×

නිරායුධ කළු ජාතිකයෙකුට විස්කොන්සින් පොලිසිය දරුවන් ඉදිරිපිට 7 වරක් වෙඩි තබයි!

ජේකොබ් බ්ලේක් නමැති නිරායුධ කළු ජාතිකයෙකුට ඇමරිකාවේ විස්කොන්සින් පොලිසිය සත් වතාවක් වෙඩි තබා ඇත.


ඔහුට වෙඩි තබා තිබෙන්නේ ගෘහස්ථ ආරාවුලක් සම්බන්ධයෙන් පොලිසිය සමග කතා කර ආපසු සිය වාහනයට යන අතරවාරයේ ය.

ඇතැම්විට ඔහු නතර වෙන්නට යැයි පොලිසිය පැවසූ බස් නොඅසමින් දිගටම ඇවිද ගියා විය හැකිය. කෙසේ නමුත් ඉන්පසු සිදුවූ දේවල් සාධාරණීකරණය කළ හැකිද?

ඔහු සිය වාහනයට නැගීමට ඔන්න මෙන්න තිබියදී පොලිසිය වෙඩි තබන ආකාරය වීඩියෝ දර්ශනයකට හසුව තිබෙන අතර, මේ වන විට එය ලොව පුරාම වයිරල් වෙමින් තිබෙන්නේ මීළඟ Black Lives Matter විරෝධතා මාලාව සඳහා ලෝකය සූදානම් කරමිනි.

ඔහු පසුපස අවම වශයෙන් සුදුජාතික පොලිස් භටයන් තුන් දෙනෙක් ඇවිද යන ආකාරය මෙම වීඩියෝවේ දැකගත හැකිය.

සුදු ජාතික පොලිස් භටයන් විසින් ඔහුට මෙසේ හත් වතාවක් වෙඩි තබා තිබෙන්නේ ඔහුගේ දරුවන් ඉදිරිපිටදී වීම, මෙම සිද්ධියේ අමානුෂික මුහුණුවර තවත් තීව්‍ර කරවයි.

පියා මෙසේ පොලිස් වෙඩි පහරට ලක් වෙද්දී ඔහුගේ දරුවන් වන පුතුන් තිදෙනාම සිටියේ වාහනය තුළ ය.

පොලිස් වෙඩි පහරට ලක් වූ ජේකබ් බ්ලේක්ගේ වයස අවුරුදු 29 කි. ඔහුව මිල්කවුකී රෝහලට ගුවනින් ගෙන ගොස් ඇතුළත් කර ඇති අතර, ඔහු පසුවන්නේ බරපතළ තත්වයෙනි.

මෙම සිදුවීම ඇසින් දුටු, වගකීම් සහගත පුරවැසියෙකු ද සිටියි. කළු ජාතිකයෙකු වන ඔහු ලා-රොන් ෆ්‍රෑන්ක්ලින් ය.

ඔහු, ලංකාවේ මෙන් නොව අපරාධයක් ඇසින් දුටු විට තැති ගැන්වී සැඟවෙන්නේ නැතිව මේ කළු ජාතිකයාට යුක්තිය ඉටු කිරීම සඳහා කැප වී සිටියි.

මේ ඔහුගේ වදන් ය.

‘‘ඔහු ළඟ කිසිම ආයුධයක් තිබුණෙ නෑ. ඔහු පොර බදන්න හෝ කිසිම ගැටුමක් ඇති කරගන්න උත්සාහ කළෙත් නෑ. ඒත් පොලිසිය ඔහුට හත් වතාවක් වෙඩි තිබ්බා..‘‘

සිද්ධිය ඇසින් දුටු සාක්ෂිකරු

‘අවම බලය‘ යෙදිය යුතු පොලිසිය මේ අන්දමින් අහිංසක නිරායුද සිවිල් වැසියෙකුට එරෙහිව ‘අතිරේක බලය‘ යෙදවීම සම්බන්ධයෙන් විස්කොන්සින් ආණ්ඩුකාර ටෝනි එවර්ස් (Tony Evers) විසින් දැනටමත් පොලිසියට දෝෂාරෝපණය කර තිබේ.

විස්කොන්සින් ජනපදයේ දැනටමත් පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සිවිල් වැසියන් වීදි බැස ඇති අතර, ඔවුහු ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් සිටිති.

සිද්ධිය හටගත් කෙනෝෂා ප්‍රදේශයේ වැසියන් විසින් පොලිස් නිලධාරියෙකුට ගඩොලකින් පහර දීම නිසා ඔහු පදික වේදිකාව මතට ඇද වැටුණු බව ද වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ හටගත් මෙම සිදුවීමෙන් අනතුරුව ප්‍රදේශයට ඇඳිරි නීතිය ද පැනවීමට සිදුවිය.

Black Lives Matter

වර්ගවාදය පදනම් කරගනිමින් ලොව පුරා කළු ජාතිකයන් ඉලක්කකර ගනිමින් වර්ගවාදී සුදු ජාතිකයෝ විවිධ ප්‍රහාර සහ වධහිංසාවන් සිදු කරති. 2013 වසරේදී මෙම සිවිල් ව්‍යාපාරය ඇමරිකාව, කැනඩාව සහ එක්සත් රාජධානිය පදනම් කරගෙන ස්ථාපිත වන්නේ පොලිස් වධහිංසාවට ලක් වූ ට්‍රැවියොන් මාටින් (Trayvon Martin) ගේ ඝාතක පොලිස් භටයා නඩු විභාගයේදී නිදොස් කොට නිදහස් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

Black Lives Matter නිල වෙබ් අඩවිය – https://blacklivesmatter.com/

මේ අතර 2020 මැයි මාසයේ අගභාගයේදී සුදු ජාතික පොලිස් භටයෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති නිරායුධ කළු ජාතිකයෙකු ඩොලර් 20 ක හොර නෝට්ටුවක් හසුවීමේ වරදට හුස්ම හිරවන තෙක් බූට් සපත්තුවෙන් ඔහුගේ ගෙළ පාගාගෙන සිටීමේ සිද්ධිය සමග මෙම සමාජ ව්‍යාපාරය ප්‍රබල ලෙස ඉස්මතු විය. ඇමරිකාවේ මිලියන භාගයක ජනතාවක් ස්ථාන 550 ක රැස්වී සුදු වර්ගවාදය සහ සුදු ජාතිකයන්ගේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණය කරනු එහිදී දැකගන්නට ලැබිණි.

ජෝර්ජ් ෆ්ලොයිඩ් සිද්ධිය පසුබිම් කරගෙන ලොව පුරාම කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් සහ විශේෂයෙන්ම පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා ව්‍යාපාර හටගත් අතර ශ්‍රී ලංකාවේ ද එවැනි විරෝධතා ගණනාවක්ම දක්නට ලැබිණි. ලංකාව ආසියාකරයේ දරුණුම පොලිස් වධහිංසාවක් අත්විඳින රටක් වීම ද මෙයට සමාන්තර හේතුවක් බවට පත්ව තිබේ.

#blacklivesmatter

ජේකබ් බ්ලේක් නිරායුධ කළු ජාතිකයා පොලිස් වෙඩි පහරට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක්

[embedyt] https://www.youtube.com/watch?v=LdtKzHc4K-0[/embedyt]

පෙර ලිපි

ඔහු මෘගයෙක් – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස් භටයා



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි