×

‘බඹසර රකින තනිකඩ දෙවිඳු‘ වඳින්නට සබරිමාලා ගිය ශ්‍රී ලාංකික කාන්තාවට පොලිසියෙන් බාධා

ශ්‍රී ලාංකික කාන්තාවක් සබ්රිමාලාවේ ශුද්ධ වූ පියගැට 18 නැගීමට සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළත්, මේ වන විට අලුත්ම ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ පොලිසිය අවසන් මොහොතේදී ඇයට බාධා කළ බවයි.


සසිකලා නමැති එම 46 හැවිරිදි කාන්තාවට සහ ඇගේ පවුලේ අයට සිවිල් ඇඳුම් ඇඳගත් පොලිසිය විසින් ආරක්ෂාව සැපයූ බවත්, කිසිදු බාධාවකින් තොරව ඇය සහ ඇගේ පවුලේ අය ශුද්ධ වූ අයියප්පා කෝවිල වැඳ පුදා ගත් බවත්, එම වන්දනා කටයුතු රාත්‍රී 9.30 ට පමණ  කේරළ පොලිසිය ප්‍රකාශ කර තිබූ අතර, එයට The Hindu ඇතුළු ඉන්දීය මාධ්‍ය විසින් ද විශාල ප්‍රචාරයක් ලබා දී තිබිණි. නමුත් මේ වන විට එම කාන්තාව පවසා තිබෙන්නේ, පියගැට 18 කින් සමන්විත ශුද්ධ වූ පියගැට පෙළ නැග අවසන් කරන අවස්ථාවේදී පොලිසිය පැමිණ ඇයට බාධා කළ බවයි.

ඇය මේ බව පවසා තිබෙන්නේ ආපසු එන ගමනේදී පැම්පා (සබරිමාලාවේ පිවිසුම් ස්ථානය) හි සිටි වාර්තාකරුවන් සමග ය. ‘‘මම බැතිමතියක්. මට දෙවියන් පුදන්නට අවශ්‍ය වුණා. මම ව්රතම් දින 48 සම්පූර්ණ කළා. මාව ආපහු හරවල එවන්න පොලිසියට පුළුවන්ද?“ යැයි ඇය ANI පුවත් සේවය වෙත කියා සිටියාය.

Asianet News ප්‍රකාශ කරන්නේ සසිකලා විසින් මරාකූටම් හි පිහිටා තිබෙන අයියප්පා කෝවිල වෙත ඇතුල් වන ස්ථානයට කිලෝමීටරයක් පමණ තිබියදී උද්ඝෝෂකයන් විසින් ඇයට බාධා කළ බවයි. The News Minute වෙත සසිකලාගේ සැමියා පවසා තිබෙන්නේ තමන් සමත් වුණේ මරකූටම් නමැති ස්ථානය දක්වා ගමන් කිරීමට පමණක් බවයි.

සසිකලා මෙම අයියප්පා කෝවිල ට ඇතුල් වීමට අවසර ලබාගෙන තිබෙන්නේ කේරළ පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ඉලෙක්ට්‍රොනික් පෝලිම් ක්‍රමය හරහා ය. එහිදී ඇය, තමන් ගර්භාෂය ඉවත් කළ කාන්තාවක් බව සනාථ කරන වෛද්‍ය සහතික ද පොලිසියට ඉදිරිපත් කර තිබිණි. එමගින් ඇය බලාපොරොත්තු වී තිබෙන්නේ පොලිස් ආරක්ෂාව ලබාගැනීමයි.

කෝවිල වඳින්න ගර්භාෂය ඉවත් කරගත යුතුද?

ආර්තව වයසේ පසුවන ස්ත්‍රීන් සබ්රිමාලාවට ඇතුළු වීම අවහිර කරමින් ක්‍රියාත්මක වන දක්ෂිණාංශික ව්‍යාපාරය වන ‘සබ්රිමාලා කර්ම සමිති (SKS) විසින් උද්ඝෝෂණ ගණනාවක් දියත් කර තිබේ. ඔවුන් විසින් ඇතැම් කාන්තාවන් කෝවිලට ඇතුල් වීම වළක්වාළමින් ඔවුන්ව ආපසු හරවා යවමින් සිටි බව ද වාර්තා වේ. මේ අතර ඔවුන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සඳහා මාතෘභූමි (Mathrubhumi) නමින් කාන්තා ව්‍යාපාරයක් ද වෙනම ක්‍රියාත්මක වේ.

මාතෘභූමි කාන්තාවන් පවසන්නේ, සබ්රිමාලාවේ අයියප්පා කෝවිල වැඳපුදා ගැනීමේ ‘පුරුෂ‘ කොන්දේසිය කිළි වැදීම නිසා කෝවිල අපවිත්‍ර වේය යන්න නම්, ගර්භාෂය ඉවත් කළ කාන්තාවකට පවා කෝවිල වැඳ පුදා ගැනීමට තවම අවසර නැති බව මෙම සිද්ධියෙන් හෙළිදරව් වන බවයි.

නමුත් ඒ සමගම පැන නගින ප්‍රශ්නය, පුරුෂ කලාපයක් සේ සැලකෙන සබ්රිමාලාවේ පාරිශුද්ධත්වයට හානි නොවන්නට නම්, කාන්තාවන් විසින් සිය ගර්භාෂ ඉවත් කර ගත යුතු බවද..?

කැමරා දුටු විට පොලිසිය සලකලා

කේරළ පොලිසිය සිවිල් ඇඳුමින් සැරසී සසිකලාගේ පවුලට කෝවිල් යාම සඳහා ආරක්ෂාව සැරසූ බව කලින් කියැවී තිබිණි. මේ සම්බන්ධයෙන් සසිකලාගේ සැමියා අපූරු කතාවක් කීවේය. ඔහු පැවසුවේ, පොලිසිය මාධ්‍ය වේදීන්ගේ කැමරා දුටු විට තමන්ට හොඳින් සලකන්නට පටන් ගත් බවයි. නමුත් අයියප්පා කෝවිල අසලදී ඇගේ ගමන පොලිසිය විසින් වළක්වා තිබේ.

හින්දුත්වවාදයේ පුරුෂ කලාපය

සබරිමාලා කෝවිල, වයස අවුරුදු 10 ත් 50 ත් අතර පසුවන කාන්තාවන්ට තහනම් කලාපයක් කෙරුණේ වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන් දෙදෙනෙක් සබරිමාලාවට ඇතුල් වීමත් සමග ය. 40 හැවිරිදි බින්දු අම්මානි (Bindu Ammini) සහ 39 හැවිරිදි කනක දුර්ගා (Kanaka Durga) නමැති එම කාන්තාවන් දෙදෙනා, ඉතිහාසයේ පළමු වරට සබරිමාලාව වන්දනා කළ ස්ත්‍රීන් දෙදෙනා බවට පත්විය. ඒ සමගම කේරළ ප්‍රාන්තය පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ පැතිර ගියේය. පාසල්, පොදු ප්‍රවාහන සේවා සියල්ලම අක්‍රිය විය. බදාදා හටගත් ගැටුම්වලින් එක් අයෙක් මරණයට ද පත්විය. අවසානයේ, රජය කළේ සබරිමාලාව වසා දැමීමයි. කේරළයේ භාරතීය ජනතා පක්ෂය, සබරිමාලා ඇක්ෂන් කවුන්සිලය සමග එක්වී මේ තීරණය ගත්තේ හින්දුත්වවාදය කරපින්නාගත් බහුතර මතයට ඉඩ ලබාදෙමිනි. ඔවුන් මෙසේ කළේ, සැප්තැම්බරයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සබරිමාලාව කාන්තාවන් සඳහා විවෘත කරන ලෙස ලබාදුන් නියෝගය ද නොතකමිනි. මේ වන විට බදාදා සහ බ්‍රහස්පතින්දා හටගත් ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ හේතුවෙන් 700 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවිය. පොලිස් නිලධාරීන් ද 60 දෙනෙක් තුවාළ ලබා තිබේ. බස් රථ 80කට පමණ කලහකාරීන් විසින් හානි කර තිබේ. පොලිස් වාහන ද 12 ක් පමණ උද්ඝෝෂකයන්ගේ ප්‍රහාරවලට මේ වන විට ලක්ව ඇත.

KAVIYOOR SANTOSH
KAVIYOOR SANTOSH

කේරළ ප්‍රාන්ත රජය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සහාය දක්වන අතර මහඇමති විජයන් දිගින් දිගටම පැවසුවේ තමන් විසින් එම අධිකරණ තීන්දුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.

නමුත් ඉන්දියාව පාලනය කරන, මෝදිගේ ආශිර්වාදය ලබන හින්දු ජාතිවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) දිගින් දිගටම පවසන්නේ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හින්දු වටිනාකම්වලට ප්‍රහාරයක් බවයි.

මේ වන විට මෙම ගැටළුව, අප්‍රේල් සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබෙන ඉන්දීය මහමැතිවරණයට ද තීරණාත්මක බලපෑමක් සිදුකරමින් තිබේ. දක්ෂිණාංශය සහ කේරළයේ වාමාංශය අතර ගැටුමක් ලෙස මෙය අර්ථ දැක්වේ. අගමැති නරේන්ද්‍ර මෝදි මේ සඳහා ප්‍රමාණවත් දෙයක් කරමින් නොසිටින බවට ද චෝදනා නැගේ.

ස්ත්‍රීන් නොරිසි තනිකඩ දෙවියා

සබරිමාලාවේ අයියප්පා කෝවිලට ගැහැණුන් අරහං ඇයි?

GETTY IMAGES Image caption Devotees believe Lord Ayyappa is a an avowed bachelor
GETTY IMAGES | Devotees believe Lord Ayyappa is a an avowed bachelor

සබ්රිමාලා කෝවිල පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණේ චාරිත්‍ර විසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උල්ලංඝනය කරමින් තමන්ට කෝවිලට ඇතුල් වීම වළක්වා ඇතැයි ඉන්දීය කාන්තාවන් කණ්ඩායමක් විසින් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ය.

හින්දු ආගම අනුව පමණක් නොව ඉන්දීය සමාජය ද සලකන්නේ ආර්තවය සිදුවන ගැහැණුන්, අපිරිසිදු ය කියා ය. ඒ අනුව ඔවුන්ට ශුද්ධ වූ ආගමික ස්ථානවලට ඇතුල් වීමට අවසර නැත. ඉන්දියාවේ බොහෝ පූජනීය ස්ථානවලට කාන්තාවන් ට ඇතුල් විය හැක්කේ ආර්තවය සිදුනොවන දිනවලදී පමණි. නමුත් සබරිමාලා කෝවිල හෙවත් සබරිමාලා හි පිහිටා තිබෙන අයියප්පා කෝවිල විසින්, ස්ත්‍රීන් යනු ආර්තවය හැදෙන කොට්ඨාසයක් වන බැවින්, කිසිදු ස්ත්‍රියකට කිසිදු අවස්ථාවක කෝවිලට ඇතුල් වීම වළක්වාළන චාරිත්‍රයක් අතීතයේ පටන්ම අනුගමනය කර තිබිණි.

බැතිමතියන් කියන්නේ මේ කාන්තාවන් පිටුදැකීමේ චාරිත්‍රය, අයියප්පා කෝවිලේ වැඩ සිටින අයියප්පා දෙවියන් පවා බලාපොරොත්තු නොවූ දෙයක් වන බව ය.

නමුත් අයියප්පා කෝවිල් වඳින පිරිමි බැතිමතුන් කියන්නේ වෙනත් කතාවකි. ඔවුන්ට අනුව අයියප්පා දෙවිඳු බඹසර රකින තනිකඩයෙකි.

ඒ නිසා ගැහැණුන්ට කෝවිල් එන්නට ඉඩ නොදීම ආර්තවය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන බවත්, ගැහැණුන් තමන්ට වඳිනු පුදනු දැකීමට අයිය්පපා දෙවිඳු අදහස් නොකළ බවත් ඔවුහු කියති. අයියප්පා දෙවියන්ගේ ආශිර්වාදය ලබාගත යුතු නීති රීති මාලාව ඉතා පැහැදිලිව දක්වා තිබෙන බව ද ඔවුහු කියති.

කෙසේ නමුත් මේ වන විට ආර්තවය හැදෙන වයසේ පසුවන, එනම් අවුරුදු 50 ට අඩු ගැහැණුන් දෙදෙනෙක් විසින් දැනටමත් අයියප්පා දෙවිඳු වැඳ තිබේ. අද දිනයේ වාර්තා වන සසිකලාගේ සිදුවීම අපට නැවත කියන්නේ ආර්තවය හැදෙන්නට ගර්භාෂයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවලින් සනාථ කළ ගැහැනියකට පවා තවමත් අයියප්පා දෙවියන් දකින්නට වරම් නැති බව ය. අනෙක් අතට, ස්ත්‍රීපුරුෂ සමාජභාවී භේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතු ‘ඇදහිල්ලේ අයිතිය‘ සනාථ කරන්නට ස්ත්‍රියකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්නට සිදුවීම ස්ත්‍රී ව්‍යාපාරය ලද පරාජයක් නොවේද?

ප්‍රධාන ඡායාරූපය: The Week



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි