ඔස්ට්‍රේලියානු ලැව් ගිනි – තවමත් ඇවිළෙන කැන්ගරු දූපතේ මරණය (ඡායාරූප)
1802 වසරේදී ඔස්ට්‍රේලියාව නමැති මහාද්වීපය සොයාගත් ඉංග්‍රීසි දේශාටක මැතිව් ෆ්ලින්ඩර්ස් (Matthew Flinders) සහ ඔහුගේ කණ්ඩායම, එක්තරා දූපතක සිටි කැන්ගරුවන් 31 දෙනෙකුව මරා දැමූහ.

තස්මේනියාව සහ මෙල්විල්වලට පමණක් දෙවැනි වෙමින් ඔස්ට්‍රේලියාවේ තෙවැනි විශාලතම දූපත වන එයට, මේ සිදුවීම සිහිපත් වන්නට ‘කැන්ගරු දූපත‘ යැයි නම තැබිණි. එය ජෛව විවිධත්වයෙන් අනූන පාරාදීසයක් විය. වසර දහස් ගණකට පෙර ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමෙන් වෙන් වී, තමන්ටම උරුම ජෛව විවිධත්වයකින් පොහොසත්ව පැවතියේය.
නමුත් ඔස්ට්‍රේලියාව වසා පැතිරගෙන ඇවිළ ගිය මහා ලැව්ගින්නෙන් පසු අද වන විට ඒ කැන්ගරු දූපත දිස්වන්නේ මේ ආකාරයට ය. මේ, වනජීවී සංරක්ෂකයන් විසින් කැන්ගරු දූපතේ පණ ගැහෙන ජීවීන් තවත් ඉතිරිව සිටියිදැයි සොයමින් පිළිස්සු තුරු අතරින් ඇවිද යන අන්දමයි.

GETTY IMAGES
‘‘සුළං අතිශය සැරයි. හදිසියේ ඔබට ගස් අතරින් දිලිසීමක් පෙනෙනවා. එය තවමත් නිවුණේ නැති ලැව් ගින්නේ (බුෂ් ෆයර්ස්) වල කොටසක් බව මොහොතකින් වැටහී යනවා..‘‘ එසේ පවසන්නේ කැන්ගරු දූපතේ වනජීවී උද්‍යානය පවත්වාගෙන යන සෑම් ය. ලැව් ගින්න පැතිර යද්දී ඔවුන්ට ඉවත් වීමේ අනතුරු ඇඟවීම ලැබිණි. ‘‘විනාඩි 20 ක් ඇතුළත සියලුම දෙනා ආරක්ෂිත ස්ථාන කරා යන්න..‘‘
නමුත් සෑම් සහ තවත් 4 දෙනෙක් කැන්ගරු දූපතේ නතර වූහ. ‘‘වෝටර් බෆලෝ, පැස්බරු, කැසොවාරි වගේ සත්තු 800 ක් දාලා අපි මෙතැනින් යන්නෙ කොහොමද? අපිට යන්න පුළුවන්. නමුත් ඒ සත්තු?“

සතියක් ඇතුළත ඇවිළුණු දෙවැනි දැවැන්තම ගිනිජාලාවට කැන්ගරු දූපත ගොදුරු වුණේ ජනවාරි 9 වැනිදා ය. ජනවාරි 4 වැනිදා කැන්ගරු දූපත්වාසීන් දෙදෙනෙක් ගින්නට බිලි ව තිබිණි. බලධාරීන් පවසන්නේ කැන්ගරු දූපත බලා දිවෙන අධිවේගී මාර්ගයේදී ඔවුන් මේ ඉරණමට මුහුණ පාන්නට ඇති බවයි.

ඇස් අදහාගත නොහැකි විනාශයක්
මහා තුරුවල කඳන් අතර තවමත් ගිනි පුළිඟු සිර වී තිබේ. මරණයෙන් සහ විනාශයෙන් ගැළවී ගන්නට කැන්ගරු දූපතට නොහැකි වූ හැටි පෙනුණේ ගින්න සෙමෙන් නිවී යන්නට පටන් ගත් පසුව ය.
අවම වශයෙන් කෝලා වලසුන් සහ කැන්ගරුවන්ගේ අඟුරු වූ සහ පිළිස්සු මළ කඳන් දුසිමක් පමණ දූපතේ තැනින් තැන වැතිර තිබුණේය.
පාරිසරික විපත අවම කිරීම සඳහා කැන්ගරු දූපතට හමුදාව කැඳවුණේය. ඔවුහු, ගින්නට හසුවී මළ බැටළුවන් සහ ගවයන් දහස් ගණනක්, අගල් සාරා වළ දැම්මහ.


කැන්ගරු දූපතේ බටහිර පෙදෙසේ පිහිටි හැරිසන් බේ හි මේ මොහොත වන විටද ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හමුදා භටයෝ සිය ගණනක් වන කෝලා වලසුන්, කැන්ගරුවන්, වොලබීස් සහ පක්ෂීන්ගේ වළ දැමීමේ යෙදී සිටිති.
මුහුද පවා ගිනි ගනියි!
ඔස්ට්‍රේලියානු ලැව්ගිනි හේතුවෙන් බිලියන භාගයක වන ජීවීන් මරණයට පත් වූ බව වාර්තා විය. මේ අතර, කැන්ගරු දූපත ඔස්ට්‍රේලියාවේ වඩාත්ම වැදගත් ජෛව රක්ෂිතයකි. එය ජෛව විවිධත්වයෙන් අනූන පාරාදීසයක්ව පැවතියේය. නමුත් මේ වන විට දූපතේ හෙක්ටයාර 215,000 අතරින් හරි අඩක්ම ගිනි රකුසාට බිලි වී තිබේ. දූපතට අයත් විවොන් බොක්කේ මුහුද පවා ගිනි ඇවිළුණේ යැයි දූපත් වාසීහු කියති. ‘‘අපි හිතුවේ ලෝක විනාශය ඇවිත් කියලයි..‘‘ යැයි ඔවුහු බීබීසී පුවත් සේවය සමග පැවසූහ.
කැන්ගරු දූපතේ ජාතික වනෝද්‍යානය පිහිටා තිබුණේ නිරිත දිග ය. නමුත් දෙසැම්බර් 20 වැනිදා එයට මරණයේ සීනුව හැඬවී තිබේ.
පහත දැක්වෙන්නේ කැන්ගරු දූපතට ගින්නෙන් සිදුවූ විනාශය චන්ද්‍රිකා ඡායාරූපවල දිස්වූ ආකාරයයි. මෙහි පහළ ඡායාරූපය ගනු ලබන අවස්ථාව වන විට කැන්ගරු දූපත ගිනි ගෙන තිබුණේ නැත.

හාවුන් සහ නරින් කිසිදා නොසිටි කැන්ගරු දූපත
කැන්ගරු දූපතේ ජෛව විවිධත්වය සුරැකී තිබූ අන්දම අපූරු ය. එහි දූපතට ආවේණික ජීවී විශේෂ විශේෂයෙන්ම සත්ව විශේෂ සියවස් ගණනක් මුළුල්ලේ නොනැසී ජීවත් වූහ. එයට එක් ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබුණේ දූපතට හාවුන් සහ නරින් කිසිදාක හඳුන්වා දී නොතිබීමයි. ඒ නිසා දූපතට ආවේණික වන ජීවීන්ට විලෝපික තර්ජන අවම වූ අතර, වන ශාක ද හාවුන්ගෙන් සුරැකුණේය. මෙය, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගොඩබිමෙන් (මේන්ලෑන්ඩ්) අතිශය වෙනස් වන සුවිශේෂී තත්වයකි.


ගිනි රකුසා හේතුවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි සිතන කැන්ගරු දූපත් වාසීන් අතර, කැන්ගරු අයිලන්ඩ් ඩූනාට් සහ දිලිසෙන පිටක් සහිත සුන්දර කොකටුවෝ ද වෙති (glossy black-cockatoo).
ඉතාලියේ සිට ගෙන එන ලද ලිගුරියන් වර්ගයේ මී මැස්සෝ (Ligurian bees) ද කැන්ගරු දූපතේ විපුල ලෙස විසූහ. උන්ගෙන් කාලක්ම ගින්නෙන් වැනසී ඇතැයි සොයාගෙන තිබේ. පිග්මි පොසම් සතුන් ද, දකුණුදිග දුඹුරු උෘරුමීයන් (southern brown bandicoot) ද සහමුලින්ම වැනසී ගොස් ඇති බවට සැක පළ වේ.
‘‘කිහිප දෙනෙක් ඉතිරි වී සිටියත් උන් ජීවත් වන්නේ කොහේද? උන් විසූ නිකේතන අළු වී ගිහින්..‘‘ නිරීක්ෂකයෝ පවසති.


ගින්න නිසා කැන්ගරු දූපතට සිදුවූ ජෛව විවිධත්ව අලාභය තවමත් ගණනය කළ නොහැක්කේ දූපතේ ඇතැම් කොටස් තවමත් ගිනි ගනිමින් තිබෙන නිසා ය.
කෝලා වලසුන් බේරාගන්නට රේස් එකක්
කැන්ගරු දූපතේ කෝලා වලස්සු 50,000 ක් පමණ ජීවත් වූහ. දැනට විශ්වාස කෙරෙන්නේ මේ අතරින් භාගයක්ම, එනම් 25,000 දෙනා දැවී පිළිස්සී ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ අනෙක් කොටස් මෙන් නොව මේ කැන්ගරු දූපතේ ජීවත් වූ කෝලා වලසුන්ට සොබාදහමෙන් විශේෂ තිළිණයක් දි තිබිණි. එනම්, ක්ලැමීඩියා රෝගයෙන් ආරක්ෂාවයි. මේ දිලීර රෝගය අන්ධතාවය, මුත්‍රා ආසාදන, වඳ බව සහ මරණය ඇති කරන නමුත් කිසියම් හේතුවක් නිසා කැන්ගරු දූපතේ ජීවත් වූ කෝලාවන්ට කිසිදා ක්ලැමීඩියා රෝගය වැළඳුණේ නැත.
ගින්න හටගත් දිනයේ පටන් දිනපතාම කෝලා වලසුන් බේරාගැනීම සඳහා රේස් එකක යෙදෙන්නට සංරක්ෂකයන්ට සිදුව තිබේ. උන් බාගෙට පිළිස්සුණු, වතුර බෝතල් ඉල්ලාගෙන බොන අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ. බොහෝ කෝලා වලසුන්ගේ පිළිස්සුම් තුවාළවලට අමතරව ලේ ගලන තුවාළ ද දැකගන්නට පුළුවන. දිවි බේරාගත් අය අතරින් බොහෝ කෝලා වලසුන්ට ඉයුතන්සියා ක්‍රමයට මරණය ළඟා කර දීමට සිදුවන බව වෛද්‍ය කණ්ඩායම් කියන්නේ කණස්සල්ලෙනි. ඉයුතන්සියා යනු, සිහි විසඥතාවයේ සිටියදීම සුඛ මරණයක් ළඟා කර දීමයි.

දූපතේ පණස් දහසක් වූ කෝලා ගහණයෙන් හරි අඩක්ම ගින්නට බිලි විය. ගින්නට හසුවූ මළ සම කෝලා අතකින් ඉවත් කරන වෛද්‍ය කණ්ඩායමක් මෙම ඡායාරූපයේ දැක්වේ.මේ වන විට කෝලා වලසුන් බේරාගැනීමේ මහා මෙහෙයුම දියත් වන්නේ සම්පූර්ණයෙන්ම ජෙනරේටර් බලයෙනි. ගින්න විසින් දූපතේ සියලු විදුලි බල සැපයුම් ද පුළුස්සා දමා තිබේ.
ප්‍රතිකාර පිණිස ගෙන එනු ලබන කෝලාවන් ලොන්ඩ්‍රි බාස්කට්වල ද දමා තිබෙන ආකාරය ද මේ අතර දැකගත හැකිය. එයට හේතුව, සායන වල ඉඩකඩ නොමැති වීමයි. හරියට යුද්ධයකින් පසු තුවාළ ලැබූ සොල්දාදුවන් ජංගම සායන කූඩාරම්වල තබාගෙන ප්‍රතිකාර කරන සෙයක් මෙහිදී පෙනේ. ‘‘සුළඟට එක්ව තිබෙන දුහුවිල්ල සහ විෂබීජ නිසා මේ සතුන්ව සනීප කර ගැනීම යුද්ධයක් තමයි..‘‘ වෛද්‍ය කණ්ඩායම් පවසති.


දූපතේ සෑම දෙයක්ම, කෘෂිකර්මාන්තය පවා ගින්නෙන් විනාශ විය. ගව බැටළු සම්පත ගින්නෙන් පිළිස්සී ගියේ දහස් ගණනිකි. අක්කර දහස් ගණනක් ද ගින්නට හසු වී අළු පැහැ වී ඇත.
කැන්ගරු දූපත තවමත් ඇවිළෙයි. එය පෙර පරිදි ජෛව විවිධත්වයෙන් පිරී-ඉතිරී යන්නේ කවදාද? ඇතැම්විට එයට තව පරම්පරා ගණනාවක් ගතවනු ඇත.