×

යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී යැයි සැකකෙරෙන දේශපාලන පක්ෂ 11ක් අත්හිටුවයි!

යුක්රේනයේ රුසියාවට පක්ෂපාතී යැයි සැකකෙරෙන දේශපාලන පක්ෂ 11ක අත්හිටුවීමට යුක්රේන ජනපතී වොලොදිමිර් සෙලෙන්ස්කි කටයුතු කර තිබේ. 


මෙම තීරණය ගෙන තිබෙන්නේ යුක්රේනයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ය.

මෙම පක්ෂ 11 අතුරින් 10ක් ම කුඩා දේශපාලන පක්ෂ වන අතර, ඔපොසිෂන් ප්ලැට්ෆෝම් ෆෝ ලයිෆ් නම් රුසියාවට සෘජු සබඳතා ඇති බවට විශ්වාස කෙරෙන දේශපාලන පක්ෂය යුක්රේන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 450 න් 44 ම දරනු ලබයි.

මේ අතර, යුක්රේනයේ සියලු පෞද්ගලික රූපවාහිනී මාධ්‍යවල ක්‍රියාකාරීත්වය අවසාන කරමින් සියලුම ජාතික රූපවාහිනී නාලිකා රජය විසින් පවත්වාගෙන යනු ලබන තනි සේවාවක් බවට ඒකාබද්ධ කිරීමට ද සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඔපොසිෂන් ප්ලැට්ෆෝම් ෆෝ ලයිෆ් නම් යුක්රේන දේශපාලන පක්ෂයේ නායක වික්ටර් මෙඩ්වෙඩ්චක් රුසියාව සමඟ පවත්වන සබඳතාව කොපමණ ශක්තිමත් ද කිවහොත් සිය දියණියගේ දේවපියාණන් (ගොඩ්ෆාදර්) ලෙස නම් කර තිබෙන්නේ ද රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වික්ටර් දේශද්‍රෝහී චෝදනා මත නිවාස අඩස්සියේ තැබීමට ඉකුත් වසරේ නියෝග කළ අතර, මෙම සිදුවීම රුසියාව කුපිත කිරීමට එක් හේතුවක් වූ බවටයි ඩේලි මේල් පුවත්පත වාර්තා කරන්නේ.

කෙසේවෙතත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ වික්ටර් තම නිවාස අඩස්සියෙන් පලා යාමට සමත්ව තිබේ. ඔහු දැනට වාසය කරන්නේ කොහේද යන්න පිළිබඳව තොරතුරක් නොමැත.

රුසියාවට පක්ෂපාතී යැයි විශ්වාස කෙරෙන මෙම දේශපාලන පක්ෂ රුසියානු ආක්‍රමණිකයන්ට සහාය දක්වන බවයි යුක්රේන ජනපති සෙලෙන්ස්කි චෝදනා කරන්නේ.

මෙලෙස අසාධුලේඛනය කළ දේශපාලන පක්ෂ 11 ට පනවා ඇති තහනම යුක්රේනයේ යුධ නීතිය ඉවත්කරන තුරුම බලපැවැත්වෙනු ඇති බව හෙතෙම අවධාරණය කළේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි