×

හොංකොංහි 25වන සැමරුම් දිනය එළඹෙන විට තත්වය ?

මහජන චීනය විසින් හොංකොං හි "එක රටක් -ක්‍රම දෙකක්" (one country, two systems) යන මූලධර්මය යටතේ ස්වයංපාලන බලයක් සහිත විශේෂ චීන කලාපයක් ලෙස පාලනය කෙරෙයි. දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් ක්‍රියාත්මක වෙමින් තිබේ. 


1997 බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත, මහජන චීන පාලනයට භාර දීම අද (01) දින චීන ජනාධිපති ෂි ජින් පින්ගේ මූලිකත්වයෙන් උත්කර්ෂවත්ව සැමරේ. මහජන චීනය විසින් හොංකොං හි “එක රටක් -ක්‍රම දෙකක්” (one country, two systems) යන මූලධර්මය යටතේ ස්වයංපාලන බලයක් සහිත විශේෂ චීන කලාපයක් ලෙස පාලනය කෙරෙයි. දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් ක්‍රියාත්මක වෙමින් තිබේ.

චීන පාලනය යටතේ පවතින ලොව වඩාත්ම වියදම් සහිත වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් හා සංචාරක පුරවරයක් ලෙස ප්‍රචලිත හොංකොං වසර 25කට පසු මේ වන විට දැඩි ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. හොංකොං හි මේ සංවත්සරය සමරනු ලබන්නේ එරට ජනතාවගේ කිසිදු ප්‍රසාදයක් නැති අවස්ථාවකදීය.

හොංකොං රාජ්‍යය වෙනුවෙන් චීන පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් විශේෂ ආරක්ෂක පනතින් ලැබූ වරප්‍රසාද යටතේ ජනතාව දැඩි පීඩාවට පත්විය. ජාතික ආරක්ෂක නීතිය හොංකොං හි කලක් ජීවමාන සිවිල් සමාජය යටපත් කර තිබේ. දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති ඇතුළු කණ්ඩායම් දුසිම් ගනනක් මේ වන විටත් විසුරුවා හැර ඇත. පසුගිය වසර කිහිපය ඇතුළත එරට ජනතාවට චීන පාලනය යටතේ මුහුණ දීමට සිදුවූ විවිධ දුෂ්කරතා හේතුවෙන් විරෝධතා විශාල ප්‍රමාණයක් පැවති අතර, මාධ්‍ය මර්දන, උද්ඝෝෂණ මර්දන, පුද්ගලයන් ඒකරාශී වීම තහනම් කිරීම ඇතුළු සිදුවීම් මාලාවක් හේතුවෙන් එරට දැඩි උණුසුම් ස්වභාවයක් ඇති විය. චීනය අවසානයේ වඩාත් ලිබරල් බවට පත්වනු ඇතැයි සහ කාලයාගේ ඇවෑමෙන් හොංකොං සඳහා ද පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වූ නමුදු තත්වය එසේ නොවීය.

කලක් ආසියාවේ මාධ්‍ය නිදහසේ පහනක් වූ හොංකොං, මේ වසරේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ලෝකයේ 148 වැනි ස්ථානයට පත් වූ අතර, පෙර වසරට වඩා ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක් පහත වැටී ඇත. මේ වන විට Apple Daily සහ Stand News ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී  මාධ්‍ය ආයතන කිහිපයක් පසුගිය වසරේ සිට වසා දමා ඇත. චීන ජනාධිපති සහභාගි වන මේ සංවත්සරය ආවරණය කිරීම පවා රොයිටර් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය හතකට වැඩි ප්‍රමාණයකට තහනම් කර ඇත.”පෙළපාලි නගරය”  ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක වූ දා සිට නිහඬ වී ඇත.
සංවත්සර උත්සවය වෙනුවෙන් හොංකොං රාජ්‍යයට දැඩි ආරක්ෂාවක් සපයා ඇති අතර, ජනාධිපති ගමන් කිරීමට සැලසුම් කර ඇති මං මාවත් මුළුමනින්ම ජනතාවගෙන් හිස් කිරීමට සහ දැඩි සීමා තහංචි පැනවීමට දැනටමත් එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. එම මාර්ගවල රථවාහන ගමනාගමනය නවතා ඇති අතර, MRT උමං දුම්රිය මාර්ග සියල්ල වසා දමා තිබේ. මේ වන විට හොංකොං ප්‍රමුඛ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස එහි තත්ත්වය පවත්වා ගත හැකිද යන්න පවා ගැටලුකාරීව තිබේන බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි