×

වසර 40 කට පසුව නැවතත් BBC ගීත ඇල්බම දර්ශකයේ කිරුල ABBA හිමිකර ගනී – Voyage අංක 01ට!

දශක 04 ක නිහැඬියාවකින් අනතුරුව යළි සංගීත ලොවට පිවිසි 70 දශකයේ ගීත අමන්දානන්දය ABBA සිය නවතම ගීත ඇල්බමය Voyage එළි දැක්වූයේ ඉකුත් නොවැම්බර් 05 වන දිනය.


නවතම ගීත 10කින් සමන්විත වන මෙම ඇල්බමය සංගීත ලොව තුළ අතිසාර්ථක කාර්යසාධනයක් පෙන්වන බවට ලොව වටා ජාත්‍යන්තර ගීත දර්ශක නැවත වරක් සාක්ෂි දරමින් සිටී.

ඒ අනුව, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, ස්කොට්ලන්තය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය (බීබීසී) යන රටවල් වල ජාත්‍යන්තර ගීත ඇල්බම දර්ශක වල පළමු (#01) ස්ථානයට පත්වීමට Voyage ඇල්බමය සමත්ව ඇත.

මීට අමතරව, ඉතාලියේ #06 වන ස්ථානයට ද, ජපානයේ #04 වන ස්ථානයට ද, ලිතුවේනියාවේ #23 වන ස්ථානයට ද, Voyage ඇල්බමය පත්ව ඇත.

එක්සත් ජනපදයේ බිල්බෝර්ඩ් ගීත දර්ශක පිළිබඳ පුරෝකථනයක් ලබා දීමට තවමත් (නොවැම්බර් 13) අපහසු මුත්, දශක 04 ක නිහැඬියාවකින් පසු ඇග්නේතා, බියෝර්න්, බේනී සහ ඇනි-ෆ්‍රිඩ් හෙවත් ABBA මෙසේ තම සංගීත රාවය යළි අවදිකිරීම හරහා යුග පහක ලෝක වාසී සංගීත ලෝලීන් එකිනෙක සේතුගත කළ බව නම් පසක් වේ.

 ABBA Voyage ඇල්බමය ද ඔවුන්ගේ පෙර ඇල්බම මෙන් විවිධ තේමාවන් රැගත් ගීත එකතුවකින් සමන්විත වන අතර, මෙම ගීත වල විශේෂත්වය වන්නේ අතීත ගීත වලට සාපේක්ෂව, ගීත පදපෙළ හරහා ඔවුන් සිය වියපත්භාවය මනාව පිළිගෙන තිබීමයි.

තම තරුණ විය යළි ආවර්ජනය කරමින් දැන් ඔවුන් වැඩිහිටියන් බවත්, එම වැඩිහිටිභාවය තුළ ඉතිරිව පවතින්නේ සුන්දර මතකයන් බවත් මෙම ගීත වලින් කියවේ.

1979 වසරේදී නිකුත් වූ “I Have A Dream”, “Chiquitita” වැනී ගීත වලින් දරුපරපුර ආමන්ත්‍රණය කළ ABBA මෙවර ඒ හා සමානවම දරු පරපුර ආමන්ත්‍රණය කරන්නේ Voyage ඇල්බමයේ ලලබයි මාදිලියේ මෙන්ම නත්තල් සුභාසිරි ගෙන එන ගීතයක් වන “Little Things” නම් ගීතය හරහායි. පවතින විශේෂත්වය වන්නේ ඒ වැඩිහිටියන් ලෙස නොව වියපත් වැඩිහිටියන් ලෙස වීමයි. එනම් ABBA මෙවර ආමන්ත්‍රණය කරන්නේ තම දරුවන්ගේ දරුවන් ය!

Voyage ඇල්බමය පිළිබඳ අදහස් දක්වමින් ABBA හි කීබෝඩ්/පියානෝ වාදක බෙනී ඇන්ඩර්සන් පවසන්නේ සැබවින්ම මෙම ඇල්බමය යාත්‍රාකළ දිගු ගමනක් (voyage) සිහිගන්වන බවයි. දශක 04 ක නිහැඬියාවකින් අනතුරුව මුල් සාමාජිකයන් සතර දෙනාම නැවත වරක් සංගීත මැදිරියකට ගොනුවී ගීත පටිගත කිරීම හරහා තමා සතු පැරණි ජවය හා රසායනය යළි පණගැන්වූවක් මෙන් දැනුණු බව පවසන්නේ ගිටාර් වාදක බියෝර්න් උල්වේයස් ය.

ABBA හි පියානෝ වාදක බෙනී වරක මාධ්‍ය වෙත පවසා තිබුණේ මෙම Voyage ඇල්බමය සිය අවසාන ගීත ඇල්බමය වනු ඇති බවයි. කෙසේවෙතත්, බීබීසී පුවත්සේවය මීට දින කිහිපයකට ඉහත ඇනිෆ්‍රිඩ් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඈ අවධාරණය කළේ මෙය අවසානය යැයි පිළිගැනීමට තමා සූදානම් නොමැති බවයි.

එය අනාගතයේ යම් දිනක තවතවත් ABBA ගීත නිර්මාණය වීම පිළිබඳව ලබා දුන් ඉඟියක්ද යන්න පිළිබඳව අප දන්නේ නැත. එහෙත් නිසැක වශයෙන්ම ABBA බාල මහළු රසිකයන් කා අතරත් විමතිය දනවන ක්‍රියා රැසක් මේ වන විටත් සිදුකර අවසන් ය.

මේ අතර එළඹෙන 2022 වසරේදී නව ඩිජිටල් සංගීත ප්‍රසංගයක් එළිදැක්වීමට ABBA සූදානමින් සිටින අතර, මෙම ප්‍රසංගය සිය තරුණ අවධියේ පෙනුම යළි ප්‍රතිසංස්කරණය කළ හොලොග්‍රෑම් ABBA සාමාජිකයන් සතර දෙනෙකු විසින් පැවැත්වීම එහි විශේෂත්වයයි.

(Update: 2021.11.18 දින එක්සත් ජනපද බිල්බෝර්ඩ් ගීත දර්ශකයේ දෙවෙනි ස්ථානයට පැමිණීමට ABBA Voyage ඇල්බමය සමත්ව ඇත.)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි