×

ABBA ගැයූ Dancing Queen ගීතය 4K තාක්ෂණයෙන් යූටියුබයේ!

70 දශකයේ ගීත අමන්දානන්දය ABBA ගැයූ Dancing Queen ගීතයේ වීඩියෝ පටය 4K Ultra HD තාක්ෂණයෙන් යූටියුබ් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර තිබේ.


ABBA ගැයූ Dancing Queen ගීතයේ වීඩියෝ පටය යූටියුබ් හි මිලියන 500 ප්‍රේක්ෂකයන් නැරඹීම නිමිති කොට ගෙනයි මෙසේ තත්ත්වය උසස් කොට තිබෙන්නේ.

Dancing Queen යනු ABBA ගැයූ ගීත අතරින් එක්සත් ජනපදයේ බිල්බෝඩ් ඇතුළු ලොව ප්‍රධාන සංගීත දර්ශක 09 ක අංක 01 ස්ථානයට පැමිණි එකම ගීතයයි.

මෙම ගීතයේ ජනප්‍රියත්වය අනෙකුත් ABBA ගැයූ ගීත අතුරින් සුවිශේෂීත්වයක් ගනු ලබන අතර, ABBA සන්නාමය එම කණ්ඩායම නිල වශයෙන් වෙන්ව ගොස් වසර 39 ගතවී ද අදටත් ප්‍රේක්ෂක හද නොමැකෙන සටහනක් බවට පත්ව තිබෙන්නේ Dancing Queen ගීතය නිසා බව පැවසිය හැකිය.

4K Ultra HD තාක්ෂණයෙන් වැඩිදියුණු කළ Dancing Queen වීඩියෝ පටය 70 දශකයේ පටිගත කරන ලද ගීත වීඩියෝවක් ද යන්න පවා හඳුනා ගත නොහැකි මට්ටමට පැහැදිලි දසුන් වලින් සමන්විත වේ.

වර්තමානයේ චිත්‍රපට 4K Ultra HD තාක්ෂණයෙන් බ්ලූරේ තැටි වලට මුදා හැරීම බහුලව සිදුවේ. ඒ අයුරින් HD හෙවත් හයි ඩෙෆිනිෂන් තාක්ෂණය නොපැවති පැරණි චිත්‍රපට පවා ප්‍රතිසංස්කරණය කොට වඩාත් සුපැහැදිලි දසුන් සහිතව වෙළඳපළට නිකුත් කිරීම බොහෝ දෙනෙකු ගේ ප්‍රසාදයට තුඩුව තිබේ.

හයි ඩෙෆිනිෂන් තාක්ෂණයේ වාසිය වන්නේ මුල් පිටපත් නැරඹීමේදී පැහැදිලි නොවූ ඇතැම් තොරතුරු පවා පැහැදිලිව හඳුනා ගැනීමට හැකිවීමයි.

මේ අන්දමින් 60 – 70 – 80 දශක වල නිකුත් වූ චිත්‍රපට වල මුල් පිටපත් නැරඹීමේදී හසු නොවූ බොහෝ සියුම් තොරතුරු පියවි ඇසට දැකගැනීමේ හැකියාව ලැබේ.

ඒ අයුරින් වීඩියෝ පට තුළ ප්‍රේක්ෂකයන් නිරීක්ෂණය කළ පෙර නොදුටු කරුණු පිළිබඳ ලිපි පවා නොමඳව ලියවේ.

ABBA Dancing Queen ගීතයේ 4K Ultra HD වීඩියෝ පටය නැරඹීමෙන් ද නුදුරේදී ම එවන් ලිපි ලියවෙනු ඇත.

මෙම ගීත වීඩියෝ පටය කොපමණ සුපැහැදිලි ද කිවතොත්, ගීතය ගායනා කරන මොහොතේ එම මැදිරිය තුළ නර්තනයේ යෙදෙන පිරිස ගණනය කිරීමට පවා ඔබට හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි