×

බෝඩරයේ කුණු වෙන ඇෆ්ගනිස්ථානයේ දෙළුම්

ඇෆ්ගනිස්ථානයට ‘දෙළුම් රට‘ ("the country of the pomegranate fruit") යැයි කියූ යුගය දැන් නිමා වෙමින් තිබේ. තලෙයිබාන් පාලනය තුළ උදා වී තිබෙන්නේ ඒ දෙළුම්, දේශසීමා අද්දර තොග පිටින් කුණු වී යන යුගයයි.


කන්දහාර්, හෙල්මන්ඩ්, වර්දාක්, ඝානි, පටිකා, ෆාරා, කැපිසා යනාදී බොහෝ පළාත්වලට හරිනම් මේ උදා වී තිබෙන්නේ වසන්ත සමයයි. මේ දකුණු දිග පාකිස්ථානය රතු දෙළුම් වැස්මකින් වැසී යන කාලයයි. මේ පළාත්වල ප්‍රධාන වැවිලි භෝගය දෙළුම් ය. තවද එය රටේ කෘෂිකාර්මික ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන භෝගය ද වේ.

නමුත් දැන් වසන්තයේ සැණකෙළිමය ගතිය හදිසියේ පහව ගොස් ඇත.

දහස් ගණන් ඇෆ්ගන් ජාතිකයන්ගේ ජීවනෝපාය බවට පත් ව තිබෙන දෙළුම් වගාව, මෙවර ඔවුන් ව අසරණ කර තිබේ. ටොන් දහස් ගණනක දෙළුම් අස්වනු විනාශ වෙමින් තිබේ. ශීතකරණ පහසුකම් ඇතුළු සංවිධානාත්මක ගබඩා පහසුකම් තිබුණා නම් මේ තත්වය සහමුලින් වෙනස් විය හැකිව තිබුණේ දෙළුම් ගෙඩියක් ශීත තත්වයෙන් මාස 2 ක් පමණ කල් තබාගත හැකි නිසා ය.

කන්දහාර් පළාතේ ‘නැවුම් පළතුරු සංගමය‘ක් තිබේ. එහි සාමාජිකයන් වැඩි දෙනා දෙළුම් ගොවීන් ය. එහි පමණක් 1500 ක් දෙනා දැන් කරකියාගත හැකි දෙයක් නැති තත්වයට පත් ව සිටිති.

ඇෆ්ගනිස්ථානයේ මිතුරෙකු ලෙස කටයුතු කරන පාකිස්ථානය, ආනයනයික පළතුරු සඳහා බදු ශුන්‍ය කර තිබේ. ඒ, සිය අසල්වැසියාගේ ආර්ථිකය නගා සිටුවීමට කරන උදව්වක් ලෙස ය. නමුත් දෙළුම් ආයනයන කරන ගොවීන් ඇෆ්ගනිස්ථානයේ එතරම් සුලබ නැත. අනෙක, කලින් කලට පාකිස්ථානය ද ඇෆ්ගනිස්ථානය සමග ඇතිවන දේශසීමා විරසක මත බෝඩරය වසා දමමින් සිටින නිසා, එය විශ්වාසය තැබිය හැකි අවස්ථාවක් ද නොවේ. එසේ නොමැති නම්, සාමාන්‍ය තත්වය යටතේ, එනම් මාස දෙකක් සම්පූර්ණ කර ඇති තලෙයිබාන් පාලනයට පෙරාතුව, කුඩා කොමඩු ගෙඩි ප්‍රමාණයේ දෙළුම් ගෙඩි ටොන් 40,000 – 50,000 ක් අතර ප්‍රමාණයක් වසරේ මේ කාලයට බෝඩරය පැන පාකිස්ථානයට යා යුතුය. මේ වසරේ ඒ ප්‍රමාණය ටොන් 5000 ක් වත් නැති බව නිල දත්ත සනාථ කරයි.

තලෙයිබාන් පාලනය නැවත පැමිණෙන්නට පෙර සොබාදහම ඒ ගැන ඉඟි කර තිබුණා වැන්න. පාලනය මාරු වන්නට ආසන්නයේදී ඇෆගනිස්ථානයේ කෘෂිකාර්මාන්තයට මරු පහරක් එල්ලවන ආකාරයේ ඉඩෝරයක් ද පැමිණ තිබිණි. මේ හා සමගාමීව පළාත් ගණනාවක සන්නද්ධ අරගලය ද ලියලමින් තිබුණේය.

දෙළුම් වගේද ඔපියුම්?

මේ අතර දශක දෙකක ඇෆ්ගන් පාලනය සහ අන්තර්ජාතික සංවිධාන දිගින් දිගටම ඇෆ්ගන් ගොවීන්ට කියමින් සිටියේ ඔපියුම් වගාව අත්හැර දෙළුම් වගාවට යොමුවන ලෙසයි. ඇතැම්විට තලෙයිබාන් පාලනය තුළ දෙළුම් වගාවට කුඩම්මාගේ සැලකිලි ලැබෙමින් තිබෙන්නේ එය ‘බටහිර ගැති පලතුරක්‘ යැයි සිතන නිසා විය හැකිය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි