×

9/11 සංවත්සරය: ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ලෝකයේ පදනම සෙළවූ අයුරු

ජාත්‍යන්තර ත්‍රස්තවාදය විසින් ලෝක පොලිස්කාරයාගේ පදනම සෙළවූ අයුරු


9/11 ප්‍රහාරය ලෙස ප්‍රකට සැප්තැම්බර් 11 ප්‍රහාරය යනු, සැබවින්ම ‘කෝඩිනේටඩ් ඇටෑක්ස්‘ (coordinated attacks) හෙවත් එකිනෙකට සම්බන්ධිත හා සම්බන්ධීකරණයකින් යුතුව ක්‍රියාත්මක වූ ත්‍රස්ත ප්‍රහාර 4 ක එකතුවකි. මෙය ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව අල් කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් 2001 සැප්තැම්බර් 11 වැනි අඟහරුවාදා උදේ වරුවේ එල්ල කෙරිණි.

එදින ඊසාන දිග ඇමරිකා එක්සත් ජනපදයේ සිට කැලිෆෝනියාව දක්වා ගමන් අරඹා තිබූ වාණිජ ගුවන් යානා 4 ක් උඩු ගුවනේදී අල් කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙක් විසින් හයිජැක් කෙරිණි. ගුවන් යානා පැහැර ගත්තෝ, කණ්ඩායම් 3කට බෙදුණහ. සෑම කණ්ඩායමකම ගුවන් යානාවක් පැදවීම පිළිබඳ පුහුණුව ලැබූ ත්‍රස්තවාදියෙකු ද විය. ඔවුන්ගේ අරමුණ වූයේ ජනාකීර්ණ ගොඩනැගිලි වලට මෙම ගුවන් යානා කඩා වැට්ටවීම සිදුකර මහා පරිමාණ මිනිස් ඝාතන සිදුකිරීමයි. තවද පූර්ණ හෝ අර්ධ වශයෙන් එම ගොඩනැගිලි ද විනාශ කර දැමීමයි.

ඔවුන්ගෙ ඉලක්කය වෙත ළඟා වූ පළමු ගුවන් යානාව American Airlines Flight 11 විය. එය නිව්යෝක් නුවර ලෝවර් මැන්හැටන් පෙදෙසේ පිහිටා තිබූ ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුර කුලුන වෙත උදෑසන 8.46 ට කඩා වැදුණේය. එම කුලුන ගිනි ගෙන දැල්වෙමින් මහා විනාශයකට බඳුන් වී තිබියදී එයින් විනාඩි 17කට පසු, උදෑසන 9.03 ට United Airlines Flight 175 ගුවන් යානය දකුණු කුලුනේ වැදුණේය. මේ ගොඩනැගිලි දෙකම තට්ටු 110 බැගින් උස ඒවා විය.

මෙම කුලුනු දෙකම පැයක් සහ විනාඩි 42 ක් ඇතුළත සම්පූර්ණයෙන්ම බිමට කඩා වැටුණේ අවට තිබූ සෙසු ගොඩනැගිලි ද බිමට සමතලා කරමින් සහ ඒවාට හානි කරමිනි.

 

මේ අතර ඇමරිකානු ගුවන් සේවාවට අයත් American Airlines Flight 77 ගුවන් යානාවක් ද ඔහායෝ හිදී උදෑසන 9.37ට පැහැර ගනු ලැබිණි. එය පෙන්ටගනයට අයත් භූමියේ බටහිර කොටසට කඩා වැටුණේ, එහි ඉලක්කය වූ පෙන්ටගන් ගොඩනැගිල්ල යන්තම් බේරමිනි. ගොඩනැගිල්ලේ කොටසකට මෙයින් හානි සිදුවිය.

මේ අතර වොෂින්ටන් ඩී.සී. බලා පියාසර කරමින් තිබූ United Airlines Flight 93 හි මගියෝ, ත්‍රස්ත කණ්ඩායම සමග පොර බදමින් යානයේ පාලනය තමන් සතු කර ගැනීමට තැත් කළහ. එහි ප්‍රතිඵලය ලෙස එය වොෂින්ටනයෙන් ඉවතට පියාසර කරවීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් මේ ගුවන් යානාව ද උදෑසන 10.03 ට පෙන්සිල්වේනියා ජනපදයේ ෂාන්ක්ස්විල් හිදී කඩා වැටුණේය. විමර්ශනවලින් හෙළි වූයේ මේ ගුවන් යානය වඩා වැදීමට නියමිත වූයේ ධවල මන්දිරයට හෝ ඇමරිකානු සෙනෙට් සභාව රැස්වන කැපිටල් ගොඩනැගිල්ල වෙත බව ය.

බින් ලාඩන් දඩයම ඇරඹෙයි

ප්‍රහාරවල සැකය ක්ෂණිකවම එල්ල වූයේ අල් කයිඩා සංවිධානය වෙත ය.

ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ප්‍රකාශයට පත් කරමින් සහ තලෙයිබාන් සංවිධානයේ බලකොටුව වූ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරමින් ප්‍රහාරයට වහාම ප්‍රතිචාර දැක්වූයේය. අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා මෙහෙයුම් දියත් කෙරිණි. මුලින් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කළ ඔහු, අවසානයේ 2004 වසරේදී එහි වගකීම භාරගත්තේය.

ඇමරිකාව විසින් ඊශ්‍රායලය වෙත සහාද දැක්වීම, සෞදි අරාබියේ ඇමරිකානු හමුදා භටයන් රඳවා තැබීම සහ ඉරාකයට එරෙහිව පැවති සම්බාධක මෙම ප්‍රහාරයන්ට වස්තු බීජ වු බව බින් ලාඩන් පැවසුවේය. දශකයකටත් වඩා වැඩි කාලයක් සැඟවෙමින් ද පළා යමින් ද සිටි බින් ලාඩන් අවසානයේ පාකිස්ථානයේ ඇබොට්ටාබාද් හිදී නේවි සීල් භටයන් විසින් Operation Neptune Spear මෙහෙයුම මගින් මරා දමන්නේ බරාක් ඔබාමාගේ ධුර කාලයේදී ය.

පසුව පෙන්ටගනය බින් ලාඩන් මෙම ගුවන් යානා යොදාගනිමින් සිදුකරන ප්‍රහාර ගැන සාකච්ඡා කරමින් සිටින වීඩියෝවක් ද සොයාගත්තේය.

 

මහා ගෝලීය උද්ධමනය

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සහ ඒ අවට සිදුවූ යටිතල පහසුකම් විනාශය ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කළේය. එපමණක් නොව එය ගෝලීය වශයෙන් ද ආර්ථික උද්ධමනයක් ඇති කළේය. බොහෝ රටවල් සිය ත්‍රස්ත විරෝධී නීති දැඩි කළ අතර, ත්‍රස්ත ප්‍රහාරවලට බියෙන් ආරක්ෂක අයවැය වැඩි කළහ. සැප්තැම්බර් 13 වන තෙක් ඇමරිකානු සහ කැනඩා සිවිල් ගුවන් පථ වසා දැමිණ. වැඩිදුර ප්‍රහාර සිදුවේ යැයි බිය ලෝකය පුරා පැවතිණි. එම බියෙන් වැඩිපුරම සලිත වී සිටියේ ද ඇමරිකාවයි. 2002 මැයි මාසය වන තෙක්ම ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සුන්බුන් ඉවත් කිරිම් සිදුකෙරිණි. පෙන්ටගනය අලුත්වැඩියා කිරීමට තවත් වසරක් ගත විය. ලෝක වෙළඳ මධ්‍යස්ථානය නැවත ඉදිකිරිම සම්පූර්ණ වූයේ 2006 නොවැම්බරයේදී ය. එය විවෘත කෙරුණේ 2014 නොවැම්බරයේදී ය.

ප්‍රහාරයෙන් සිදුවූ හානි

  • මරණ ගණන – 2,977
  • තුවාළ ලැබූවන් – 25,000 කට අධිකයි
  • දේපළ හානිය – ඇමරිකානු ඩොලර් බිලියන 10කට අධිකයි

ලෝකයේ මාරකම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන්නේ 9/11 ය. තවද ඇමරිකානු ඉතිහාසයේ ආරක්ෂක නිලධාරීන් (72) සහ ගිනි නිවන භටයන් (340) වැඩිම පිරිසක් මිය ගිය සිද්ධිය වන්නේ ද මෙයයි.

අද වන විට ප්‍රහාරය සිහිගන්වමින් නිව්යෝක් නුවර National September 11 Memorial & Museum ඉදිකර තිබේ. වර්ජිනියාවේ පෙන්ටගන් ස්මාරකය ඉදි කර තිබේ. පෙන්සිල්වේනියාවේදී ඉලක්කයට යා ගත නොහැකිව ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ Flight 93 ජාතික ස්මාරකය ඉදි කර තිබේ.

වින්දිතයන්ගේ කතාන්දර දහස් ගණනකි. සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි ලක්ෂ ගණනකි. PSD ඇතුළු දීර්ඝ කාලීන කම්පන තත්වයන් ගෙන් අද ද පීඩා විඳින්නෝ දස දහස් ගණනකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි