×

වෙඩි උණ්ඩයෙන් නිසල කළ මෙක්සිකෝවේ සදාදරණීය පොප් තරුව සෙලීනා..

සෙලීනා ගේ අකල් වියෝවෙන් ඈ සිය රසිකයන් අතහැර ගියද, ඇගේ උරුමය සදහටම ජීවත් වනු ඇත..


දැනට වසර විසි පහකට පෙර 1995 මාර්තු මස 30 වන දින ඈ සදහටම ලොවින් සමුගත්තාය. ඒ සිය යෙහෙළිය යොලැන්ඩා ගේ වෙඩි පහරිනි.

එදින මුළු මහත් මෙක්සිකෝවටම අඳුරු සනද්‍යාවකි, නිහඬ රාත්‍රියකි. ප්‍රීති ඝෝෂා නැඟි සංගීත සංදර්ෂණ තව දුරටත් නොවීය. මනරම් නර්ථනයන් සමඟ ගීත ගායනය වේදිකාව තුළ දක්නට නොවීය. රැය පුරා ඒකාලෝක වූයේ පහන් හා ඉටි පන්දම් ය. කඳුලින් පිරි දෙනෙත් යුතු සැමගේ මුවින් පිටවූයේ එක් වදනකි – “ආදරණීය සෙලීනා”. ඉන් මත්තට සුසුම් පොදකි.

ඈ නමින් සෙලීනා ක්වින්ටනිලා ය. ශ්‍රී ලංකාවේ ඇතමෙකුට ඇගේ නම නුහුරු විය හැකිය. එහෙත් ලතින් ඇමරිකානු සමාජයේ හා ස්පාඥ්ඥ සංගීත ලොවේ නොමැකෙන සටහනක් වූ ඈ මෙක්සිකෝවේ පොප් රැජිණ යන විරුදාවලිය ලබා සිටියාය.

සෙලීනා ගේ ඝාතනය සිදුවී අදට වසර 25ක් සපිරේ.

මේ සැකෙවින් ඈ පිළිබඳ ආවර්ජනයකි.

“If you try to come off as this big-time star with an attitude, people don’t like that.” ~ Selena Quintanilla ~

සෙලීනා යනු කවුද?

1971 වර්ෂයේ උපත ලද සෙලීනා ක්වින්ටනිලා-පෙරෙස් නම් ඇය මෙක්සිකානු-ඇමරිකානු ගායිකාවකි. ලතින් ඇමරිකානු සංගීත සම්ප්‍රදායේ ගීත ගායනයෙන් නතර නොවූ ඇය ගීත රචිකාවියක, මාධ්‍ය ප්‍රකාශකවරියක, විලාසිතා නිර්මාණකාරිණියක, නිරූපණ ශිල්පිණියක හා රංගන ශිල්පිණියක ලෙස කටයුතු කළාය.

පවුලේ හැදී වැඩුණේ ඉංග්‍රීසි බස කතා කරමින් වූවද, පියාගේ අභාෂයෙන් ස්පාඥ්ඥ බස ඉගෙන ගත් සෙලීනා ලතින් ප්‍රජාව සමඟ මුහුම් වීමට කුඩා කළ සිටම හුරු වූවාය. ගීත ගායනයට සහජ දක්ෂතාවක් දැක්වූ සෙලීනා ස්පාඥ්ඥ ගීත ගායනය හා විරුදාවලියක් ලබා ගන්නේ පාසල් වියේ පටන් ය.

තම පවුලේ සාමාජිකයින් සමඟ සංගීත කණ්ඩායමක් ගොඩනඟා ගනිමින් එහි ප්‍රධාන ගායිකාව බවට පත්වන විට සෙලීනා යම්තම් දසවන විය පසු කරන්නට ඇත. බේස් ගිටාරයෙන් සංගීතය සැපයූ සොයුරු ඒබ්‍රහම් ද, ඩ්‍රම් වාදනයෙන් රිද්මය සැපයූ සොයුරිය සුසෙට් ද සමඟ ටෙක්සාස් ප්‍රාන්තයේ විවාහෝත්සව හා සමාජ ශාලා රැසක් සංගීතයෙන් පිනවීමට සෙලීනා ඇතුළු පුංචි කැළ සමත් විය.

.

ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම

80 දශකයේ අගභාගය වන විට මුළුමහත් මෙක්සිකෝව පුරා සෙලීනා ගේ නම රැව් පිළි දෙන්නට පටන් ගැණිනි. ඇසුවන් අමන්දානන්දයට පත් කළ කටහඬක් පමණක් නොව, ඈට ම උරුම වූ නර්ථන ශෛලයකින් රසිකයින් පිනවීමට සෙලීනා සමත් වූවා ය. සෙලීනා ගේ දස්කම් ඇමරිකා එක්සත් ජනපදය පුරා ප්‍රසිද්ධ වීමට වැඩි කළක් යන්නට නොමැත.

සෙලීනා 80 දශකයේ දී ගීත පටිගත කිරීම ආරම්භ කළ අතර, “අමෝර් ප්‍රොහිබිඩෝ” සහ “සෙලීනා ලයිව්” වැනි සංගීත ඇල්බම සමඟ ලතින් සංගීත ක්ෂේත්‍රයේ සම්මානලාභී ගායිකාවක් බවට පත්විය. මෙක්සිකානු ටෙහානෝ (Tejano) සංගීතයේ රැජිණ යන විරැදාවලිය ලත් සෙලීනා 20 වෙනි ශත වර්ෂයේ අගභාගයේ සංගීතය හා විලාසිතා සඳහා දැක්වූ දායකත්වය තුළ මෙක්සිකානු-ඇමරිකානු කලා ලොවේ වඩාත්ම ජනප්‍රිය තරුවක් බවට පත්වූවා ය.

https://www.youtube.com/watch?v=RKGbjJarMeA

සෙලීනා ටෙහානෝ ගීත රසිකයන් අතර ඉතා ජනප්‍රිය වූවා ය. 1987 වර්ෂයේදී ටෙහානෝ සංගීත සම්මාන උළෙලේදී (Tejano Music Awards) ඇය “වසරේ හොඳම ගායිකාව” සහ “වසරේ නර්ථන ශිල්පිනිය” යන සම්මාන දෙකම දිනා ගත්තාය. එතැනින් ද නොනැවතුණු සෙලීනා ජාත්‍යන්තර අවධානය දිනා ගන්නේ 1993 වර්ෂයේ එක්සත් ජනපදයේ පැවැත්වූ 36 වන ග්‍රැමී සම්මාන උළෙලේදී හොඳම මෙක්සිකානු-ඇමරිකානු ඇල්බමය සඳහා ග්‍රැමී සම්මානය දිනා ගැනීමෙනි. ඒ ඇගේ සෙලීනා ලයිව් ඇල්බමය සඳහා ය.

සෙලීනා 1992 වර්ෂයේදී යුග දිවියට පිවිසියා ය. ඒ ඇගේ පෙම්වතා වූ ක්‍රිස් පෙරෙස් සමඟ ය. ඔහුද සංගීතයට ලැදි තරුණයකු වූ අතර, කලක් පුරාවට සෙලීනා ගේ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගිටාර් වාදකයා බවට ද කටයුතු කළේය. සෙලීනා – ක්‍රිස් සොඳුරු කැදැල්ල පැවතියේ වසර තුනක් පමණි.

ක්‍රිස් සහ සෙලීනා

.

මරණය

සෙලීනා ගේ ජනප්‍රියත්වය තුළ ඈටම වෙන්වූ පාඨක ජාලයක්, වෙළඳ භාණ්ඩ අලෙවි ජාලයක් පැවතිණි. සෙලීනා පාඨක ජාලයේ ප්‍රධානී වශයෙන් කටයුතු කළේ සෙලීනා ගේ දිගුකාලීන මිතුරියක වූ යොලැන්ඩා සැල්ඩිවාර් ය. යොලැන්ඩා සෙලීනා ගේ ව්‍යාපාර ක්‍රියාදාමය තුළ මූල්‍ය වංචා සම්බන්ධව චෝදනා ලැබ සිටියා ය. අවස්ථා ගණනාවක දී ම මෙම ගැටළුව සම්බන්ධයෙන් නීතිමය හා අධිකරණ සහාය ලබා ගන්නා මෙන් උපදෙස් ලැබී තිබුණ ද සිය මිත්‍රත්වය පළුදු කර ගැනීමට අකමැති වූ සෙලීනා මේ පිළිබඳ යොලැන්ඩා සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට තීරණය කළාය.

යොලැන්ඩා සහ සෙලීනා

යොලැන්ඩා 1995 මාර්තු 30 වන දින ටෙක්සාස් ප්‍රාන්තයේ කෝපස් ක්‍රිස්ටි නම් ප්‍රදේශයේ හෝටල් කාමරයක දී සෙලීනා හමුවීමට පැමිණෙන්නේ මේ අන්දමින් ය. සෙලීනා ට අවශ්‍ය වූයේ මූල්‍ය වංචා පිළිබඳ චෝදනා ලැබ සිටි සිය යෙහෙළිය සමඟ කතා බස් කොට අර්බුදය විසඳා ගැනීමට ය.

එහෙත්… අනපේක්ෂිත අන්දමින් යොලැන්ඩා අතැති රිවෝල්වරය සෙලීනා වෙත එල්ල කරන්නේ ක්ෂණයකිනි. පහර කෑ සෙලීනා ගලා හැලෙන ලේ දහර ද සමඟ මහ මඟට පිවිසියේ රැකවරණය පතා ය. රෝහල් ගත කළ සෙලීනා ඉන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූවාය. ඈ සිහිසුන් වීමට ප්‍රථම සිය ඝාතකයා ගේ නම හෙළිදරව් කර තිබූ බවට ද තොරතුරු වාර්තා වේ.

මිය යන විට සෙලීනා 23 වෙනි වියේ පසුවූවාය. ඇගේ අවසාන ගීත ඇල්බමය වූ ඩ්‍රීමිං ඔෆ් යූ එම වර්ෂයේ දී ම පසු කළක එළි දැක්වීම සිදුවිණි.

.

යොලැන්ඩා

අධිකරණය ඉදිරියේ වරදකරු බවට තහවුරු වූ යොලැන්ඩා සැල්ඩිවාර් 1995 ඔක්තෝබර් මස දී ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමකට ලක් වූවා ය.

යොලැන්ඩා 2025 වර්ෂයේදී කොන්දේසි මත මුදා හැරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ. ඒ වන විට ඈ කළ වරදට 30 වසරක සිරදඬුවම් විඳ අවසාන වීමට නියමිත ය.

සෙලීනා ගේ ඝාතකයා වූ යොලැන්ඩා

.

සෙලීනා චිත්‍රපටය (1997)

සෙලීනා ගේ ජීවිත කතාව රැගත් වාර්තාගත චිත්‍රපටයක් 1997 වර්ෂයේදී එළිදැක්විණි. එය සරලව නමින් “සෙලීනා” ය. සෙලීනා ගේ චරිතයට පණ පෙවීම සිදුකළේ එවකට එතරම් ජනප්‍රියත්වයක් නොලද වර්තමානයේ සුපිරි පොප් තාරකාවක් වන ජෙනිෆර් ලෝපේස් විසිනි. ජෙනිෆර් ලෝපේස් ගේ ලතින් ඇමරිකානු සම්භවය සමඟ මුසුවූ අතිමනරම් රංගන හා ගායන කුසලතාව පමණක් නොව බාහිර පෙනුම තුළින් ද සෙලීනා ගේ චරිතය යළි ඒකාලෝක කිරීමේ කරුණු කොට ගෙන හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් බවට පත්වීමට ඈට හැකි විය.

ජෙනිෆර් ලෝපේස් සෙලීනා ලෙසින්..

සෙලීනා ගේ චරිතයට පණ පෙවීම තුළ ජෙනිෆර් ලෝපේස් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල සඳහා ද නිර්දේශ වී තිබිණි. එපමණක් නොව, හොලිවුඩ් චිත්‍රපටයකට රංගනයෙන් දායකත්වය ලබා දී ඇමරිකානු ඩොලර් මිලියනක් උපයා ගැනීමට සමත් වූ ඉතිහාසයේ පළමු ලතින් ඇමරිකානු රංගන ශිල්පිනිය බවට ද ඈ පත් විය. ජෙනිෆර් ලෝපේස් ගේ වදන් වලින් ම කිවතොත්, ඈ ජීවිතයේ අද දින ගත කරන ස්ථානය ට පූර්වාරම්භය ලබා දුන්නේ සෙලීනා ය.

සන්සන්දනය; වම්පස – සෙලීනා, දකුණු පස – ජෙනිෆර් ලෝපේස්

සන්සන්දනය; වම්පස – ජෙනිෆර් ලෝපේස්, දකුණු පස – සෙලීනා

.

සෙලීනා ගේ මතකය

සෙලීනා ගේ සැමියා වූ ක්‍රිස් 2012 වර්ෂයේදී ටු සෙලීනා, ඇන්ඩ් විත් ලව් නමින් පොතක් එළි දැක්වීය. එම පොතේ දැක්වූයේ තමා සෙලීනා සමඟ ගත කළ සොඳුරු කාලය පිළිබඳවයි. එම ග්‍රන්ථය රූපවාහිනී කතාමාලාවක් බවට පත් කිරීමේ අවශ්‍යතාව ක්‍රිස්ට පැවතියේ ය.

කෙසේවෙතත්, සෙලීනා ගේ මරණයෙන් පසු ක්‍රිස් අත්සන් තැබූ ගිවිසුමක් උල්ලංඝනය කිරීමේ චෝදනා මත 2016 වර්ෂයේදී සෙලීනා ගේ සොයුරු ඒබ්‍රහම් ක්‍රිස් ට විරුද්ධව නඩු මඟට බසින ලදී. එකී ගිවිසුම අනුව සෙලීනා ගේ සේයාරූ, නම, කටහඬ හා කතාන්දරය පිළිබඳ පූර්ණ අයිතිය හිමිවන්නේ ඇගේ පියාට ය. මේ සම්බන්ධයෙන් ක්‍රිස් ගොණුකළ අභියාචනය 2018 වර්ෂයේදී ප්‍රතික්ෂේප වූ අතර, දෙපාර්ශවයේම එකඟතාව මත නඩුව නිශ්ප්‍රභා කොට ගෙන විසිර ගිය බව සඳහන් වේ.

මේ අතර, සෙලීනා ගේ පවුලේ සාමාජිකයින් විසින් නිශ්පාදනය කරන ලද ටෙලිනාට්‍ය කතාමාලාවක් නෙට්ෆ්ලික්ස් නාලිකාවේ එළි දැක්වීමට නියමිතව ද පවතී. ඒ තුළින් ක්‍රිස් ගේ අවශ්‍යතාවද ඉටු වනු ඇත. සෙලීනා: ද සීරීස් (Selena: The Series) ලෙසින් එය මෙම වසරේ තිරගත වීමට නියමිත ය.

.

මෙක්සිකෝවේ පොප් රැජිණ සදා අමරණීය වනු ඇත..

සෙලීනා ගැයූ ගීත අදටත් ලතින් ඇමරිකානු හා ඇමරිකානු ප්‍රජාව අතර ජනප්‍රිය ය. “බිඩි බිඩි බොම් බොම්” නම් ගීතය ඒ අතර ප්‍රධාන වේ. 2017 නොවැම්බර් 3 වන දින හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් හි දී සෙලීනා හට ටයිලයක් වෙන් කරන ලදී. තවද, නගරාධිපති එරික් ගාර්සෙටි විසින් ලොස් ඇන්ජලීස් හි “සෙලීනා දිනය” ප්‍රකාශයට පත් කරන ලදී.

https://www.youtube.com/watch?v=FwZTgDjRLM0

2019 පෙබරවාරි මාසයේදී ටෙක්සාස් ප්‍රාන්ත නියෝජිත ඇනා-මාරියා රමෝස් විසින් සෙලීනාගේ උපන්දිනය වූ අප්‍රේල් 16 නිවාඩු දිනයක් ලෙස නම් කිරීම සඳහා පනතක් ඉදිරිපත් කරන ලදී. එම වර්ෂයේදී ම සැන් ඩියාගෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය විසින් 2020 වර්ෂයට අදාලව “සෙලීනා සහ ලතින් මාධ්‍ය නියෝජනය” නමින් නව පාඨමාලාවක් විවෘත කිරීමට ද සැලසුම් කර තිබේ.

සෙලීනා ගේ අකල් වියෝවෙන් ඈ සිය රසිකයන් අතහැර ගියද, ඇගේ උරුමය සදහටම ජීවත් වනු ඇත..

සම්පත් දායකත්වය: රවින්ත ප්‍රනාන්දු



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි