×

ෆේස්බුක් නැවතත්, පරිශීලකයන්ගේ ඡායාරූප මිලියන ගණනක් අනවසරයෙන් පාවිච්චි කරලා!

ලෝකයේ ප්‍රකටම සමාජ ජාලය බවට මේ වන විට පත්ව තිබෙන ෆේස්බුක්, නැවත වරක්, පරිශීලකයන්ගේ අවසරයකින් තොරව ඔවුන්ගේ පුද්ගලික ඡායාරූප මිලියන ගණනක් තුන්වන පාර්ශවයන් වෙත මුදා හැරී ඇති බව නිවේදනය කරයි.


ඔවුන් පවසන්නේ, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ සිදු වූ බවයි. ෆේස්බුක් හි ඉංජිනේරු අධ්‍යක්ෂ ටොම් බා විසින් මේ පිළිබඳ බ්ලොග් සටහනක් ලියමින්, ‘‘මේ සිදුවීම ගැන තමන් කණගාටු වන බව‘‘ පවසා තිබේ.

ඒ අනුව තුන්වන පාර්ශවයේ app developersලා වෙත, පරිශීලකයන් විසින් ප්‍රසිද්ධියේ බෙදා නොගත් (not have shared publicly) ඡායාරූප මිලියන ගණනක් ඔවුන් විසින් පරිහරණය කර තිබේ. ෆේස්බුක් සමාජ ජාලය විශ්වාස කරන්නේ, මේ අනුව පරිශීලකයන් 6.8 ක ගේ පමණ මෙවැනි ඡායාරූප ඔවුන් විසින් පාවිච්චි කරන්නට ඇති බවයි.

සැප්තැම්බර් මාසයේ දින 12 ක් මුළුල්ලේ මෙසේ සිදුවී ඇති බව ද අදාළ ෆේස්බුක් බ්ලොග් සටහනේ දැක්වේ.

ෆේස්බුක් සමාජ ජාලය යුරෝපියානු රටවල් තුළ යුරෝපා රෙගුලාසි අනුව ක්‍රියා කරන්නේද යන්න අධීක්ෂණය කරන්නේ අයිරිෂ් දත්ත ආරක්ෂණ කොමිෂන් සභාව (Irish Data Protection Commission) විසිනි. ඔවුන් ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙවැනි සිදුවීම් ගණනාවක් මේ වර්ෂය තුළ වාර්තා වූ හෙයින්, නවතම සිදුවීම සම්බන්ධයෙන් ‘ව්‍යවස්ථාපිත පරීක්ෂණයක්‘ සිදුකිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

සැප්තැම්බර් මස හටගත් මෙම සිදුවීම පිළිබඳ මහජනයාට දැනුම්දීමට මෙතරම් කාලයක් ගත්තේ මන්දැයි CNN පුවත්සේවය විසින් ප්‍රශ්න කළ අවස්ථාවේදී ෆේස්බුක් ප්‍රකාශකයෙකු පවසා තිබෙන්නේ මෙය දැනගත් මොහොතේ පටන් තමන් මේ ගැන විමර්ශනය කළ බවයි.

ෆේස්බුක් ඇතුළු සමාජ ජාලයන්ගේ තිබෙන වැදගත්ම ලක්ෂණය වන්නේ එහි අන්තර්ගතය එය භාවිතා කරන පරිශීලකයන් විසින්ම නිර්මාණය කිරීමයි. මෙම අන්තර්ගතයන්, පරිශීලකයන්ගේ පූර්ව අනුමැතියකින් හෝ අවසරයකින් තොරව තුන්වැනි පාර්ශවයන් හට භාවිතා කළ හැකිද යන්න පිළිබඳ තවමත් පවතින්නේ විවාදයකි.

මෙම ගැටළුව ලෝක පරිමාණ ප්‍රශ්නයක් බවට පත්වූයේ 2018 වසර මුල භාගයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීමත් සමග ය. එහිදී කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමේ දත්ත විද්‍යාඥයෙක් සඳහන් කර සිටියේ වසර කිහිපයකට පෙර, එනම් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරණයට මුහුණ දෙමින් සිටියදී තමන් විසින් මිලියන ගණනක් වූ ඇමරිකානු ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත, අනවසරයෙන් පාවිච්චි කළ බවයි.

මේ අතර, නවතම සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පවසන්නේ, පරිගණක යෙදවුම් නිර්මාණකරුවන් (ඇප් ඩිවලොපර්ස්) 867 දෙනෙකු විසින් නිර්මාණය කළ පරිගණක යෙදවුම් 1500 ක් සඳහා ෆේස්බුක් ඡායාරූප මිලියන ගණනක් යොදාගෙන ඇතැයි හෙළි වී තිබෙන බවයි.

ඒ අනුව එම තාක්ෂණික බලපෑමට නතු වූ ඡායාරූප සම්බන්ධයෙන් එක් එක් පරිශීලකයා දැනුවත් කිරීමට ෆේස්බුක්, ඉදිරියේදී බලාපොරොත්තු වෙයි.

ප්‍රධාන ඡායාරූපය – KBZK.com

ෆේස්බුක් ගැන පෙර ලිපි මෙතැනින්…

ෆේස්බුක් එකේ දැරියක් වෙන්දේසි කරලා..

ෆේස්බුක් කොටස් මිල කඩා වැටෙයි. බිලියන ගණනක පාඩුවක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි