×

410/436 වශයෙන් ඉතියෝපියාවේ මහ මැතිවරණයෙන් අගමැති අබීට විශිෂ්ට ජයක් !

ඉතියෝපියාවේ මහ මැතිවරණයෙන් අගමැති අබී අහ්මඩ් ගේ පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.


ඒ, ඉතියෝපියානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ ආසන 436 න් ආසන 410 ක බලය තහවුරු කර ගැනීම මගිනි.

මේ අනුව, නොබෙල් සාම ත්‍යාගය දිනාගත් සහ වසරක් ඇතුළත ඒකාධිපතියෙකු බවට පරිවර්තනය වූ ඉතියෝපියානු අගමැතිවරයාට, තවත් වසර 5 ක ධුර කාලයක් හිමිවනු ඇති.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අබී අහමද් පවසන්නේ ‘ජූනි 21 මහමැතිවරණය ඓතිහාසික‘ බවයි.

2018 වසරේදී අබී අහමද් බලයට පත්වන්නේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැසකට පෙරමුණ ගැනීමෙන් පසුව ය. නමුත් පසුව ඔහු විරුද්ධවාදීන් ඝාතනය කරන සහ ටිග්‍රේ වැනි පළාත්වල යුද්ධය ඇති කළ නායකයා බවට පත් විය. මෙම මැතිවරණයේදී ද ටිග්‍රේ පළාතේ ජනතාව ඡන්දය ප්‍රකාශ කළ ආකාරය ගැන මතභේද පවතියි. ඉතියෝපියාවේ කලාප 10 තුළම ඡන්දය නොපැවැත්වුණු බව ද විදෙස් වාර්තා සඳහන් කරයි.

අබී අහමද්ගේ ‘සෞභ්‍යාග්‍ය පක්ෂය‘ – Prosperity Party මැතිවරණයෙන් ජයගත් බව පවසමින් ඉතියෝපියානු ස්වාධීන මැතිවරණ කොමිසම පවසන්නේ ආසන 10 ක නැවත වරක් ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි.

ඉතියෝපියානු විපක්ෂ නායක බිර්හානු නේගා ගේ පක්ෂය (සමාජ යුක්ති පුරවැසි පක්ෂය)ට කිසිදු ආසනයක් දිනාගත නොහැකි වීම ද විශේෂත්වයකි. විපක්ෂය නියෝජනය කළ සෙසු පක්ෂ දෙකකට ආසන 10කට අඩු සංඛ්‍යාවක් හිමි වී තිබේ.

කෝවිඩ් වසංගතය නිසා දෙවරක් කල් දැමුණු මෙම මැතිවරණය බොහෝ දුරට සාමකාමී ලෙස පැවැත්වුණත්, ඇමරිකාව පවසා තිබෙන්නේ ඡන්ද ව්‍යාපාරය ‘සැලකිය යුතුඅන්දමින් දෝෂ සහගත‘ බවයි. රටේ පවතින අනාරක්ෂිත බව සහ, මැතිවරණය අතරතුර විරුද්ධ පාක්ෂිකයන් ව අත්අඩංගුවට ගැනීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති බරපතළ බාධක බව ඔවුහු පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි