×

දේශගුණික හදිසි තත්ව – climate emergency නිසා මරණ වරෙන්තුව අතැතිව එංගලන්තයේ මධුසමයට එන සුන්දර අසරණයෝ

මේ දිනවල එංගලන්තයේ සමර්සෙට් අසලදී එළදෙනුන්ගේ පිටේ තරාදි සේ වැනෙමින් සමතුලිත වන්නට වෙර දරන රාජාලි කොකුන්ද, මිනිස් අතක් තරම් විශාල වෛවර්ණ සළබයන්ද, අහස යට පියාසළන මීමැස්සන් දඩයම් කරන මහේශාක්‍ය උකුස්සන් ද දැකගත හැකිය.


මේ හැම කෙනෙක්ම පාරිසරික අර්බුදයෙන් බැට කන අසරණ අමුත්තන් ය. උතුරුකරයට ඇදී යන අවතැන් වූ සංක්‍රමණිකයන් ය. එනිසා මේ අනපේක්ෂිත ආගමිකයන්ගේ හැඩ බලමින් අප සිත් සනසා ගත යුතු නොවේ. මේ සංක්‍රමණික විශේෂ, ඉදිරියේදී එළඹෙන පාරිසරික විපතක කණාමැදිරියෝ වෙති.

මෙය තවත් පැහැදිලි කර ගනිමු. සමර්සෙට් අසල පිහිටා ඇති ඇවලොන් වගුරුබිමට, උස සහ මහේශාක්‍ය සුදු රාජාලි කොකුන් මෙයට වසර කිහිපයකට පෙර මුලින්ම පැමිණියේ ප්‍රංශයෙනි. උන් එකල දුර්ලභ දසුනක් විය. නමුත් දැන්, ඔවුන් එහි සුලබ ය. එපමණක් නොව, මේ වන විට ගොවිපොළ අභය භූමියක් වන කැට්කොට් ලෝස් හිදී අප අප්‍රිකාවේදී පමණක් දකින එග්රෙට් වර්ගයේ රාජාලි උප විශේෂ ද දැකගත හැකි වේ. වගුරු බිමේ පදිංචි වී ඇති උන්, පසුගිය සමයේදී කැදලි තනා පවුල් බිහි කර ඇති බවද පැහැදිලි ය.

Mike Read-Alamy

Mike Read-Alamy

දිගු වලිග සහිත මේ නිල් සමනළයන් (blues) අගෝස්තු මාසයේ බ්‍රිතාන්‍යයේ දකුණුදිග වෙරළ පුරා දැකගත හැකිය. උන් කෝර්න්වෙල් සිට කෙන්ට් දක්වා සියලුම පළාත් ආක්‍රමණය කළේ පසුගිය අගෝස්තුවේදී ය. හැම පියාපතකින්ම අසාමාන්‍ය වල්ග පොඩියක් එළියට දිස්වන සේ පිහිටා ඇති නිල් සමනළුන් ද අනාරාධිත, අවතැන් වූ සංක්‍රමණිකයන් ය.

Neil Hulme- Butterfly Conservation

Neil Hulme- Butterfly Conservation

මේ අතර, පියාපත් විදහා ගත් විට සෙන්ටිමීටර 12 ක් පමණ වන අති දැවැන්ත සලබ විශේෂයක් ද දැකගත හැකි වේ. උන් වරක් සඳහන් වූයේ බ්‍රිතාන්‍යය තුළින් වඳ වී යමින් සිටින බව ය. නමුත් මේ ගිම්හානයේ, වසර ගණනාවකට පසු Clifden nonpareil නම් උන්, දකුණු දිග එංගලන්තය සහ වේල්සය පුරා පැතිරී සිටිති. උන්ගේ සහෝදරයෙක් වන හමින්ග්බර්ග්ඩ් හෝක්මොත් සබලයාද මේ වසරේ විපුල ලෙස දැකගත හැකිය.

මේ සියලුම දෙනාට වඩා අසාමාන්‍ය පෙනුමක් තිබෙන්නේ හිස් කබලක් සැකිළි පිටේ ගසාගෙන ඇති death’s-head hawkmoth සබලයා ය. The Silence of the Lambs නවකතාව සහ චිත්‍රපටය නිසා ප්‍රකට වූ, වඩාත් නිවැරදිව කියන්නේ නම් කුප්‍රකට වූ මේ සබලයන් සමරේසෙට් හි ගම්මාන පුරා පැතිර සිටින්නේ අසාමාන්‍ය ලෙස ය. උහු බිරාන්ත කරවනසුලු හඬකින් නිතර කෑ ගාති.

David Chapman-Alamy

David Chapman-Alamy

දේශගුණික විපර්යාස, වඩාත් නිවැරදිව කියන්නේ නම් ‘දේශගුණික හදිසි තත්වයන්‘- climate emergency හඟවමින් පැමිණ තිබෙන්නේ මේ අමුත්තන් පමණක් නොවේ. බොහෝ නේවාසික කුරුළු විශේෂ ද ගණනින් ඉහළ යමින් තිබේ. blackcap සහ chiffchaff වර්ගයේ කෙටි දුර සංක්‍රමණියෝ ඒ අතර වෙති. මේ කුඩා ගී කියන පක්ෂීන් දැන් බ්‍රිතාන්‍යය හාත්පස පැතිරී සිටිති. නමුත් දේශගුණික හදිසි තත්වයක් නොපැමිණිායේ නම් ඔවුන් මේ කාලයට සිටිය යුතු වූයේ ස්පාඤ්ඤයේ සහ උතුරු අප්‍රිකාවේ ය. බ්‍රිතාන්‍යයේ අසාමාන්‍ය ලෙස උණුසුම් ශීත සෘතුව සහ කෘමි ආහාර බහුල වීම නිසා උහු මෙහි පැමිණ සිටිති.

වොල්ටෙයාර්ගේ සුප්‍රසිද්ධ සහ උත්ප්‍රාසයෙන් යුතු කියමන අනුව, හැම දේම වෙන්නේ හොඳට යැයි දැන් අප හිත හදා ගත යුතුද? 1990 තරම් ඈත කාලයේදී ජර්මානු පක්ෂි විශේෂඥයෙක් සහ සංක්‍රමණික පක්ෂීන් ගැන විද්වතෙකු වන පීටර් බෙත්හෝල්ඩ් අනතුරු අඟවා සිටියේ, මූලික උණුසුම් කාල පරිච්ඡේදයේදී බොහෝ පක්ෂි විශේෂ එයින් ඵල ලැබුවත්, එය ඔවුන්ගේ මධුසමය පමණක් වනු ඇති බවයි. මධුසමය ඉක්මනින්ම අවසන් වනු ඇත. ඉදිරියේ තිබෙන්නේ කටුක යථාර්ථයයි. උණුසුම් ශීත සෘතුව, ගිම්හානය සහ වසන්තයේදී ඔවුන් සිය සංඛ්‍යාව බෙහෙවින් වැඩි කරගන්නවා ඇත. නමුත් ලබන වසරේදී…? උන්ගේ ජීවිත අවිනිශ්චිත ය. මේ වන විට දේශගුණික රටාවන් සීඝ්‍රෙයන් වෙනස් වෙමින් පවතින නිසා, ඉදිරියේදී මෙයින් උන්ගේ ජෛව පද්ධතිවල සමතුලිතතාවය බිඳ වැටීමට බෙහෙවින්ම ඉඩ කඩ තිබේ. අනපේක්ෂිත නියං, කුණාටු සහ ගංවතුර තත්වයන් යටතේ උන් වඳ වී යාමට පටන් ගනු ඇත. උන්ගේ මේ ගහණ කඩා වැටීම තීව්‍ර කරනු ඇත්තේ පරපෝෂිතයන් සහ උණුසුම් දේශගුණයන්හිදී දළු දමන රෝග පීඩා හේතුවෙනි.

“the shopping mall effect”

සීඝ්‍රෙයන් සිදුවන කාලගුණික වෙනස්වීම් ඇතැම් සත්ව විශේෂවලට දැඩි බලපෑමක් ඇති කරනු නියත ය. පසුගිය දිනෙක විකාශය වූ බීබීසී Radio 4 වැඩසටහන් මාලාවේ ‘ද ලයිෆ් සයන්ටිස්ට්‘ වැඩසටහනේදී සාන්ත ඇන්ඩෘෘස් සරසවියේ මහාචාර්ය ඈන් මගුරාන් කතා කළේ “the shopping mall effect” ගැන ය. මේ දිනවල ලෝකයේ කොහේ ඔබ ගියත්, ලන්ඩනයේ සිට ලොස්ඇන්ජලීස් නුවරට හෝ මැඩ්රිඩ් නුවර සිට මෙල්බන් දක්වා ගියත් ලෝකයේ පිළිගත් වෙළඳ සන්නාමවල ශාඛා දැකගත හැකිය. මේ අන්දමින්ම පාරිසරික පීඩනය හමුවේ මේ සත්තු ද සිය භූගෝලීය අනන්‍යතාවය අත්හැර දමමින් සිටිති. මේ තත්වයට ගොදුරු වන්නන් අතර පියාපත් දරන්නන් (පක්ෂීන්, සබලයන් සහ සමනළයන් ආදී) ප්‍රමුඛ වන්නේ උන්ට අහසින් සංක්‍රමණය විය හැකි නිසා ය. මේ අනුව නොනැසී පැවතීමේ හැකියාව ලැබෙනු ඇත්තේ එසේ සංක්‍රමණය වෙමින් නව පරිසර තත්වය වලට විකරණය විය හැකි ශාක හා සත්ව විශේෂවලට පමණි. සෙස්සන් සහමුලින්ම වඳ වී, ක්ෂීණ වී යනු ඇත. සංක්‍රමණය වූ අසරණයන් ද ගහණ ගණත්වය වැඩිවීම සහ පාරිසරික හදිසි තත්වයන් හමුවේ සිය මරණ වරෙන්තු තවදුරටත් ලියාගනු ඇත.

ශීත සෘතුවේ සුදුපාටට හැරෙන එකම බ්‍රිතාන්‍ය පක්ෂියා

Christoph Ruisz-Alamy

Christoph Ruisz-Alamy

ශීත සෘතුවේදී සුදු පාටට හැරෙන එකම බ්‍රිතාන්‍ය පක්ෂියා ටාරමිගන් (ptarmigan) ය. ආක්ටික්-ඇල්පයින් බියෝමයට අයත් කයින්ගෝර්න් තැනිතලාවේ මේ පක්ෂීන් සුබලව සිටියහ. 19 වන සියවසේදී උන් උතුරු දිග බ්‍රිතාන්‍යය පුරාම දැකගත හැකි විය. නමුත් අද වන විට උන් නොනැසී සිටිනු දැකගත හැක්කේ බ්‍රිතාන්‍ය කඳුකරයේ පමණි. එය ද පක්ෂි ජෝඩු සිය ගණනකට පමණක් සීමා වී ඇති තත්වයකි. සංචාරකයන් විසින් දමන කැළි කසළ වෙත ආකර්ෂණය වන කපුටන් ටාරමිගන් පක්ෂීන්ගේ බිත්තර සහ පැටවුන් කා දැමීම වැනි හේතු මත උන් වඳ වී ගොසිනි. නමුත් මේ වඳ වී යාමට දිගු කාලීන හේතුව ලෙස සොයාගෙන ඇත්තේ දේශගුණික විපර්යාසයයි. උන්ගේ නිකේතන සහ ආහාර සැපයුම් මේ වන විට සීඝ්‍රයෙන් විනාශ වෙමින් යයි. දැනටමත් මේ සුන්දර, අතිශය විකරණය වූ පක්ෂියාට ‘දේශගුණික හදිසි තත්වයක්‘ උදා වී තිබේ. උෂ්ණත්වය වැඩි වීමත් සමග උහු වේගයෙන් වඳ වී යමින් සිටිති.

මේ ලිපියේ රචකයා වෙනත් රටවලින් බ්‍රිතාන්‍යයට පැමිණෙන මේ අමුත්තන් හඳුන්වන්නේ ‘පුරෝගාමී ජනපදිකයන්‘(pioneering colonists) යනුවෙනි. නමුත් ‘දේශගුණික හදිසි තත්වය‘ නමැති සංසිද්ධිය හමුවේ උන්ට සැමරීමට දෙයක් ඉතිරි වේදැයි ඔහු සැක-බිය පළ කරයි. සැබවින්ම අප මුහුණ දී තිබෙන්නේ new age of extinction හෙවත් ‘වඳ වී යාමේ නව යුගය‘කට ය.

• ස්ටීවන් මොස් Stephen Moss විසින් ගාඩියන් පුවත්පතට ලියූ The age of extinction- A warm welcome? The wildlife visitors warning of climate disaster ලිපියේ අනුවාදයකි. ස්ටීවන් මොස් සමර්සෙට් හි ජීවත් වන ස්වභාව විද්‍යාඥයෙක් සහ ලේඛකයෙකි. ඔහු සමර්සෙට් වනජීවී භාරයේ සභාපතිවරයා ද වේ.

පසු සටහන

ශ්‍රී ලංකාව මේ වන විට ආසියාවේ වැඩිම ජෛව විවිධත්වයක් සහිත රට වශයෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වී තිබේ.
Wildlife Tourism -වයිල්ඩ්ලයිෆ් ටුවරිසම් හෙවත් ‘වනජීවී සංචාරක කර්මාන්තය‘ දැන් වැඩි වැඩියෙන් රටේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත් වෙමින් තිබේ. සැබවින්ම මේ ලිපියේ සඳහන් කරුණුවලටත් වඩා අපේ රටේ පර්යේෂකයන්ට අවශ්‍ය නම්, ජෛව විවිධත්වය පාරිසරික හදිසි තත්වයට මුහුණ දී ඇති අන්දම ගැන සාකච්ඡාවක් ඇති කළ හැකිය. නමුත් පෙනී යන හැටියට, අපේ රට තවමත් මේ මාතෘකාව සම්බන්ධයෙන් ඇහැරී නැත!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි