×

ෆයිසර් වැක්සිනය ට A+ වාර්තාවක් – දින 10කට පසු ප්‍රතිශක්තිය

ෆයිසර් වැක්සිනය, එසේත් නැතිනම්, Pfizer සහ BioNTech විසින් සාදන ලද කොරෝනාවෛරස වැක්සිනය කොවිඩ් 19ට එරෙහිව විශාල ආරක්ෂණයක් එහි ප්‍රථම මාත්‍රාව ලබාගෙන දින 10ක් ඇතුළත ලබා දෙන බව වාර්තා වේ.


පසුගිය අඟහරුවාදා එම වැක්සින උපදේශක කණ්ඩායම ඉදිරියේ පැවැති ආහාර හා ඖෂධ පරිපාලනයේ හමුවකදි ප්‍රකාශයට පත් වූ ලිපිගොනුවල මේ බව සඳහන් ය.

පිටු සියයකට වැඩි දත්ත විශ්ලේෂණ අන්තර්ගත මේ ලිපි ගොනුවල සදහන් වු ඉතා වැදගත් තොරතුරක් ලෙස මෙය සදහන් වේ. පසුගිය මාසයේ තම වැක්සිනයේ සාර්ථකත්ව ප්‍රතිශතය සති තුනක් අතර දෙන ලද මාත්‍රා දෙකෙන් පසු, සියයට අනූ පහක් වන බව Pfizer සහ BioNTech නිවේදනය කළේ ය. නව විශ්ලේෂණ පෙන්වා දෙන පරිදි ඉන් ලැබෙන ආරක්ෂණය ඊට වඩා ඉක්මණින් ලැබෙන බව කියැවේ.

තවදුරටත්, මෙම වැක්සිනය ස්වේච්ඡා සේවකයා ගේ වර්ගය, බර හෝ වයස නොතකා සාර්ථක ව ක්‍රියාත්මක විය. මෙහි අත්හදා බැලීම් මගින් වැක්සිනය නිසා සිදුවිය හැකි බරපතළ අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවිණි. කෙසේ නමුත් බොහෝ සහභාගීවන්නන් වේදනා, උණ තත්ත්වයන්ට ලක් වූ බවට වාර්තා තිබේ.

“මෙය වැක්සිනයකට ලබා දෙන A+ වාර්තාවක් හා සමානයි” යේල් සරසවියේ ප්‍රතිශක්ති විද්‍යාඥ අකිකො ඉවසකි කියයි.

ආහාර හා ඖෂධ පරිපාලනයේ උපදේශක මඩුල්ල මේ ලිපිගොනු සාකච්ඡාවට බඳුන් කොට Pfizer සහ BioNTech වැක්සිනය අනුමත කිරීමට රෙකමදාරුවක් සපයනවා ද යන්න පිළිබඳ ඡන්දයක් පවත්වනු ඇත.

Pfizer සහ BioNTech විසින් විශාල මට්ටමේ සායනික අත්හදා බැලීම් පසුගිය ජූලි මාසයේ ආරම්භ කළ අතර, ඊට එක්සත් ජනපදයේ, බ්‍රසීලයේ සහ ආජන්ටිනාවේ පුද්ගලයින් 44,000ක් සහභාගි වූහ. අඩකට වැක්සිනය හිමි වූ අතර අනෙක් අඩට ප්ලැසිබෝව හිමිවිය.

සාරාංශගත ලිපිගොනුවේ එක් වගුවකට අනුව පළමු මාත්‍රාවෙන් දින 10ක් ඇතුළද නව කොරෝනාවෛරස ආසාදිතයන් අඩුවන්නට පටන් ගත් අතර,ප්ලැසිබෝව ලබා දුන් කණ්ඩායමේ ආසාදිත ප්‍රමාණය කෙමෙන් වැඩිවන්නට ගත්තේ ය.

මෙම වැක්සිනයෙන් ලැබෙන ඉක්මන් ප්‍රතිඵල කොරොනාවෛරසය වැළදෙන පුද්ගලයන් ට පමණක් නොව රටෙහි පීඩනයට ලක් වූ රෝහල්වලට ද බලපානු ඇත්තේ දැඩි සත්කාර ඒකක වෙත ගලා යන රෝගීන් සංඛ්‍යාව අවම වීමෙනි.

දෙවන මාත්‍රාවකුත් අවශ්‍යයි

ප්‍රථම මාත්‍රාවෙන් ලැබෙන ඉක්මන් සහනය කෙසේ වෙතත්, එය කෙතරම් කාලයක් පවතිනවා ද යන්න පැහැදිලි නැත; මෙය දෙවැනි මාත්‍රාව ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. පෙර පවත්වන ලද අධ්‍යනයන් පෙන්වා දුන්නේ දෙවැනි මාත්‍රාව ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල, කල්පවතින සවියක් ලබා දෙන බවයි; මෙය බොහෝ වැක්සිනවල දකින්නට ලැබෙන්නකි.

පළමු මාත්‍රාවෙන් පසු වැක්සිනයේ සඵලතාව 52%ක් පමණ වන බව Pfizer වැක්සින සායන පර්‍යේෂණ සහ සංවර්ධන අංශයේ උප සභාපති වෛද්‍ය විලියම් සී. ගෲබර් පවසයි. දෙවැනි මාත්‍රාවෙන් පසු මෙය 95%දක්වා ඉහළ නගියි. “වැක්සින් මාත්‍රා දෙකක් උපරිම ආරක්ෂාව සපයයි” ඔහු කියයි.

බොහෝ විශේෂඥයන් මෙම වැක්සිනයෙන් එක් පුද්ගල කණ්ඩායමක් අනෙක් පුද්ගල කණ්ඩායමට වඩා ආරක්ෂා කෙරෙනු ඇතැයි අදහස් පළ කර සිටියත්, මෙම ලිපිගොනුවල එවැන්නක් සදහන් නොවේ. මේ වැක්සිනය කාන්තාවන්ට සහ පිරිමින්ට ඉහළ සඵලතාවක් පෙන්වන අතර සුදු ජාතික, කළු ජාතික සහ ලතින් ඇමරිකානු ජනතාව අතර ද එය ඉහළ අගයක් ගනියි. කොවිඩ් 19 වැළදීමට ඉහළ ඉඩක් ඇති ස්ථුලතාවයෙන් පෙළෙන්නන් අතර ද එය සාර්ථකව ක්‍රියා කරන බව කියැවේ.

වයස්ගත වූවන් තුළ දුර්වල ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක්

පළමු එන්නත ලබාදුන්නේ බ්‍රිතාන්‍යයේ 90 හැවිරිදි කාන්තාවක් හට ය.

වෙනත් රෝගවලට භාවිත කරන ඇතැම් වැක්සින වයස්ගත වැඩිහිටියන් තුළ දුර්වල ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇති කරයි. එහෙත් Pfizer සහ BioNTech සොයාගෙන ඇති පරිදි මෙම කොරෝනාවෛරස වැක්සිනය වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට ද ඊට වඩා වයසින් අඩු පුද්ගලයන්ට මෙන් ම ආරක්ෂණයක් සපයයි.

මේ වැක්සිනයට ආහාර සහ ඖෂධ පරිපාලනයේ අනුමැතිය ලැබුණද, අත්හදා බැලීම් දිගටම සිදු කෙරෙනු ඇත. සාරාංශගත ලිපිගොනුවලට අනුව සමාගම්, පුද්ගලයන්ට හැකිතාක් කාලයක් තමන්ට ලැබෙන්නේ වැක්සිනය ද ප්ලැසිබෝව ද නොදැන අත්හදා බැලීම් තුළ සිටින්නට උනන්දු කරවයි; මේ පර්‍යේෂකයන්ට වැක්සිනය ආරක්ෂිත ද, සඵලදායී ද යන්න පිළිබඳ තොරතුරු එකතු කරන්නට ය.

වැක්සිනයේ ආරක්ෂිතභාවය පිළිබද ද ගැඹුරු අධ්‍යයනයක් මේ සාරාංශගත ලිපිගොනු මගින් සපයයි. විශාල සායනගත අත්හදා බැලීමකදී, වැක්සිනය හේතුවෙන් නොවන සෞඛ්‍ය තත්ත්වයන් ඇතැමෙකුට ඇති වන්නට පිළිවන. ඔවුන් ගේ රෝග ලක්ෂණ ප්‍රතිශත, ප්ලැසිබෝ කණ්ඩායමේ රෝග ලක්ෂණ ප්‍රතිශත හා සසදා බැලීමෙන් සහ, ජනගහණයක පසුබිම් ප්‍රතිශත යම් රෝග ලක්ෂණයක් වැක්සිනය නිසා සිදුවිණි ද නැද්ද යන්න පිළිබද පෙන්වා දෙයි.

ආහාර සහ ඖෂධ පරිපාලනය පෙන්වා දෙන අන්දමට, එහි “අර්ථාන්විත අසමබරතා” නොමැත. වැක්සිනය ලබා ගත් කණ්ඩායමේ සිව් දෙනකු මුහුණේ ක්‍රියාශක්තිය නොමැති වීම (Bell’s palsy නමින් හඳුන්වන) අත්විදි අතර මේ තත්ත්වය ප්ලැසිබෝ කණ්ඩායමේ දක්නට ලැබුණේ නැත. කණ්ඩායම් දෙකේ මේ සම්බන්ධ වෙනස අර්ථාන්විත නොවූ අතර, වැක්සිනය ලබා දුන් කණ්ඩායමේ ප්‍රතිශතය සාමාන්‍ය ජනගණයේ ප්‍රතිශතයෙන් වෙනස් නැත.

දෙවන මාත්‍රාවෙන් පසු විවේක සුවය අවශ්‍යයි

නව Pfizer විශ්ලේෂණය පෙන්වා දෙන අන්දමට, දෙවැනි මාත්‍රාව ලබාගත් බොහෝ ස්වෙච්ඡා සේවකයෝ එය ලබාගෙන පැය කීපයක් ඇතුළත අසනීප තත්ත්වයන් අත්විඳි අතර මෙය දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් පසු පුද්ගලයන්ට විවේකීව සිටිය යුතු බව පෙන්වා දෙයි. වයස අවුරුදු 16ත් 55ත් පිරිසක් අතරින් අඩකට වඩා දැඩි වෙහෙස අත්විඳි අතර අඩකට වඩා හිසරුදාව ද අත්වින්දහ. ඉන් තුනෙන් එකක පිරිසක් සීතල බවක් අත්විඳි අතර 37%ක් පේශි වේදනාව අත්වින්දහ. වයස අවුරුදු 55න් ඉහළ පිරිසෙන් අඩක් පමණ දැඩි වෙහෙස ද, තුනෙන් එකක් හිසරුදාව ද, කාලක් පමණ සීතල බව ද, 29%ක් පේශි වේදනාව ද අත්වින්දෝය.

“දෙවැනි මාත්‍රාවෙන් පසු දිනක නිවාඩුවක් ලබා ගැනීම බලාපොරොත්තු විය හැකියි,” යැයි ආචාර්‍ය ඉවසකි කියයි.

වැක්සිනයේ අතුරු ආබාධ කෝවිඩ් රෝග ලක්ෂණවලට සමානයි

පසුගිය සඳුදා,මනෝවෛද්‍ය හෙදියක සහ කැලිෆෝනියා සරසවියේ සෞඛ්‍ය සේවා පර්‍යේෂිකාවක ද වන ක්‍රිස්ටෙන් චෝයි, තමා Pfizer-BioNTech අත්හදා බැලීමේ සහභාගි වී අත්විඳි රෝගලක්ෂණ සම්බන්ධ අත්දැකීම් සහිත වාර්තාවක් ප්‍රකාශයට පත් කළ අතර ඊට සීතල බව, ඔක්කාරය, හිසරුදාව සහ උණ ඇතුළත් විය.

“මේ වැක්සිනය විශ්වාස කළ යුත්තේ මන්ද යන්න සහ එහි අහිතකර ප්‍රතිඵල කොවිඩ් 19ට සමාන වීම පිළිබඳ රෝගීන් හා සාක්ච්ඡා කරන්නට සායනඥයන් සූදානම් ව සිටිය යුතු වේවි,” ආචාර්‍ය චෝයි ජර්නලයකට ලියුවා ය. මේ අප්‍රසන්න ලක්ෂණ “අවාසනාවන්ත ලෙස කොවිඩ් 19 රෝග ලක්ෂණවලට සමාන වුව ද, වැක්සිනය ක්‍රියාත්මක වන බව පෙන්වන ලකුණක් බව” වෛද්‍යවරුන් රෝගීන් හට පැවසිය යුතු බවට ද ඇය උපදෙස් ලබා දෙන්නීය.

මුල් ලිපිය – Pfizer’s Vaccine Offers Strong Protection After First Dose



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි