×

මීටරයක් උස ගිරවෙක් නවසීලන්තයේ

මෙයට වසර මිලියන 19කට පෙර නවසීලන්තයේ මීටර 1 ක් පමණ උස ගිරවෙකු (ගිරා විශේෂයක්) ජීවත් වී ඇති බව හෙළි වී තිබේ.


මේ සොයාගැනීම සිදු කළේ නවසීලන්තයේ දකුණු දිග ඔටාගෝ ප්‍රදේශයේ සාන්ත බතන්ස් අසලින් හමුවූ ගිරා අවශේෂයන් පරීක්ෂාවට ලක් කිරීම මගිනි. මෙම ගිරවා ‘පුරාණ ගිරවෙක්‘ එසේත් නැතිනම් Ancient parrot ලෙස හැඳින්වේ.

මෙම ඉහළ උස නිසා මෙම ගිරවා, බොහෝ නූතන පක්ෂීන් මෙන් නොව පියෑඹීමට අසමත් පක්ෂියෙකු වන්නට ඇතැයි සැලකේ. තවද මේ පුරාණ ගිරවා මාංශභක්ෂයෙකු බව ද හෙළි වී තිබේ.

මේ පිළිබඳ විද්‍යාත්මක ලෙස තහවුරු කිරීම පසුගියදා බයලොජි ලෙටර්ස් Biology Letters ජර්නලයේ පළ වී තිබිණි.

මීට පෙර ලෝකය දැන සිටි නවසීලන්තයේ ගිරා යෝධයා – කාකාපෝ නොහොත් බකමූණු ගිරවා

මීට පෙර ලෝකයේ විසූ විශාලතම ගිරවා වශයෙන් සැලකෙන්නේ ‘කාකාපෝ‘ kākāpo ය. කාකාපෝ ‘බකමූණු ගිරවා‘ ලෙස ද හැඳින්වෙන්නේ උගේ මුහුණ බකමූණෙකු සිහිගන්වන නිසා ය. කාකාපෝ ද නවසීලන්තයට ආවේණික ගිරා විශේෂයක් වූ අතර, මාංශභක්ෂක, පියාසර කිරීමට අසමත් යෝධ පක්ෂියෙක් විය. කාකාපෝගේ දේහ බර කිලෝ 3.5ක් පමණ වන්නට ඇතැයි සැලකේ.

මේ අනුව මෙවර හමුවී තිබෙන ගිරා යෝධයා කාකාපෝ ට ද වඩා දෙගුණයක් බරැති ය. එනම් මෙම ගිරා විශේෂයේ බර කිලෝ 7 ක් පමණ වන්නට ඇතැයි සැලකේ.

මේ පුරාණ ගිරවාගේ උස දළ වශයෙන් මිනිසෙකුගේ උසට සමාන ය. ඒ අනුව, නවසීලන්තයේදී මෙයට වසර මිලියන 19කට පෙර නූතන මානවයෙකු සහ පුරාණ ගිරවෙකු මුහුණට මුහුණ හමු වූයේ නම්, (එය කිසිදා සිදු නොවූ නමුත්) ඔවුන් දෙදෙනාටම මුහුණට මුහුණ බලාගෙන කතා කළ හැකිව තිබිණි! ඒ, දෙදෙනාගේම ඇස් මට්ටම් දළ වශයෙන් එක සමාන නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි