×

ඉරණම ඉවෙන් දැන – ජීවිතය ඉල්ලූ වෛද්‍යවරයා මිය යයි

‘‘එක්සත් රාජධානියේ සිටින සියලුම NHS සුව සේවකයන්ට ආරක්ෂිත පුද්ගලික මෙවලම් (PPE-Personal protective equipment) ලබාදෙන්න‘‘


‘‘එක්සත් රාජධානියේ සිටින සියලුම NHS සුව සේවකයන්ට ආරක්ෂිත පුද්ගලික මෙවලම් (PPE-Personal protective equipment) ලබාදෙන්න‘‘ එදා ඔහු බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හට ලිපියක් ලීවේ තමන්ගේ ඉරණම ගැන ඉව වැටී තිබූ නිසා ද? අවසානයේ අගමැතිවරයා තුන්වැනි දිනටත් දැඩි සත්කාර ඒකකයේ – නමුත් ස්ථාවර සෞඛ්‍යයකින් පසුවෙද්දී ඔහු එම ලිපියෙන් සති 3කට පසු – අද සවස – කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දිවි හැර ගියේය.

වෛද්‍ය අබ්දුල් මබුද් චෞද්රි (Abdul Mabud Chowdhury) 53 හැවිරිදි විය. බ්‍රිතාන්‍යයේ උපන් මුස්ලිම් ජාතිකයෙකු වූ ඔහු, වසංගතයෙන් ඔබ්බට ද ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගැන සිහින මැවූ බවට සැක නැත. ඔහු වෛද්‍යවරයෙකු ලෙස සේවය කළේ නැගෙනහිර ලන්ඩනයේ හෝමර්ටොන් රෝහලේ මුත්‍රාශිත රෝග පිළිබඳ වෛද්‍යවරයෙකු ලෙස ය.

නමුත් අවසානයේ දින 15 ක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබා ජීවිතය හැර යන්නේ කොරෝනා වෛරසය සමග සටනෙන් පරාජය වීමත් සමග ය.

මාර්තු 18 වැනිදා අගමැති බොරිස් ජොන්සන් හට ඔහු විසින් යවන ලද ලිපියේ ඔහු, PPE ‘වහාම‘ ලබාදීමේ අවශ්‍යතාවය අවධාරණය කරයි. ‘එක්සත් රාජධානියේ එක් අයෙකු නෑර සෑම සෞඛ්‍ය සේවකයෙකු හටම ඒවා ලබාදිය යුතු බ‘ව තරයේ කියයි. සුව සේවකයන් රෝගීන් සමග සෘජුව ගැටෙන අය බව සිහිපත් කර දෙන ඔහු, ‘අපේ පවුල සහ දරුවන් සමග රෝ බියෙන් තොරව මේ ලෝකයේ සෙසු අය මෙන්ම ජීවත් වීමට අපට මානව අයිතියක් තිබේ‘‘ යැයි ද අවධාරණය කරයි. මේ තත්වය ලෝකයේ සියලු රටවලට පොදු ය. ශ්‍රී ලංකාවේ පවා, රෝගීන් සමග සෘජුව ගැටෙන වෛද්‍යවරුන් ප්‍රමුඛ සුව සේවා කාර්ය මණ්ඩල ආරක්ෂිත මෙවලම් සහ උපකරණ නොමැතිව රෝගී ජීවිත සුවපත් කරමින් සිටින්නේ තමන්ගේ ජීවිත මරුවාගේ දෑතට පත් කරමින්ද?

ඉතින් ඔහු ලියූ ලිපිය හුදෙක් වෛද්‍යවරුන්ගේ හෝ සුව සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ලියූ ලිපියක් සේ නොසිතන්න. අගමැති බොරිස් ජොන්සන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ, අන් කිසිවක් නොව ‘ජීවිතය‘යි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි