×

හොටෙල් රුවන්ඩා වීරයා දඬු කඳේ ගැසිය යුතුයි – රුවන්ඩා ජනපති කියයි

හොටෙල් රුවන්ඩා චිත්‍රපටයෙන් ලෝකයම දැනගත්, ජීවිත 1200 ක් බේරාගත් පෝල් රුසෙසාබගීනා නඩු විභාගයකට ලක් කර කැරළිකාර ක්‍රියාවන්ට සම්බන්ධ වූවෙකු ලෙස සලකා දඬුවම් කළ යුතු බව රුවන්ඩා ජනපති පෝල් කගාමි පවසයි.


ඒ, රූපවාහිනිය හරහා ජාතිය අමතමිනි.

‘‘රුසෙසාබගීනා රුවන්ඩා වැසියන් මරා දැමූ ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙහෙයමින් සිටිනවා.‘‘ යැයි එහිදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කීවේය. ‘‘රුවන්ඩා වැසියන්ගේ ලේ ඔහුගේ දෑත්වල තැවරී තිබෙනවා..‘‘

තවදුරටත් ජනාධිපතිවරයා පවසන්නේ ‘අපි සාධාරණ නඩු විභාගයකට ඔහුව ලක් කරනවා. දේවල් හරියාකාරව කළ යුතුයි‘ යනුවෙනි.

රුවන්ඩා ජනපති පෝල් කගාමි

දැන් සතියක් මුළුල්ලේ රුවන්ඩාවේ රඳවා සිටින රුසෙසාබගීනා, රුවන්ඩාවට ගෙන ආවේ කෙසේද යන්න මෙතෙක් හෙළිදරව් වී නැත. ඒ වෙනුවට ජනපතිවරයා කියන්නේ ඔහු සිය කැමැත්තෙන්ම මව්රට බලා ආ බවයි.

ඔහු රුවන්ඩාවෙන් පළා ගියේ 1996 වසරේදී ය. පසුව බෙල්ජියමේ පුරවැසි භාවය ලබාගත් ඔහු, ඇමරිකාවේ ද නිත්‍ය පුරවැසිභාවය ලබාගත්තේය.

2005 වසරේදී රුසෙසාබගීනා, රුවන්ඩා වර්ග සංහාරය අතරතුරදී ජීවිත බේරාගැනීමට කළ අමිල මෙහෙය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති පදක්කම ද දිනාගත්තේය.

මේ අතර රුසෙසාබගීනාගේ පවුලේ අය සහ හිතමිතුරන් පවසන්නේ ඔහුට කතාකිරීමටවත් තමන්ට අවස්ථාවක් නැති බවයි. නීතීඥවරයෙකු හරහාවත් ඔහුට කතා කිරීමට මේ දක්වා අවස්ථාව ලබා දී නැත.

ඔහුගේ පවුලේ අය පවසන්නේ ඩුබායි බලා සංචාරයක යෙදෙමින් සිටින අතරවාරයේ පෝල් කගාමිගේ නියමයෙන් ඔහුව පැහැරගෙන විත් ඇති බවයි.

රුවන්ඩාවේ 1994 වර්ග සංහාරය සමයේදී ඔහු ජීවිත 1200 ක් බේරාගත්තේ ඔවුන්ට තමන් විසින් කළමනාකරණය කළ හෝටලයේ නවාතැන් දීම මගිනි. මෙම ටුට්සි සහ හුටූ ගෝත්‍රිකයන් අතර පැවති ගැටුමේදී ටුට්සිවරුන් සහ මධ්‍යස්ථමතධාරී හුටූ රවු 800,000 කට අධික පිරිසක් ඝාතනය විය.

2004 දී එළිදුටු ‘හොටෙල් රුවන්ඩා‘ චිත්‍රපටයෙන් ඔහුගේ මෙම උතුම් ක්‍රියාව ලොව පුරා ප්‍රචලිත විය.

මේ අතර පෝල් කගාමි ජනපතිවරයා තවදුරටත් කියන්නේ ‘කැරළිකාර ක්‍රියාවන්ට රුසෙසාබගීනාට සහාය දුන් බොහෝ අය දැන් සිරගතව සිටින බවත්, ඔවුන් ව ද නඩු විභාගයකට ලක් කරන බවත්‘ ය.

තවද ඔහුට කෙන්යානු පුවත්පතක් වන ‘ද ඊස්ට් ඇෆ්‍රිකන්‘ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබාදීමට රුවන්ඩා බලධාරීන් මේ වන විට කටයුතු කර තිබේ. එහිදී තමන්ට එරෙහිව ඇති චෝදනා පිළිබඳ කිසිවක් පැවසීමෙන් ඔහු වැළකී සිටියි.

හොටෙල් රුවන්ඩා වීරයා දැඩි රැකවල් මැද

රුවන්ඩා නීතිය අනුව, සැකකරුවෙකු දින 15 ක් රඳවා තබාගත හැකිය. තවද එය දින 90 ක් දක්වා දීර්ඝ කළ හැකිය.

ඒ අනුව, හොටෙල් රුවන්ඩා වීරයා නඩු විභාගයට ලක් කරන දිනයක් තවම සිතාගත නොහැකි බවත් පැවසේ.

රුවන්ඩාව ඔහුව අල්ලා ගැනීමට නිකුත් කර තිබූ වරෙන්තුවේ දැක්වෙන්නේ ‘ත්‍රස්තවාදය, කඩාකප්පල්කාරී ක්‍රියා, පැහැර ගැනීම් සහ නිරායුධ සිවිල් වැසියන්ව ඝාතනය කිරීම‘ යි.

නමුත් ‘හොටෙල් රුවන්ඩා‘ චිත්‍රපටය නරඹා ඇති කිසිවෙක් මේ කිසිම චෝදනාවක් සමග එකඟ නොවනු ඇත. ඒ වෙනුවට, රාජ්‍ය මර්දනය විසින් වීරයෙකු ත්‍රස්තවාදියෙකු කර ඇති අයුරු වටහාගනු ඇත.

[embedyt] https://www.youtube.com/watch?v=4dd8rX5Dy_Q[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි