×

වසර 40,000ක් පැරණි වෘක හිසක් සයිබීරියාවෙන් හමුවේ

හිම යුගයේ ජීවත් වූ වෘක විශේෂයකට අයත් වෘකයකුගේ හිසක් සයිබීරියාවෙන් සොයාගැනේ.


රුසියානු සහ ජපාන විද්‍යාඥයින් පිරිසක් විසින් වසර 40,000 පමණ පැරණි, හිම යුගයේ ජීවත් වූ වෘක වර්ගයකට අයත් වෘක හිසක් සොයාගෙන ඇත. මෙම වෘක හිස හිමවලට යටවීමෙන් මිදුණු පස් යට සැලකිය යුතු හානියකින් තොරව තැන්පත්ව තිබී ඇත. එය පසුගිය සතියේ ටෝකියෝ හිදී පැවැත්වුණු මැමත් ප්‍රදර්ශනයකදී මහජනතාවට විවෘත කරන ලදී.

සොයාගත් වෘක හිස සෙන්ටිමීටර් 40 ක් පමණ දිගු හිසක් වන අතර තවමත් ලෝමවලින් ආවරණය වී ඇත. මිය යන විට මෙම වෘකයා වයස අවුරුදු දෙකත් හතරත් අතර පසුවූ බවද සොයාගෙන ඇත.

මෙම වෘක හිස සොයාගෙන ඇත්තේ සයිබීරියාවේ යකුටියා ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මැමත් දල සොයමින් සිටියදීය. මීට පෙර මේ ආසන්න ප්‍රදේශවලදී හොඳින් සංරක්ෂණය වුණු, නොවැඩුණු ගුහා සිංහයින්ගේ කොටස්ද හමුවී ඇත. 

වසර පුරාම මෙම ප්‍රදේශයේ පස් මිදී පවතින අතර, එමනිසා ඉපැරණි දල සහ මෘත ශරීර කොටස් දිරායාමෙන් තොරව සුරැකී පවතී. කෙසේනමුත්, ගෝලීය කාලගුණ වෙනස්කම් හේතුවෙන් මෙම හිම දියවෙමින් පවතින අතර, එනිසා මෙවැනි අවශේෂ කොටස් වඩාත් සුලබව මතුවෙමින් පවතී.

ස්ටොක්හෝම් හි පිහිටි ස්වාභාවික ඉතිහාසය පිළිබඳ වන කෞතුකාගාරයකට මෙම වෘක හිසේ සාම්පලයක් යොමුකිරීමෙන් පසුව නිර්ණය කර ඇත්තේ එය සහශ්‍රවර්ෂ 40ක් පමණ පැරණි පවයි.

මෙම වෘක හිස තුළ හොඳින් සංරක්ෂණය වූ වෘකයාගේ මොලයද ඇති බව විද්‍යාඥයින් පවසයි.

ස්ටොක්හෝම් සහ ටෝකියෝ හි විද්‍යාඥයින් විසින් මෙම වෘක හිසේ ඩී එන් ඒ සහ අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීමට සැලසුම් කරයි. මෙම වෘකයින් වඳවූවාද, එසේත් නැත්නම් නූතන වෘකයින් බවට පරිණාමය වුවාද, සහ ඔවුන් නූතන වෘකයාට කෙතරම් සමානකමක් දක්වන්නේද යන්න පිලිබඳ විද්‍යාඥයින් පරීක්ෂණ කිරීමට බලාපොරොත්තු වේ.

Article contributed by SC.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි