කාලයක් තුළ මෙම නාසි යුද අපරාධකරුවන් එල්ලා මරාදැමීම සිදුකළේ ඇමරිකානු හමුදාවේ නිල අළුගෝසුවා වූ මාස්ටර් සාජන්ට් ජෝන් සී. වූඩ්ස් විසිනි. ඔහු වසර 15 ක සේවා කාලයක් තුළ මෙවැනි මරණ දඬුවම් 350කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ අයෙක් බව කියැවේ. එල්ලීම සඳහා භාවිතා කළ කඹ ඉතා කොට ඒවා වූ බවත්, ඔවුන්ට වේදනාකාරී මන්දගාමී මරණයක් අත් වූ බවටත් චෝදනා එල්ල වූ නමුත් ඇමරිකානු හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

නාසි වෛද්‍යවරුන් 200 කට අධික පිරිසක්

ප්‍රධාන නියුරම්බර්ග් යුධ අපරාධ අධිකරණයට අමතරව තවත් අපරාධ අධිකරණ ගණනාවක් පිහිටුවනු ලැබිණි. ඒවා ද පැවැත්වුණේ නියුරම්බර්ග් හිම ය. 1946 සිට 1949 අතර කාලයේදී මෙය සිදුවිය.

එහිදී 200 කට අධික නාසි වෛද්‍යවරුන් පිරිසක් අභිචෝදනයට ලක් කෙරිණි. ඒ යුධ සිරකරුවන් අතර සිටි අය සහ නීතීඥයන්, විනිසුරුවරුන්, නාසීන්ගේ ‘වාර්ගික ශුද්ධත්වය‘ සංකල්පය ක්‍රියාවට නැංවීම සඳහා දුෂ්ට සහ ම්ලේච්ඡ පරීක්ෂණවලට බඳුන් කිරීම වෙනුවෙනි.

තවත් එක් ‘සෝබන නඩු විභාගයක්‘ පමණක් වීද?

කෙසේ වෙතත්, හිට්ලර් විසින් සිදුකළ යුදෙව් සංහාරයට සහ විනාශකාරී වැඩපිළිවෙළට එරෙහිව යුක්තිය ඉටු වීම සඳහා නියුරම්බර්ග් නඩු විභාගවලින් සිදුවූ දේ ප්‍රමාණවත් නොවන බවට විශාල විවේචනයක් තිබේ. 12 දෙනෙකුට පමණක් මරණ දඬුවම හිමිවීම, හානිපූරණය සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් නොමැතිවීම ඒ අතරින් ප්‍රධාන ය. කෙසේ නමුත්, අප විසින් ඉහත ඡේදවල විස්තර කළ සුවිශේෂතා නිසා, අන්තර්ජාතික අපරාධ අධිකරණ පද්ධතිය තුළ යුක්තිය පසිඳලීමේ නව යාන්ත්‍රණයන් සකස් කිරීමේ මූලාරම්භයක් ලෙස මෙම නඩු විභාග මාලාව ඓතිහාසික වේ.

හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නාසි නිලධාරීන් නියුරම්බර්ග් නඩු විභාගයේදී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි