×

මහා පරිමාණයෙන් පාසල් සිසුන් පැහැර ගන්නා නයිජීරියාවේ සන්නද්ධ කප්පම් කල්ලි

නයිජීරියාවේ කඩූනා ප්‍රාන්තයේ පාසල් සිසුන් 140 දෙනෙක් පමණ පැහැර ගැනීමට සහ අතුරුදන් වීමට ලක් ව තිබේ.


මෙය, වයඹදිග නයිජීරියාවෙන් ගතවූ මාස 6 තුළ වාර්තා වන දසවන – මහා පරිමාණ සිසුන් පැහැර ගැනීමයි.

පොලිස් වාර්තාවලට අනුව පැහැර ගැනීමට ලක්ව තිබෙන්නේ කඩූනා ප්‍රාන්තයේ බෙතෙල් බැප්ටිස්ට් පාසලේ සිසුන් පිරිසකි. රාත්‍රියේදී ඔවුන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාරය වෙත සන්නද්ධ කල්ලියක් පැමිණ වෙඩි තැබීම ආරම්භ කර තිබේ.

සිද්ධියට මුහුණ දී දිවි ගළවා ගැනීමට සමත්වූවන්ට අනුව මෙම සන්නද්ධ කප්පම් කල්ලිය පාසලේ ආරක්ෂක ගේට්ටුවලට පහර දෙමින් විශාල සංඛ්‍යාවකින් යුතුව පාසල් හා නේවාසික පරිශ්‍රයට ඇතුළු වී සිසුන් කැලයට ඇදගෙන ගොස් තිබේ. සිසුන් 25 දෙනෙක් පමණ පළා ඒමට සමත් වී ඇති අතර, පොලිස් පරීක්ෂණ දැනට ක්‍රියාත්මක ය.

මෙම සිදුවීමට ලක් ව සිටින්නේ විභාගවලට මුහුණ දීමේ අපේක්ෂාවෙන් සිටි සිසුන් 180 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමකි.

2021 මාර්තු මාසයේදී පැහැරගෙන නිදහස් කර ගත් නයිජීිරියානු සිසුන් පිරිසක් REUTERS/Afolabi Sotunde

දැවැන්ත ප්‍රශ්නයක්

පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා සිසුන් 1000 කට අධික පිරිසක් මේ අන්දමින් පැහැර ගැනීමට ලක් ව තිබේ. ඒ අතරින් 150 දෙනෙකු අද වන විටත් අතුරුදන් ය.

‘හොරුන්‘ ලෙස ප්‍රකටව ඇති මෙම කප්පම් කල්ලි, පැහැර ගැනීම්වලින් අනතුරුව සිදුකරන්නේ වින්දිතයන් නිදහස් කිරීම සඳහා මුදල් ඉල්ලා සිටීමයි. පසුගිය ඉරිදා වාර්තා වූයේ වයස අවුරුද්දක දරුවෙකු ද කටූනා ප්‍රාන්තයේ රෝහලකින් මේ අන්දමින් පැහැරගෙන ඇති බවයි.

 

2021 පෙබරවාරි මාසයේදී කප්පම් ක ල්ලි වෙතින් නිදහස් කර ගත් පාසල් සිසුවියන් පිරිසක් EPA-EFE/STR

බොකෝ හරාම් ත්‍රස්තවාදීන් ගේ මුල පිරීමක්

පාසල් සිසුන් පැහැරගෙන යාම මුලින් වාර්තා වූයේ නයිජීරියාවේ බටහිර අප්‍රිකානු ඉස්ලාමීය රාජ්‍ය ප්‍රාන්තයෙන් බොකෝහරාම් ත්‍රස්ත කල්ලිය විසිනි. 2014 වසරේදී ඔවුන් විසින් චිබොක් හි අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියන් 270 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය ලෝක ප්‍රකට විය. එයින් 100 දෙනෙකු පමණ අද දක්වා ද ආපසු පැමිණ නැති අතර, මෙම යුවතියන් දූෂණයට ලක් කරන බවට ද වාර්තා තිබිණි.

නමුත් මේ වන විට ඔවුන් විසින් යොදාගත් ක්‍රමවේදයන් සෙසු සන්නද්ධ කල්ලි විසින් වෙනස්කම් සහිතව අනුගමනය කරමින් තිබේ. නයිජීරියානු විචාරකයන්ට අනුව මේ වන විට එය සන්නද්ධ කල්ලි විසින් ‘ලාභ ලබන කර්මාන්තයක්‘ බවට පත් කර ගෙන ඇත.

මුදල් මෙන්ම වාහන ද සිසුන් නිදහස් කිරීම සඳහා කප්පම්කරුවන් විසින් ඉල්ලා සිටිනු ලබයි. මෙය මේ දක්වාම සිදුකිරීමට සිදුවී තිබෙන්නේ පාසල් සිසුන් නිදහස් කර ගැනීම සඳහා රාජ්‍ය වගකීමක් ද පවතින හෙයිනි. කෙසේ නමුත් පෙබරවාරියේදී නයිජීරියානු ජනපති මුහම්මදු බුහාරි පවසා තිබෙන්නේ මුදල් හා වාහන ලබාදී කප්පම්කරුවන්ගෙන් පාසල් සිසුන් මුදා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙස ය.

Sky News

 

යුද්ධයෙන් බිඳී ගිය දේශවල ජනතාවට එම මානසිකත්වයෙන් මිදීමට අපහසු ය. ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ ලේ වලම කොටසක් බවට කාලයත් සමග පත් වේ. මේ සිද්ධිය දශක ගණන් පවතින යුද්ධ අත්දුටු කොයි රටට වුවත් පොදු ය. අවසානයේ ප්‍රචණ්ඩත්වයම මුදල් ඉපයීමේ මාර්ගය බවට පත් කර ගැනීමට ද ඔවුහු පෙළඹෙති. කෙසේ නමුත් අවසානයේ මෙම දූෂිත අපරාධ දාමයේ ගොදුරු බවට පත් වන්නේ ශක්තියෙන් අඩු සිසුන්, කාන්තාවන්, දරුවන් වැනි අහිංසක ජීවිත ය. නයිජීරියාව වැනි රටවලට ශිෂ්ට සම්පන්න බවේ අරුණළු දැකීමට කවදා හැකි වේ ද යන්න පවා මේ අනුව අවිනිශ්චිත ය.

Main Image: Getty Image



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි