×

හෙපටයිටිස් C වෛරසය සොයාගත් විද්‍යාඥයන් ත්‍රිත්වයට වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය

වෛද්‍ය විද්‍යාව සඳහා පිදෙන 2020 නොබෙල් ත්‍යාගය එක්සත් ජනපද - එක්සත් රාජධානි (US-UK) වෛද්‍ය පර්යේෂකයන් ත්‍රිත්වයක් විසින් දිනාගෙන තිබෙනවා.


ඒ, හෙපටයිටිස් C වෛරසය සොයාගැනීම සහ, එතුළින් එම රෝගය මැඩපැවැත්වීමට සිදුකළ දායකත්වය වෙනුවෙන්.

ඒ අනුව හෙපටයිටිස් C වෛරසය සොයාගත් හාවි ජේ. ඇල්ටර්, මයිකල් හෝටන් සහ චාල්ස් එම්. රයිස් යන වෛද්‍ය පර්යේෂකයන් තිදෙනා අතර නොබෙල් ත්‍යාගය සමසේ බෙදී යනවා.

HCV යන කෙටි නාමයෙන් මෙම හෙපටයිටිස් සී වෛරසය හැඳින්වෙනවා.

නොබෙල් කමිටුව විසින් සිදුකළ ට්විටර් ප්‍රකාශයේ මෙසේ ද දැක්වෙනවා.

‘‘ඉතිහාසයේ පළමු වතාවට හෙපටයිටිස් C වෛරසය දැන් සුව කළ හැකියි. 2020 නොබෙල් ත්‍යාගලාභීන් විසින් නිදන්ගත සහ සුවනොවන හෙපටයිටිස් රෝගයට හේතුව හෙළි කළා සහ, රුධිර පරීක්ෂා සොයාගැනීමට ඉවහල් වුණා. දැන්, මිලියන ගණන් ජීවිත සුරැකෙන නව ඖෂධ ඒ සඳහා තිබෙනවා..‘‘

ලොව පුරා මිලියන 71 ක් නිදන්ගත හෙපටයිටිස් C වෛරස් ආසාදනයට ගොදුරු වෙලා

ගෝලීය වශයෙන් මිලියන 71 ක ජනතාවක් නිදන්ගත හෙපටයිටිස් C වෛරසයට ගොදුරු වී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. මෙයින් සැලකිය යුතු ප්‍රමාණයකගේ නිදන්ගත රෝගී තත්වය අක්මාවේ සිරෝසිස් හෝ අක්මා පිළිකා දක්වා වර්ධනය වෙනවා. මෙය මැඬලීමට මාර්ග සොයාගැනීම මගින් ඉහත කී විද්‍යාඥයන් දෙදෙනා කළ මෙහෙය මිල කළ නොහැකියි.

වෛරසය සොයාගත් හැටි

ඔවුන් තිදෙනා අතරින් ඇමරිකානු ජාතිකයෙක් වන ඇල්ටර්, මෙම වෛරසය සොයාගන්නට පාරවිලයනයේ ක්‍රමවේද අධ්‍යයනයන් යොදාගත්තා. බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන හෝටන් නව වෛරසයේ ජෙනෝමය එතෙක් පරීක්ෂා කර නොතිබුණු ක්‍රමයක් මගින් වෙන් කර ගන්නට සමත් වුණා. ඒ වගේම, එයට Hepatitis C නාමය ලබාදුන්නේත් ඔහු විසින්.

මේ අතර ඇමරිකානු ජාතික විද්‍යාඥයෙකු වන රයිස්, Hepatitis C වෛරසය මගින් පමණක් වුණත් හෙපටයිටිස් රෝගය බෝවෙන බව සනාථ කරන අවසාන සාක්ෂි සැපයීමට සමත් වුණා.

අක්මා බද්ධයෙන් පවා සුවකළ නොහැකි – අක්මාවට හානි වන තෙක්ම නොදන්නා රෝගයක්

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කහ උණ‘ ලෙස හඳුන්වන හෙපටයිටිස් රෝගය අතරින් Hepatitis C විශේෂ වන්නේ එය ඉතාම මෑතක් වන තුරුම ‘සුව කළ නොහැකි‘ රෝගයක් ලෙස සැලකුණු නිසයි.ඒ වගේම අක්මාවට නිත්‍ය වශයෙන්ම බලපාන තෙක්ම, ඒ කියන්නේ අක්මාව තුවාළ වන තෙක්ම බොහෝ අයට මෙම රෝගය වැළදී ඇති බව දැනෙන්නේවත් නැහැ. එය මේ රෝගයේ තිබෙන ලොකුම බරපතළ කමයි. මෙය ආසාදිත රුධිරය මගින් හෝ ලේ විෂවීම නිසා හටගන්නා රෝගයක් ලෙස සැලකුණා. ඒ වගේම අක්මාවක් බද්ධ කිරීමෙන්වත් මේ රෝගය නිට්ටාවට සුව කළ නොහැකි තත්වයකයි පැවතුණේ.

නමුත් දැන්, මේ විද්‍යාඥයන් ත්‍රිත්වයේ සොයාගැනීමත් සමග ලොව පුරා රෝගය සමග ජීවත් වන මිලියන ගණනකට බලාපොරොත්තුවේ නව ජීවනය ලැබී තිබෙනවා.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි