×

දරු ප්‍රසූතියට යන අම්මා, ප්‍රසූත වේදනාව පසෙක තබා ඡන්දය දමයි!

ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ ගැබිනි කාන්තාවක්, දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වීමට යමින් සිටියදී ඡන්ද මධ්‍යස්ථානයක් අසල රිය නතර කර ඡන්ද ප්‍රකාශ කළ සිද්ධියක් ඇමරිකාවෙන් වාර්තා වේ.


ඔරෙන්ජ් කන්ට්‍රි හි පිහිටා තිබූ අර්ලි වෝටිං ඡන්ද මධ්‍යස්ථානයට ඇය පැමිණ සිටි පුවත දැනුම් දෙන්නට දිව ගියේ ඇගේ සැමියා ය.

ඔහු පැවසුවේ සිය බිරිඳ ප්‍රසූත වේදනාවෙන් පෙළෙමින් මෝටර් රථය තුළ සිටින බවත්, රෝහල්ගත වීමට පෙර ඇයට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය යැයි කියන බවත් ය.

ඡන්දය ප්‍රකාශ කරන තෙක් ඇය රෝහලට යාම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු කියා තිබේ.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සේවිකාවක් මෝටර් රථය වෙත දිව ගොස් ඇය අතට ඡන්ද පත්‍රිකාවක් ලබා දී, ඇගේ අනන්‍යතා තහවුරුව සිදුකර තිබේ.

එය ඇය පසුව පිරවීමට අදහස් කරනු ඇතැයි ඡන්ද රාජකාරියේ නියුතු අය සිතූ නමුත්, එය අතට ගත් වේලාවේම ඇය ඡන්ද පත්‍රිකාව පිරවීමට පටන් ගෙන ඇත.

ඇය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවසන් මොහොත වන තෙක්ම සිටියේ ඇයිදැයි ඇමරිකානු මැතිවරණ රාජකාරිවල නිරත අය හරස් ප්‍රශ්න ඇසුවේ නැත.

‘‘ඇතැම්විට ඇයට තනිවම ඡන්දය දමන්නට එන්න උවමනාව තිබෙන්න ඇති. නමුත් ඒ අතරවාරයේ දරු ප්‍රසූතිය සඳහා ඇයට රෝහල්ගත වෙන්නට සිද්ධ වෙලා ඇති..‘‘ යැයි ස්කයි පුවත් සේවාව අමතා ඡන්ද මධ්‍යස්ථානයේ අය කීහ.

යම් විදිහකින් මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදුවුණේ නම් තත්වය කුමක්ද? රැස්ව සිටින ජනී ජනයා සහ කැමරා පෙරටුකරගත් ‘මාධ්‍ය කරුවන්‘ ඇයව හිසේ සිට දෙපතුළටම වීඩියෝ කරනු ඇත. ඇගෙන් වොයිස් කට් ගැනීමට උත්සාහ කරනු ඇත.

නමුත් මේ, පුරවැසියාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන ඇමරිකාවයි.

එනිසා කිසිවෙකු ඇගේ ඡායාරූපයක් ගැනීම හෝ ඇය ඡන්දය දැම්මේ කාටදැයි දැනගැනීමට උත්සාහ කිරීම වැනි බාල වැඩ කළේ නැත.

ඇමරිකානු පුවත් සේවාවන් මේ පුවතේ ඇති ප්‍රවෘත්තිමය වැදගත්ම හුවා දක්වනවා මිස, ඒ කාන්තාව කවුදැයි ඇගේ අනන්‍යතාවය සොයමින් ඇයව අපහසුතාවයට පත් කරන්නට යන්නේ  නැත. අන්තර්ජාලය පීරා සෙව්වත් ඔබට ඇගේ ඡායාරූපයක් සොයාගන්නට නොලැබෙන්නේ ඒ නිසා ය.

2020 ජනාධිපතිවරණය ඇමරිකාවේ අනාගතය තීරණය කරන මැතිවරණයක් වන හෙයින්, සිය ඡන්ද අයිතිය භාවිතා කිරීම, නූපන් දරුවාගේ හෙට දවස වෙනුවෙන් පළමුව කළ යුතු බව මේ කාන්තාව සිතන්නට ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි