×

24 වසරක නිහැඬියාවකට පසු අද්විතීය රූපවාහිනී ප්‍රහසන වැඩසටහන – ‘Spitting Image’ නැවතත් ලෝකය කළඹයි

ලෝකයේ එදා මෙදාතුර බිහිවූ සාර්ථකම රූපවාහිනී ප්‍රහසන වැඩසටහනක් ලෙස සැලකෙන 'Spitting Image' වසර 24 ක නිහැඬියාවකින් පසු නැවතත් විකාශනය ආරම්භ වනු ඇත.


2020 ශරත් සෘතුවේදී (ඔක්තෝබර් 3 දා පටන්) එය නැවතත් පුංචි තිරය ආක්‍රමණය කිරීමට බලාගෙන සිටින්නේ ලෝක දේශපාලනයේ සහ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රකට චරිතවල ද බොරු පුරාජේරු ශරත් සෘතුවේදී හැළෙන තුරුපත් මෙන්ම හළා දමමින් ප්‍රේක්ෂකාගාරය ප්‍රහසන රසයෙන් කුල්මත් කරමිනි.

සතියකට එක් කතාංගය බැගින් සති 10 ක් මුළුල්ලේ එය විකාශය කෙරෙනු ඇත.

1984 වසරේදී ආරම්භ වූ ‘Spitting Image’ පපට් වැඩසටහන Peter Fluck, Roger Law සහ Martin Lambie-Nairn යන ත්‍රිත්වයේ නිර්මාණයකි. 1996 වසර දක්වා කතාංග 131 ක් විකාශය කළේය.

එහි සම-නිර්මාණකරු රොජර් ලෝ මෙවර මේ සමග එක්වන්නේ එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙසිනි.

මෙවර චරිත 100කට වඩා ඔවුන් විසින් සජීවීකරණ මපට් බවට පත් කර ඇති අතර, ට්‍රම්ප් සහ බොරිස් ජොන්සන් මෙවර කතා මාලාවේ කථා නායකයන් දෙපළ බවට පත් ව තිබේ.

බ්‍රිතාන්‍ය රජ පවුලටද සුපුරුදු පරිදි එයින් බේරීමක් නැත. නූතන ලෝකයේ වෙනත් ප්‍රකට සහ බලපෑම් සහගත චරිත 100කට ආසන්න සංඛ්‍යාවක් මෙහි වෙති. අඩේල්, ඇන්ජෙලා මර්කෙල්, බේබි යෝඩා, බරාක් ඔබාමා, බියොන්සේ, බිලී එලිෂ්, බොරිස් බේබි, බ්‍රැඩ් පිට්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ඩොමිනික් කමිනිස්, එල්ටන් ජෝන්ස්, ඩොමිනික් රාබ්, එම්මානුවෙල් මැක්රොන්, ග්‍රේටා තුන්බර්ග්, එඩ් ශීරන්, එලන් මස්ක්, ජෙෆ් බෙසොස්, ජෝ බයිඩන්, කන්යේ වෙස්ට්, කර් ස්ටාමර්, ජසින්ඩා ආර්ඩෙන්, ජේම්ස් කෝර්ඩෝන්, කිම් කර්ඩශියන්, ලුවිස් හැමිල්ටන්, මාක් සකර්බර්ග්, මැට් හැනොක්, පාප් වහන්සේ, රිෂී සුනාක්, ටේලර් ස්විෆ්ට්, ටයිගර් වුඩ්ස්, පුටින් සහ ෂී ජින් පින් ද ඒ අතර වෙති. ඒ අනුව මේ ලැයිස්තුවේ සිටින්නේ කවුදැයි ඇසීමට වඩා, මේ ලැයිස්තුවේ නැත්තේ කවුදැයි ඇසීම වඩාත් ලෙහෙසි ය.

කොවිඩ්-19 නමින් චරිතයක් ද මෙවර එහි වේ.

ට්‍රම්ප්

පුටින් සහ සකර්බර්ග්

කන්යේ වෙස්ට්

80-90 දශකවල කිසිදු දේශපාලකයෙක් හෝ ප්‍රකට චරිතයක් ‘Spitting Image’ හි ප්‍රහසන රසය සපයන්නන් බවට පත් නොවී බේරුණේ නැත. මාග්‍රට් තැචර්ගේ පටන් නීල් කිනොක් දක්වා සෑම අයෙක්ම නිර්මාණකරුවන්ට හසුවිය. වාමාංශික සහ දක්ෂිණාංශික ප්‍රහසනය මෙන්ම දේශපාලන නිරවද්‍යතාවය (පොලිටිකල් කරෙක්ට්නස්) එහි තේමාව විය. ඔවුන්ට සීමාවක් තිබුණේ නැත.

එහිදී වරක් බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැණිය යැයි කියන මාග්‍රට් තැචර් මෙන්ම, ජින් රස බලන මහරැජින ද, Nurse සහ Nuke යනුවෙන් රතු බොත්තම් දෙකක් සහිතව ඇඳක වැතිරී සිටින රොනල්ඩ් රේගන්ව ද දැක්විණි.

නව කතා මාලාව පෙර කතාංගවලටත් වඩා සාහසික ලෙසම ප්‍රහසනය ඉස්මතු කරන බව කියන්නේ එහි විධායක අධ්‍යක්ෂවරයා ය.

පහත කෙටි පුර්ව ප්‍රචාරණ පටය නැරඹීමෙන් ඒ බව ඔබටද අවබෝධ වනු ඇත.

[embedyt] https://www.youtube.com/watch?v=y3McbFFN0FA[/embedyt]

පසුගිය කතාවාරයේදී මිලියන 15 ක ප්‍රේක්ෂකාගාරයක් ලොව පුරා දිනාගත් එය, මෙවර එමෙන් කිහිප ගුණයක ප්‍රේකෂකාගාරයක් දිනාගැනීමට නියමිත ය.

ප්‍රහසනය සහ හාස්‍යය අතර වෙනස නොදන්නා, ප්‍රේක්ෂකාගාරය හිනාගැස්විය හැකි එකම ක්‍රමය කුණුහරුප විහිළු කතාන්දර කීම යැයි යැයි සිතනා ලංකාව වැනි බොහෝ රටවලට මෙම වැඩසටහන ‘ප්‍රහසන රසය‘ යනු කුමක්දැයි නැවත කියා දීමට නියමිත ය. දේශපාලන ප්‍රහසනය එංගලන්ත නිර්මාණකරුවන් විසින් ‘නැවත සොයාගැනීම‘ සිදුකරන්නට නියමිතව තිබෙන්නේ ඒ අන්දමට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි