×

ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර දිනයේ පෘථිවිය දෙසට උල්කාපාතයක් ! – ලෝක විනාශය ගැන ඉඟියක් !

ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන නොවැම්බර් 3 වැනිදාට පෙර දිනයේ, එනම් නොවැම්බර් 2 වැනිදා පෘථිවියට උල්කාපාතයක් ඇදී ඒමට නියමිත ය.


මෙය ‘සුමනදාස අබේගුණවර්ධන වර්ගයේ‘ අනාවැකියක් නොව ඇමරිකාවේ ප්‍රකට තාරකා භෞතික විද්‍යාඥයෙකුගේත් නාසා ආයතනයේත් අනාවැකියකි.

එය පෘථිවියට පතිත වීමට සුළු ඉඩක් ඇති බවට ද වාර්තා වේ.

සමාජ මාධ්‍ය තුළ විශාල කැළඹීමක් ඇති කළ මේ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ වන විට පසු විපරම් රාශියක් සිදු කෙරෙමින් පවතියි.

ඒ අනුව කියැවෙන්නේ බොහෝ දුරට මෙය පෘථිවිය වෙත ළඟා වීමට ප්‍රථම, හැමවිටම පාහේ සිදුවන පරිදි ගිනි ගෙන දැවී විනාශ වීමට නියමිත බව ය.

නමුත් යම් හෙයකින් එය පෘථිවියේ ගැටුණහොත් ඉතා කුඩා අවශේෂයන් පමණක් පෘථිවියට පතිත වනු ඇතැයි කියවේ. ඒ අනුව ඒවායින් වීදුරු ජනේල බිඳී යාම හෝ උල්කාෂ්ම වැස්සක් ඇති වීම වැනි සුළු දෙයක් සිදුවනු ඇත.

නාසා ආයතනය විසින් ‘හානිකර වස්තුවක්‘ ලෙස අජටාකාශ වස්තුවක් නම් කිරීමට නම් එය අවම වශයෙන් විශ්කම්භයෙන් මීටර 140 ක් පමණ විය යුතුය. නාසා ආයතනය විසින් හඳුනාගත් මෙවැනි වස්තු 2000 ක් පමණ අජටාකාශයේ තිබේ. ඒ අතර දැවැන්ත උල්කාපාත (ඇස්ටරොයිඩ) මෙන්ම වල්ගාතරු ද ඇත.

මෙම ඇස්ටරොයිඩය (උල්කාපාතය) නම් කර තිබෙන්නේ 2018VP1 යනුවෙනි.

එය අජටාකාශයේ සිට පෘථිවිය දෙසට ඇදී ඒම ආරම්භ වන විට ශීතකරණයක් තරම් විශාල පාෂාණයක් ලෙස පවතිනු ඇති බවටත් වාර්තා වේ. එහි විශ්කම්භය අඩි 6.5 ක් පමණ වනු ඇත.

නාසා ආයතනයට අනුව මෙය පෘථිවියේ වායුගෝලයට ඇතුළු වීමේ සම්භාවිතාවය 0.41%ක් පමණ වනු ඇත.

නමුත් මෙය නිත්‍ය ලෙසම කිව නොහැක්කේ, ගතවූ වසර දෙක පුරාම මේ පිළිබඳ කිසිදු හෝඩුවාවක් ඔවුන්ට ලැබී නැති අතර, එය පෘථිවිය දෙසට ඇදී ඒමට නියමිත බව නිරීක්ෂණය කිරීමට ද ඔවුන් අසමත් වී ඇති නිසා ය. තවද එහි පිහිටීමද සොයාගැනීමට නාසා ආයතනය සමත් වූයේ නැත. නමුත් නාසා ආයතනය පෙරයීම් කරන්නේ, එය පැසිෆික් සාගරයට ඉහළින්, පෘථිවි තලයට සැතපුම් 260,000 ක දුරින් ඇදී යනු ඇතැයි කියා ය.

නීල් ඩිග්‍රොස් ටයිසන්

මේ පිළිබඳ මුලින්ම ඉන්ස්ටර්ග්‍රෑම් සහ ට්විටර් හරහා හෙළිකර තිබුණේ නීල් ඩිග්‍රොස් ටයිසන් විසිනි. ඔහු නිව්යෝක් නුවර පිහිටා තිබෙන Rose Center for Earth and Space හි හේඩන් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂවරයා ද වේ.

ඔහු මෙසේ ද කියයි.

‘‘එය නොවැම්බර් 2 වැනිදා පෘථිවිය හමුවනු ඇත. නමුත් එය හානියක් සිදු නොකරනු ඇත. ඒ නිසා, ලෝක විනාශය 2020 දී සිදු වේ නම් එයට වගකිව යුත්තේ විශ්වය නොවේ!‘‘

එසේ නම් එයට වග කිව යුත්තේ කවුදැයි අපට සිතාගත හැකිය. නොවැම්බර් 3 වැනිදා, එනම් පසුදා පැවැත්වෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පුල පුලා බලා සිටින ඇමරිකානු ජනාධිපතිවරණයයි!

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි