×

හතර දෙනා එකට එල්ලන්න අලුත් පෝරකයක් – ‘නිර්භයා‘ දිල්ලි ස්ත්‍රී දූෂණ- ඝාතන නඩුව

‘නිර්භයා සමූහ දූෂණය‘ නමින් ප්‍රකට වූ, 2012 වසරේ දිල්ලියේ ධාවනය වන බස් රියකදී වෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කර මරාදැමූ සිද්ධියේ තරුණයන් සිව් දෙනා ට මරණ දණ්ඩනය එකවිට ක්‍රියාත්මක කිරීමට නියමිත ය.


ඒ වෙනුවෙන් දිල්ලියේ තිහාර් බන්ධනාගාරය අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටියි.

ඔවුන් පවසන්නේ මේ වරදකරුවන් සිව් දෙනා එකවිට එල්ලා මරා දැමීම සඳහා අලුත් පෝරකයක් සකස් කළ බවයි.

ඉන්දියාවේ එකම අවස්ථාවේ සිව් දෙනෙකු පෝරකයට යවන පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වනු ඇත.

ඔවුන් සිර දඬුවම් විඳිමින් සිටින තිහාර් බන්ධනාගාරයේ අළුගෝසුවෙකු නොමැති බැවින් නිලධාරීන් වෙනත් බන්ධනාගාරයකින් අළුගෝසුවෙකු ගෙන්වා ගැනීමට නියමිත ය. කියවන්න – Nirbhaya rape case: Tihar jail hunts for hangman

ජනවාරි 7 වැනිදා, ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව ලෙස, ඔවුන් වෙනුවෙන් ගොනු කළ අවසන් පෙත්සම විනිසුරුතුමාගේ කුටියේදී විභාගයට ගැනෙනු ඇත. කෙසේ නමුත් පෙර අවස්ථා ගණනාවේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවා ඔවුන්ගේ ප්‍රතිශෝධන ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. මේ වරදකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙක් බාලවයස්කරුවෙක් බවට පවසමින් කරනු ලැබූ ඉල්ලීම ද මෙයට සති දෙකකට පෙර අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. මේ අනුව, පෝරකය සූදානම් කිරීමේ කටයුතු තවත් ප්‍රමාද කිරීමෙන් පලක් නොමැති බව දිල්ලි බන්ධනාගාරය පවසයි.

2012 දෙසැම්බර් 16 වැනිදාට එළිවන රාත්‍රියේ සිය පෙම්වතා සමග යමින් සිටියදී මේ පරිපුරක වෛද්‍ය ශිෂ්‍යාව අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර ගමන් ගනිමින් තිබූ බස් රියෙන් පිටතට විසි කර දමනු ලැබුවේ මාරක තුවාළ සහිතව ය.

ලොව පුරා මේ සිදුවීම මහත් ආන්දෝලනයක් ඇති කළ හෙයින්, ගුවන් මගින් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල වෙත ගෙනැවිත් සිටි ඇය, 2012 දෙසැම්බර් 29 වැනිදා ලොවක් හඬවමින් අවසන් ගමන් ගියාය.

පසුගිය මාසයේ ලෝකය සසල කළේ උන්නාපෝ හි පශුවෛද්‍ය ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කර පුළුස්සා මරා දැමූ නිසා ය. මේ වන විට ඉන්දියාවෙන් දූෂණයට ලක් කර පුළුස්සා දැමීම හෝ දූෂණයට ලක් කිරීමට ඉඩ නොදුන් විට මරා පුළුස්සා දැමීම පිළිබඳ සිදුවීම් දිනපතා වාර්තා වෙයි. ඇතැම් ප්‍රාන්තවල ස්ත්‍රී දූෂණ නඩු මාස 6 ක් ඇතුළත අසා නිම කර මරණ දණ්ඩනය ලබාදෙන අවස්ථා ද වාර්තා වේ.

නමුත් මේ කිසිවකින්, ඉන්දීය සමාජ දේහයේ පිළිකාවක් බවට පත්ව තිබෙන ස්ත්‍රී දූෂණ අඩු කළ හැකි වේද? මෙහිදී අප ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නය එයයි.

පෙර ලිපි

සමූහ දූෂණයට ලක් කර පුළුස්සා දැමූ තවත් ඉන්දියානු තරුණියක් මරුට

උන් මගේ දුවට දිගටම තර්ජනය කළා. පොලිසිය මොකුත්ම කළේ නෑ – සමූහ දූෂණයට ලක්වූ තරුණියගේ පියා

සමාජයක් ලෙස අපි අසමත් – ප්‍රියංකා ගාන්ධි

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි