BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මරණයෙන් පසුත් සති 3 ක් කෝච්චියේ ගිය දේශපාලඥයා: ඒබ්‍රහම් ලින්කන්

එදා 1965 වසරේ අප්‍රේල් 15 වැනිදා වෙඩි උණ්ඩයකින් මිය ගිය පසුත් ඒබ්‍රහම් ලින්කන් හට සාමදානයේ සැතපීමක් තිබුණේ නැත.

ඔහුගේ අකල් වියෝවෙන් සහ ඝාතනයෙන් කැළඹුණු-වැළපුණු රට හරහා හැතැක්ම 1,700 ක් දිගට මිනිය ගෙන යනු ලැබිණි.

එය ලෝක ඉතිහාසයේ ජන නායකයෙකුගේ මළ සිරුරක් කෝච්චියේ ගිය වැඩිම දුර විය හැකිය.

”දැන් ඔහු අයිති ඉතිහාසයටයි” යන සුප්‍රකට කියමන ඒබ්‍රහම් ලින්කන් ගැන කියූ එඩ්වින් ස්ටැන්ටන්ටත් මේ නිසා වැරදුණේය. ස්ටැන්ටන්, ලින්කන් පරිපාලනයේ යුධ ලේකම්වරයා මෙන්ම නීතීඥවරයෙකු ද විය.

ඒබ්‍රහම් ලින්කන්ගේ බිරිඳ වූ මේරි ලින්කන් හට අවශ්‍ය වූයේ සිය සැමියාගේ මෘත දේහය, තිබෙන කෙටිම පාර දිගේ ගෙදර එනු දැකීමට ය. ලින්කන්ගේ ගෙදර තිබුණේ ඉලිනොයිස් ජනපදයේ ස්ප්‍රින්ග්ෆීල්ඩ් හි ය. නමුත් ‘දැන් ඔහු අයිති ඉතිහාසයටයි’ යැයි කියා කට වරද්දාගත් ස්ටැන්ටන් ම, මේරිට කිව්වේ, ජනතාවට සිය ශෝකය පළ කිරීම සඳහා ඊට වඩා අවස්ථාවක් ලබාදිය යුතු බව ය.

ඒ අනුව ස්ටැන්ටන්, ලින්කන් වෙනුවෙන් ලොකුම වට රවුම් පාරේ කෝච්චිය සූදානම් කළේය. ඒබ්‍රහම් ලින්කන්, ජනපති වීමෙන් පසු, එනම් වසර 4 කින් ගමේ ගොස් තිබුණේ නැත. අවසාන වතාවට ඔහු ගමේ ගොස් තිබුණේ, ඔහුගේ පදවි ප්‍රාප්තියට ඔන්න මෙන්න කියා ය.

Cleveland, Columbus & Cincinnati Railroad engine, with a portrait of Abraham Lincoln mounted on the front, 1862. The engine was one of several used to carry Lincoln’s body from Washington, D.C., to Springfield, Ill. (Photo by Buyenlarge/Getty Images)

අප්‍රේල් 21 වැනිදා වොෂින්ටන් අගනුවර අඳුර කපාගෙන, කළු මැහෝගනී මිනී පෙට්ටියක සැතපෙන ලින්කන් රැගත් දුම්රිය හූ කිව්වේය. ‌දුම්රිය සිටියේ බැල්ටි‌ොම්ර් සහ ඔහායෝ දුම්රිය පොළේ දෙදින රැයක් ගත කරලා ය. කළු මැහෝගනී පෙට්ටියේ රිදී හැන්ඩල දෙක සීරුවෙන් මිරිකාගත් සොල්දාදුවෝ, අලුත නමක් තැබූ එම කෝච්චිය වෙත පරිස්සමෙන් ගොඩ වූහ. එම කෝච්චි පෙට්ටියේ නම ”presidential railroad car” විය. එය ඔහු වෙනුවෙන්ම තැනුනකි. සුඛෝපභෝගී ක්‍රිම්නස් පාට සේද පිළිවලින් එය සරසා තිබිණි. ඇමරිකානු සිවිල් යුද්ධය නිසා එයට නගින්නට ඉස්පාසුවක් නොතිබුණු ලින්කන් හට, එයට ගොඩ වන්නට ලැබුණේ මරණින් මතු වීමත් උත්ප්‍රාසජනක ය.

මෙම ජනපති කෝච්චි පෙට්ටියේදී ලික්නන්ගේ තනියට ඔහුගේ පුංචි පුතා එක් වෙයි. එයට වසර 3 කට පෙර ටයිෆොයිඩ් උණෙන් මිය යනවිට පුත් විලීගේ වයස අවුරුදු 1 1ක් විය. විලී එතෙක් සැතපී සිටියේ ජෝර්ජ්ටවුන් සුසානයේ විශේෂ කුටීරයක ය. ඒබ්‍රහම් ලින්කන්ගේ ධුර කාලය අවසන් වූ පසුව ස්ප්‍රින්ග්ෆීල්ඩ් ගමේ යන්නට සැලසුමක් විය. නමුත් මේ තරම් ඉක්මනින් දෙදෙනාටම එකම කෝච්චි පෙට්ටියේ එකම අයුරින් ගමේ යන්නට වේ යැයි කිසිවෙකුත් සිතන්නට නැත.

මේ අතර, ලින්කන්ගේ වැන්දඹු බිරිඳ, කෝච්චියේ ගමන් ගත් 150 ක් දෙනා අතර නොසිටියාය. ඇය සති 5 ක් යන තෙක් ධවල මන්දිරයෙන් පිටතට ආවේ නැත. ඒ වෙනුවට ලින්කන් සහ ඔහුගේ පුතුගේ තනි රැක්කේ අවමංගල්‍ය අධ්‍යක්ෂවරයෙකු විසිනි. එම්බාම්කරුවෙකු ද කෝකටත් කියා සුදානම් ශරීරයෙන් සිටියේය.

ඇමරිකානුවෝ දහස් ගණනක් අවසන් වතාවට – තව එක වතාවක්, සිය ආදරණීය ජනපතිවරයා මුහුණට මුහුණ දකිනු රිසින් රට පුරා පෙළ ගැසී සිටියහ. ස්ටැන්ටන්, ලින්කන්ගේ දෙණෙහි උඩ භාගය, එනම් මිනී පෙට්ටියේ ඉහළ කොටස විවර කරගෙන කෝච්චියේ එය ගෙන යන්නට අවසර ගෙන තිබිණි.

නගර 10 ක් පුරා ලින්කන්ගේ දෙණ මේ අයුරින් ප්‍රදර්ශනය කෙරිණි.

එම්බාම්කාර චාල්ස් බ්‍රවුන්, මේ කිසිදු අවස්ථාවක ලින්කන්ගේ ස්වරූපය වියැකෙන්නේ නැතිව රැක ගන්නා බවට පිළිණ දී තිබිණි. ඔහු චිකාගෝ ට්‍රිබියුන් පුවත්පතට මෙසේ කීවේය. ”ජනපතිගේ සිරුර කිසිදා ජරපත් වන්නේ නැත”.

සැබවින්ම ඒබ්‍රහම් ලික්නන්, සැබෑ ජීවිතයේදී කිසිදා නොදුටු යම් සැනසිලිදායක සිහිනයක් දකිමින්, සුවසේ නිදා සිටියේය.

එක දිගට මේ ගමන යන්නට ද ලින්කන්ගේ කෝච්චියට ඉඩ ලැබුණේ නැත. එහි පළමු ගමනාන්තය එළැඹුණේ සැලසුම් නොකළ පරිදි ය. ඒ, වැසිබර බැල්ටිමෝරයයි. ජෝන් විල්කිස් බූත්ගේ ගම වූ බැල්ටිමෝරය, ලින්කන්ගේ පසමිතුරු කල්ලියට අයත් සේ සැලකිණි.

මහජන ප්‍රදර්ශනය සඳහා දේහය වෙනම තැනකට ගෙන යා යුතු විය. දළ වශයෙන් කළු ජාතික නැරඹුම්කරුවන් 30,000 ක් වෙනුවෙන් මහ වැස්සේ මඩ කඩිති මැදින් අශ්ව කරත්තයකට නැගී ලින්කන් ඔවුන් හමුවට ආවේය. ඉක්බිති ගියේය.

ෆිලඩෙල්ෆියාවේදී දස දහස් ගණන් වැළපෙන්නෝ ඉන්ඩිපෙන්ඩන්ස් ශාලාව කරා රැස්වූහ. 1861 වසරේදී ලින්කන් ”ඝාතනය වන එක හොඳයි, යටත් වනවාට වඩා” යන සුප්‍රකට කියමන (“would rather be assassinated on this spot than to surrender”) කියා තිබුණේ එහිදී ය. පැය 20ක් තිස්සේ ලින්කන් එම ශාලාවේ සැතපී සිටියේය.  15,000 ක් දෙනා ඔහු දෙස බලා වැළපුණහ.

මැන්හැටන් නගර ශාලාවේදී මේ ප්‍රේක්ෂකාගාරය මිලියන භාගයක් දක්වා ඉහළ ගියේය. 6 හැවිරිදි තියඩෝර් රුස්වෙල්ට් ද ඒ අතර විය!

නිව්යෝක් නුවරින් පිටත් වන විටත්, එම්බාම් ශිල්පය අසමත් වන ලකුණු පෙනෙන්නට පටන් ගෙන තිබිණි. දේහයේ පැහැය වෙනස් වෙමින් තිබුණේය. ”එය ඒබ්‍රහම් ලින්කන්ගේ කරුණාබර මුහුණ නොවේ. එහි සෙවණැල්ලක් පමණි”යැයි නිව්යෝක් ඊවිනින් පෝස්ට් පුවත්පත ලියුවේය. නමුත් සෙනග තවදුරටත් ඇදී ආවේය.

ජනපති තමන්ගේ කෙනෙක් යැයි ඇදහූ මිඩ්වෙස්ට් පෙදෙසට ලින්කන් අනතුරුව සැපත් විය.

ඉන්ඩියානා හිදී අළුයම 3 ට දුම්රිය ගමන් කළේ අඩි 25 ක් උසට තැනී තිබූ පුරවැසි ස්ථම්භයන් අසලිනි.

චිකාගෝ නුවරට ඔහු සැපත් වන විට එහි සැතපුමකටත් වඩා පෝලිම් ගැසුණු දිග සෙනගක් විය. අවසානයේ මැයි 3 වැනිදා දුම්රිය ලින්කන්ගේ ගම වන ස්ප්‍රින්ග්ෆීල්ඩ් වෙත සැපත් වන්නේ, සැතපුම් 1,645 ක් දුර ගෙවමිනි.

නගර 400 ක් එය පසුකර තිබිණි. මිලියනයක් ඇමරිකානුවන් ඔහුට අවසන් ගෞරව පුද කරන්නට පැමිණ සිටියහ. තවත් මිලියනයක් ලින්කන් රේල් පාර මතින් අවසන් වරට ඇදී යන අයුරු නැරඹූහ.

ඉලිනොයිස් හි අගනුවර රාජ්‍ය තාන්ත්‍රික අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමෙන් අනතුරුව ඔ්ක්රිජ් සුසානයේදී පැයක ශෝක ප්‍රකාශයක් කියැවීමෙන් පසුව ලින්කන් පසට එක් විය. කිරිගරුඬ කුටීරයක ඔහු සැතපුණේය. ඔහු සත්‍ය වශයෙන්ම දෙනෙත් පියා ගත්තේ, වෙඩි උණ්ඩය විසින් ප්‍රාණ වායුව සොරාගැනීමෙන් සති 3 කට පසුව ය!


මනුස්සකම කළු-සුදු‌ නොවේ යැයි ලොවට කියා දුන් ඩෙස්මන්ඩ් ටුටූ

‘රත්තරන් කෙල්ල’ට 100 යි – සාදයට ඔබත් එන්න!

FW ඩි ක්ලාක් ඔව්, ඔහු නෙල්සන් මැන්ඩෙලාට වඩා ශ්‍රේෂ්ඨයෙකි!

පිළිකාව නිසා සුළු විරාමයක් ගන්නා BBC රූපවාහිනිය හෙල්ලූ ‘අපේ‘ අලගෙයියා

එංගලන්තයේ අධ්‍යාපන ලේකම් බවට පත්වූ ඉරාක සරණාගත කොලුවා – නදිම් සහවි

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – හිට්ලර්ගේ නැගීම

ඒකාධිපති ප්‍රජා පීඩකයෝ – Introduction

හිටපු නිසාන් ලොක්කා පෙට්ටියක හැංගී ජපානයෙන් පළා ගිය හැටි

error: Content is protected !!
error: Content is protected !!