×

වඩා වැදගත් වන්නේ මාධ්‍යවේදීන්ට නොබෙල් සාම සම්මානය ලැබීම නොව, මාධ්‍යවේදයට නොබෙල් සාම සම්මානය ලැබීමයි!

‘‘නිදහස් මාධ්‍ය සඳහා වන අයිතිය නැවතත් සහතික කරමු. ජනමාධ්‍යවේදීන්ගේ මූලික කාර්යභාරය පිළිගනිමු. නිදහස්, ස්වාධීන සහ විවිධත්වයෙන් යුතු මාධ්‍යයක් සඳහා සෑම මට්ටමකින්ම උත්සාහ කිරීම සවිගන්වමු..‘‘


මේ, සෑම ජනමාධ්‍ය දිනයකදීම යම් රටක මාධ්‍ය සංවිධාන විසින් නොකඩවා මුරගාන සාමාන්‍ය සටන්පාඨයක් ලෙස එකවරම පෙනී යන, නමුත් එසේ නොවන තනි පුද්ගල ප්‍රකාශයකි. මේ, ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටරෙස්, මෙවර නොබෙල් සාම ත්‍යාගය දිනාගත් මාධ්‍යවේදීන් දෙපළට සුබ පැතුම් එක් කළ ආකාරයයි.

“Let us reaffirm the right to press freedom, recognise the fundamental role of journalists and reinforce efforts at every level to support a free, independent and diverse media,”
– UN Secretary-General Antonio Guterres

‍2021 නොබෙල් සාම ත්‍යාගය (2021 Nobel Peace Prize) හිමි කර ගත්තේ පිලිපීනයේ සහ රුසියාවේ මාධ්‍යවේදීන් දෙපළක විසිනි. ඒ පිලිපීනයේ සම්මානනීය මාධ්‍ය වේදිනියක වන මරිසා රීසා සහ රුසියානු මාධ්‍යවේදී දිමිත්‍රි මුරතොව් විසිනි. මේ වන විට අන්තෝනියෝ ගුටරෙස්ගේ පටන්, කුඩා ප්‍රවෘත්ති මැදිරිවල මාධ්‍ය වේදීන් දක්වා ලෝක ප්‍රවණතා පිළිබඳ උනන්දුවක් දක්වන අය ඔවුන්ට සිතින් හෝ සුබ පතමින් සිටිති.

Reporters Without Borders අන්තර්ජාතික මාධ්‍ය සංවිධානය මෙම පුවතට ප්‍රතිචාර දැක්වීම ‘ප්‍රමෝදයෙන් යුතුව සහ කඩිනමින්‘ කළ යුතු දෙයක් ලෙසට සැලකුවේ ඒ නිසා ය. ඔවුහු මෙසේ කියති.

‘‘ප්‍රමෝදය නම්, මෙය මාධ්‍යකරණය සඳහා සහ, තොරතුරු අයිතිය රැක ගැනීම සඳහා අවදානම් ගන්නා ලොව පුරා සියලු තැන්හි මාධ්‍යවේදීන්ට ලැබුණු අසාමාන්‍ය උපහාරයක් වීමයි.‘‘

“Joy because this is an extraordinary tribute to journalism, an excellent tribute to all journalists who take risks everywhere around the world to defend the right to information,”
– RSF Director Christophe Deloire

RSF යන කෙටි ප්‍රංශ නමින් හඳුන්වන Reporters Without Borders, මෙම මාධ්‍යවේදීන් දෙදෙනා සමගම ඒ රටවල් තුළ වැඩ කටයුතු කර ඇති සංවිධානයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව මෙම සම්මානය, ‘‘දුෂ්කරම තත්වයන් තුළදී මාධ්‍ය වේදීන්විසින් ඉටු කරන වැදගත් කාර්යභාරය පිළිගැනීම පිළිබඳ සම්මානයකි.

නොබෙල් කමිටුව මෙම සම්මානය ලබාදෙන්නේ ‘භාෂනයේ නිදහස සුරැකීම වෙනුවෙන් සිදුකළ කාර්යභාරය‘ අගයමිනි.

නොබෙල් ත්‍යාග කමිටුව ඉතිහාසයේ පටන්ම පරිපූර්ණ අපක්ෂපාතී ව්‍යූහයක් නොවේ. ඒ පිළිබඳ විවේචන ද තිබිය හැක. ඒවා ලබාගන්නා ජයග්‍රාහකයන් පිළිබඳව ද විවේචන තිබිය හැක. ඉතිහාසය තුළ වැඩිම විවේචන පවතින්නේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත් පුද්ගලයන්ගේ කල්ක්‍රියාවන් සම්බන්ධයෙනි. උදාහරණ වශයෙන් 2009 වසරේදී ඇමරිකානු ජනපති බරාක් ඔබාමා, 2012 වසරේදී යුරෝපියානු සංගමය, 1994- යසර් අර්ෆත්, වියට්නාම් සටන් විරාමය ගැන සාකච්ඡා කරන අතරතුර හැනෝයි නුවරට බෝම්බ දැමීමට මුල් වූ ඇමරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් මෙන්ම ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පය ලොවට හඳුන්වා දුන් මොහොමඩ් යූනුස් (2004) එවැනි කිහිප දෙනෙකි. මේ ලැයිස්තුවේ සිටින අලුත්ම කුප්‍රකටයා 2019 නොබෙල් සාම ත්‍යාගය දිනූ ඉතියෝපියානු ජනපති අහ්මද් අබී ය. මුලින් ඉතියෝපියාවේ ‘නෙල්සන් මැන්ඩෙලා‘ ලෙස හැඳින්වුණු ඔහු ඉතියෝපියාව ගෙන ගිය වාර්ගික සංහාරයේ මාවත ගැන නොබෙල් කමිටුව පවා දැන් නිරුත්තර ය.
(ඉතියෝපියාවේ අහ්මද් අබී – කළේ කුමක්ද?)

එනිසා මෙහිදී අපට වඩා වැදගත් වන්නේ නොබෙල් සාම සම්මානයේ පුද්ගල සාධකය නොව, එම සම්මානයෙන් නිරූපණය වන සමාජ වගකීම කුමක්ද යන්නයි. ඒ අනුව අපට වැදගත් වන්නේ මෙවර ‘නිදහස් මාධ්‍ය‘ ට නොබෙල් සාම සම්මානය ලැබීමයි. එසේ වන්නේ ලෝකයේ ප්‍රථම වතාවට ය. එනිසා, නිදහස් මාධ්‍ය යනු කුමක්ද සහ, මාධ්‍ය හිමිකාරිත්වය ඇතුළු වෙනත් සෘණාත්මක සාධකවල ප්‍රබල බලපෑම තිබියදීම පරිපූර්ණ මාධ්‍ය වාර්තාකරණයක් සඳහා උත්සාහ කළ යුතු බවට ගෝලීය පිළිගැනීමක් ලැබීම අගය කළ යුත්තකි. එනිසා, අපට අනුව නම්, මෙහිදී සැබෑ ප්‍රවෘත්තිය වන්නේ මෙවර නොබෙල් සාම සම්මානය මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින් දිනාගැනීම නොව, නිදහස් මාධ්‍යකරණය ලෝකයේ ඉහළම සම්මානයකින් පිදුම් ලැබීමට තරම් උත්කෘෂ්ට කාර්යයක් බවට බිඳ හෙළිය නොහැකි පිළිගැනීමක් ලැබීමයි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය නිතරම උවදුරට ලක්වන ප්‍රධාන සාධක 3 ක් තිබේ. ඒ, වෛරී කථනය, රාවයන් (rumours) සහ දුස්තොරතුරු (disinformation) ය. දුස්තොරතුරු, (disinformation) සාවද්‍ය තොරතුරු (Misinformation) වලට ද වඩා නරක වන්නේ, දුස්තොරතුරකදී, තමන් පතුරවන තොරතුර වැරදි බව දනිමින්ම එය අදාළ මූලාශ්‍රය විසින් බෙදා හරින නිසා ය. සාවද්‍ය තොරතුරකදී ඒවා බෙදා හරින මූලාශ්‍රය, එය සත්‍ය යැයි සිතමින් හෝ විශ්වාස කරමින් ඒවා බෙදා හරියි. ලංකාවේ අප ගත කරන්නේ සාවද්‍ය තොරතුරු හෝ පුවත්වලට රාජ්‍යය මුල්වී වැට බඳින, ඒවා මර්දනය කරන යුගයක ය. ඒවා වෙනුවෙන් නව නීති ගෙන එන්නට ද සියල්ල සූදානම් ය.එහෙත් ඒ මර්දනයට අවියක් ලෙස මිස නිදහස් තොරතුරු සංස්කෘතිය දිරිගන්වන්නක් ලෙස නොවේ.  ඒ හැර දුස්තොරතුරු හෙවත් ‘අතේ රෝල්‘ හෝ ‘දැන දැන කියන බොරු‘ ගැන ලංකාවේ මාධ්‍යවලට වගකීමක් තිබෙන්නේ කලාතුරකිනි. ජනතාව සතුටු කිරීම වෙනුවෙන් බොරු නිර්මාණය කිරීමේ න්‍යායපත්‍රයන් බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල ඉතිහාසයේ පටන්ම ක්‍රියාත්මක ය. ඒ, ලංකාව වැනි නොදියුණු තොරතුරු ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින රටවල්, දුස්තොරතුරුවලට පෙම් බඳින නිසා ද? ජනතාව ඉල්ලන්නේ එයවත්ද…?

අප ගත කරන්නේ මාධ්‍යවේදීන්ගේ හෘද සාක්ෂිය, මාධ්‍ය හිමිකාරිත්වයේ හෘද සාක්ෂිය පිළිබඳ ගැටළුකාරී අවධිකයක ය. අපක්ෂපාතී බව කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ප්‍රශ්න කළ හැකි යුගයක ය. මේ සියල්ල අතර, සාමය සඳහා පිදෙන නොබෙල් සම්මානය මෙවර ජනමාධ්‍යය විසින් දිනාගැනීම, අප විසින් මොහොතකට හෝ සැමරිය යුතු නොවන්නේද..?

පෙර ලිපි
නිර්භීත අරගලය දියත් කළ මාධ්‍යවේදී රෙසා සහ මුරතොව්, නොබෙල් සාම සම්මානය දිනා ගනිති



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි